පසුගිය සති කිහිපයේ ම සතිමත් බව සනිටුහන් කිරීමට හැකි පැතිකඩ, විස්තර ඒ ලක්ෂණ ගැන කතා කරන අතරතුර සතුන් හය දෙනකුට අපේ ඉන්ද්රියයන් උපමා කරගෙන ඒ හරහා සතිමත් බව නැත්නම් වර්තමාන මොහොතේ සිටිනා බව තහවුරු කර ගන්නේ කෙසේ ද කියන කාරණා ගැන කතා කරන්න යෙදුණා. මෙහි දී විශේෂයෙන් ඒ සතුන් හය දෙනාගේ උපමාව හඳුන්වා දීමත්, ඒ අනුව සතිමත් ඉඳ ගැනීමේ දී වගේම, සතිමත් ඇවිදීමේ දී මේ සතුන් හය දෙනාගේ හැසිරීම නිරීක්ෂණය කිරීමට සහ ඒ නිරීක්ෂණ අනුව සතිමත් බව තහවුරු කර ගැනීමත්, ඒවා වාර්තාගත කිරීමත් ගැන ඉගෙන ගත්තා. අද අපි මාතෘකාව වශයෙන් ගන්න හදන්නේ සතියෙන් එදිනෙදා වැඩෙහි යෙදීම සහ ඒ අවස්ථාවල දී මේ සතුන් හය දෙනාගේ හැසිරීම පිළිබඳ සොයා බැලීමටයි. ඉතින් ඒ සඳහා සතිය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඒ සඳහා ම ටිකක් වාඩි වෙලා. ඇවිදලා සතිය පුරුදු කරපු කෙනාට ඊළඟට අපි ආරාධනා කරනවා වැඩ කරන කොට සතිය පිහිටවන්න උත්සාහ කර බලන්න කියලා.
සාමාන්‍යයෙන් වාඩි වෙලා නිස්කලංක ව සතිය පුරුදු කළ කෙනා එයින් දියුණු කර ගත් හැකියාව තවදුරටත් ඇවිදින ගමන් අභියෝග ඉදිරියේ පුහුණු කරන විට උපයාගත් හැකියාව වර්ධනය වී බාධාවලට මුහුණ දෙමින් සතිය පුහුණු කිරීමේ දක්ෂකමක් ඇති කර ගන්නවා. මේ පුහුණුවේ දී සතුන් හය දෙනා ක්‍රමයෙන් පරිසරයට විවෘත කරමින් නමුත් එක සීමාවක පවත්වා ගනිමින් යන ගමනක් තමයි පෙන්වා දෙන්නේ. ඇස කියන නයා, කන කියන කිඹුලා, නාසය කියන පක්ෂියා, දිව කියන බල්ලා සහ කය කියන හිවලා යන සත්තු පස් දෙනාගෙන් ඇස වහලා ශබ්ද නැති තැනකට ගිහින්, විශේෂ ගඳ සුවඳ නැති තැනක වාඩි වී, කය කියන හිවලා එක්ක, වඳුරා කියන හිත යොදවා සතිමත් වීම තමයි පළමුව සතිමත් ඉඳගැනීමේ දී කරන්නේ.
එහෙම පුරුදු වෙන කෙනා ඊළඟට ඇස් ඇර ගෙන එළිමහනේ ඇවිදින ගමන් ශබ්ද, සමහර විට විවිධ ගඳ සුවඳ ඇති තැනක සතිය පුරුදු කරන විට කලින්ට වඩා බාධක ඇති. ඒ වගේම ක්‍රියාකාරී අවස්ථාවක සතිය පුරුදු කරන නිසා තමා වඩා ගත් සතිය යම් පමණකට පදම් වීමක් සිදු වෙනවා. මේ නිසා බාහිර සාධක අනුව දඟලන මේ සත්තු හය දෙනා තවදුරටත් ලනු කෙටි කර බැඳ තියන්න හැකියාව ඇති වෙනවා.
අන්න ඒ හැකියාව ඇති කෙනාට එදිනෙදා වැඩකටයුතුවල දී සතිය පුරුදු කිරීම පහසු විය හැකියි. අනිත් ඇත්තන්ටත් උත්සාහ කර බලන්න පුළුවන්. මොකද මම ආරම්භ කළේත් මේ විදිහට එදිනෙදා වැඩ කරන ගමන් සතිය පුරුදු කර තමයි.
