පාසල්, විශ්වවිද්‍යාල සහ කාර්යාල පරිසරයන්හි අපට නිතර දක්නට ලැබෙන දෙයක් වන්නේ මිතුරකුගේ පෑනක්, පොතක්, ජංගම දුරකතනයක්, මුදල් පසුම්බිය විහිළුවට සැඟවීමයි. අයිතිකරු තම වස්තුව සොයමින් කලබල වන විට, දුක් වන විට අපි එයින් බොහෝ සෙයින් සතුටට උද්දාමයට පත්වෙමු. අයිතිකරු තම වස්තුව සොයමින් කලබල වන විට, දුක් වන විට අපි එය විහිළුවක් කොට සිනාසෙමු.
‘අනේ යහළුවනේ, විහිළුවක් කළ බව කියා සිනාසෙමු.’ එසේ කියා සිනහ වී එය සැහැල්ලුවෙන් බැහැර කරයි. නමුත් බෞද්ධ දර්ශනයට අනුව සිනහවට කළත්, යහළුකමට කළත්, අනුන් සතු දෙයක් සොර සිතින් තමන්ගේ වසඟයට ගැනීම බරපතළ අකුසල කර්මයකි.
බුදු දහමේ දස අකුසල කර්ම පථය අතරින් දෙවැන්න වන්නේ “අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන්නයි. එනම් අයිතිකරු විසින් නොදුන් දෙය ගැනීමයි. සොරකමක් සම්පූර්ණ වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතු බව විසුද්ධි මාර්ගයේ සීලයේ පැහැදිලි කෙරෙයි. එනම්,
පරපරිග්ගහිතං- වස්තුව අනුන් සතු වීම
පරපරිග්ගහිතසඤ්ඤිතා- එය අනුන් සතු බව දැන සිටීම
ථෙය්යචිත්තය – සොර සිත ඇතිවීම
උපක්කමෝ – එය සොරකම් කිරීමට උත්සාහ දැරීම
තේනාහරණං- එම උපක්‍රමය තුළින් වස්තුව තම ස්ථානයෙන් ඉවත් කිරීම හා ඒ හරහා තමන්ගේ කර ගැනීම යන්නයි.
සිත හා කය යොදවමින් යම් පුද්ගලයකුගේ හෝ යහළුවකුගේ දෙයක් විහිළුවට සැඟවීමේ දී
මෙම කරුණු පහ සම්පූර්ණ වේ. එම වස්තුව යහළුවා සතු බව දැන දැන් ම, සොර සිතින් සැඟවීම සිදුවේ. ආපසු දෙනවා යැයි සිතේ තිබුණ ද, ඒ මොහොතේ ඇතිවන චේතනාව අකුසලයකි. ධම්මපදයේ පළමු දේශනාවේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සියලු ධර්මයන්ට සිත ම මුල් වන බවයි. සිතින් ම පව් පින් සිදුවන බවයි.
එමෙන් ම සල්ලේඛ සූත්‍රයේ සහ සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇත්තේ සීලය පිරිහීම ආරම්භ වන්නේ ඉතා පුංචි දෙයින් බවයි. අද විහිළුවට පෑනක් ගන්නා පුද්ගලයාගේ සිත හෙට සැබවින් ම සොරකම් කිරීමට පෙළඹෙන්නේ එම අකුසල පුරුද්ද හෙවත් ආචිණ්ණ කර්මය නිසා ය. මෙහි දී වඩාත් සැලකිලිමත් විය යුතු තවත් කරුණු විසිපහක් සමන්තපාසාදිකා විනය අට්ඨ කතාවේ පළමු කාණ්ඩය වන දුතිය පාරාජිකා වර්ණනාවේ පස් ආකාරයකින් කාණ්ඩ කොට ඇත. මේ කරුණු විසිපහ භික්ෂු, භික්ෂූණී සඳහා පනවා තිබුණත් මේ කරුණු ගිහි සමාජය යහපත් කර ගැනීමට ඉවහල් කර ගත හැකි ය.
1. සාහත්ථික පඤ්චකය – තමන්ගේ අතින් ම සොරකම් කිරීම
ථෙය්‍යාවහාරය – හොරකමින් ගැනීම
පසාහාවහාරය – බලෙන් ගැනීම
පරිග්ගහාවහාරය – සඟවා තියෙන දෙයක් ගැනීම
පටිච්ඡන්නාවහාරය – වසා තියෙන දෙයක් ගැනීම
කුසාවහාරය – වංචාවෙන් තැන වෙනස් කරලා ගැනීම
2. ආණත්තික පඤ්චකය – අනුන් ලවා සොරකම් කිරීම, අණ කරවීමෙන් ගැනීම ආදී කරුණු රැසක් පෙන්වා දී තිබේ.
අපේ පැරණි උපදේශ කාව්‍යකරුවන් විහිළුවට කරන සොරකමේ බරපතළකම ඉතා අලංකාර ව පෙන්වා දී ඇත.
වීදාගම මෛත්‍රිය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාවේ දැක්වෙන්නේ, පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ජන සමාජයට, පව් පින්වල විපාක අවබෝධ කර දීම සඳහා, අනුන් සතු දේ පැතීමෙන් වන දුක පිළිබඳ අවවාද රැසක් ඇතුළත්වය.
කෙළියට කඩක් සඟවා
යහළුවකු ගෙනේ
එළි කොට නැවත දුන්
මිනිසකුට එතෙකිනේ
විළි වැස්මක් නොම විය
දෙවි වුවත් අනේ
කෙළියට වත් නොකරවු
සොරකමක් අනේ
මිත්‍රයකුගේ වස්ත්‍රයක් විහිළුවට සඟවා පසුව ඒ බව එළි කොට, නැවත දුන් මිනිසකුට දෙවියකු වී උපන් පසු වත් විළි වසා ගන්නට වස්ත්‍රයක් නොලැබිණි. අහෝ ! එබැවින් විනෝදයට වත් දැන සොරකම් නොකරව්. එවැනි අවවාද රැසක් විවිධ බෞද්ධ පොතපතෙහි ඇතුළත් වෙයි. මීට අමතරව සිරිත් මල්දමෙහි දක්වා ඇත්තේ.
නොමින් දුක විඳීමින
අනුන් සෙව් දන මිල දැන
හොරෙන් නොගනුව පැන
සිතන් කැබිලිති ලෙසින් ඒ ගැන
මෙයින් අර්ථවත් කරවන්නේ අනුන් දුක් විඳ මහන්සි වී උපයා ගත් ධනයේ වටිනාකම දැන, කඩුවකින් කැබලිවලට කපා දැමුවත් හොරකම් නොකළ යුතු බවයි. ජීවිතය නැති වන තරම් දුකක් ආවත් හොරකම නොකළ යුතු බව මෙහි අදහසයි. එබැවින් යළුකමට, විහිළුවට කරන හොරකම කුඩා දෙයක් ලෙස පෙනුණ ද, එයින් සිදුවන හානිය විශාල ය. එමඟින් පන්සිල්හි දෙවැනි සිල් පදය වන අදින්නාදානා වේරමණී යන්න කඩවීම, යහළුවා තමන් කෙරෙහි තබන විශ්වාසය නැතිවීම සහ අනාගතයට අයහපත් පුරුද්දක් ලෙස වර්ධනය වීම යන කරුණු තුන ම සිදුවේ.
සැබෑ මිතුරකු යනු අනුන්ගේ දෙය විහිළුවටවත් නොගෙන, ඔහුගේ දේ රැක දෙන තැනැත්තා ය. එබැවින් යහළුවකුගේ දෙයක් ගැනීමට පෙර අනිවාර්යයෙන් ම අවසර ගත යුතු ය. විහිළුවක් කළත්, ඔහු දුක්වීමට පෙර වහා ආපසු දිය යුතු ය. සිනහවට සැඟවූ පුංචි පාපය, හඬමින් ගෙවන්නට සිදු නොවන්නට අපි වග බලා ගනිමු.
යො පාණමතිපාතෙති,
මුසාවාදං ච භාසති
ලොකෙ අදින්නං ආදියති
පරදාරං ච ගච්ඡති
ධම්මපදයේ (246) දී බුදුන් වහන්සේ දේශනා කරන්නේ යමකු දැන, දැක සතුන් මරයි ද, බොරු කියයි ද, ලෝකයෙහි නොදුන් දෙය ගනී ද, අනුන් භාර්යාවන් සහ පුරුෂයන් කරා යේ ද, ඒ පුද්ගලයා මොලොව දී ම තමාගේ සම්පත් නැමැති මූලය සාර ගනී. (තමා විපතට හෙළා ගනී) යනුවෙන් ධර්මෝපදේශ ලබා දී තිබේ.
අද සමාජයට වැඩි වශයෙන් ගැළපිය හැකි කාලෝචිත මාතෘකාවක් ලෙස සිහිගැන්වීමේ අරමුණින් මෙහි දී අල්ප වූ කරුණු කිහිපයකින් ඔබ හමුවේ තැබීය. අප විසින් නිරන්තරයෙන් සිහිගැන්විය යුත්තේ යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීම මෙන් ම, කරන ක්රියාවේ ප්‍රතිඵලය කුමක් වේ දැයි නිතර නිතර සිහි කිරීම විශාල පාපකර්ම සිදු නොවීමට තමා විසින් වග බලා ගත යුතු බවයි.