එදිනෙදා වැඩවල දී ඉඳුරන් හය ම විවෘතව ඒ කියන්නේ නයා, කිඹුලා, පක්ෂියා, බල්ලා, හිවලා සහ වඳුරා යන හය ම විවෘතව එදිනෙදා වැඩ කරන කොට මේ සත්තු හය දෙනාගේ එහෙට මෙහෙට අදින ගතිය, මේ යුද්ධය නිසා හරි වෙහෙසක් දැනෙනවා. සත්තු ටික හසුරුවන්න විශාල ශක්තියක් වැය වෙනවා. හැබැයි ඒ වෙහෙස දැන ගන්න නැත්නම් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සතියෙන් හිටියොත් පමණයි. සතියෙන් නැත්නම් ඔය වෙහෙසට අපි විවිධ හේතු පෙන්වන ගමන් ඒවාට උත්තර විදිහට අත පය සෙලවීම් සහ විවිධ ඉල්ලීම් කරනවා. වෛද්‍ය ප්‍රතිකාර හොයනවා. නමුත් සතියෙන් ඉන්න කොට තේරෙනවා මේ වන සතුන් හය දෙනාට එහාට මෙහාට අදින්න ඉඩ දීලා බලා ඉන්න කොට දැනෙන වෙහෙස. ඉතින් ඒක අපි තෙහෙට්ටුව එහෙම නැත්නම් නොසන්සුන්කම, ගැටෙන සුළු ගතිය, අවිවේකී බව ආදී වශයෙන් නම් කරනවා. මේ නම් කිරීමත් එක්ක තමයි අපි බාහිර පිළියම් හොයන්න උනන්දු වන්නේ. නමුත් සතියෙන් ඉන්න විට තේරුම් ගන්න පුළුවන් සතුන් ඉන්නේ තමන් එක්ක නිසා විසඳුම තිබිය යුත්තේ තමන් තුළ බව.
කොහොම නමුත් එදිනෙදා වැඩවල ඇති සංකීර්ණත්වය අනුව ආධුනික පුහුණු වන්නකුට හිතෙනවා මේ වගේ මහ කලබගෑනියක් තියෙන වෙලාවක සතියේ පිහිට ලබා ගන්න බෑ නේද කියලා. වැඩේ අමාරු බව ඇත්ත. නමුත් මේ විදිහට කරපු පුංචි දුවල පුතාලා අපට පෙන්නලා දීලා තියෙනවා මෙය කළ හැක්කක් බව. මේ වෙන කොටත් සතිය කියන්නේ මොකක්ද කියලා දන්න කෙනාට මේක පහසුවෙන් කළ හැක්කක්. ඒ මොකද කියනවා නම් මේ ඇත්තෝ ඉඳගෙන සතිය පුහුණු කරන විට වඳුරා සහ හිවලා වැඩ කරන හැටි බලාගෙන ඉඳලා තියෙනවා වගේම, ඇවිදින කොට කනයි, නාසයයි විවෘත ව තබා ගෙන වඳුරයි, හිවලයි වැඩ කරන හැටි බලලා තියෙනවා.
ඒ අත්දැකීම් නිසා හිත යම් පමණකට බාහිර බාධකවලට ඔරොත්තු දීමේ හැකියාවක් දියුණු කර ගෙන තියෙනවා. නමුත් මේ විදිහට නිරීක්ෂණය කරන්න හැම වෙලාවෙ ම කරන හැම දෙයක් එක්කම බෑ කියලා මේ ඇත්තෝ දැන ගන්න ඕනෑ. ඒ නිසා ඒ විදිහට සතියෙන් වැඩ කරන්න නම් තමන් තනියම කරන වැඩ කටයුත්තක් තමයි සුදුසු වෙන්නේ. එහෙම නැති වුණොත් පිරිසක් එක්ක සම්බන්ධ වුණ ගමන් සත්තු හය දෙනාගේ ගුණාකාරයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන් ළඟ සිටින සත්තු හය දෙනාට අමතරව අනිත් අය ළඟ ඉන්න සත්තු සමඟ ගැටුමකුත් ඇති වෙන නිසා මේ සටන උග්‍ර වෙනවා. දෙන්නෙක් නම් සත්තු දොළොස් දෙනෙක් වෙනවා. තුන් දෙනෙක් වුණොත් දහ අට දෙනෙක් වෙනවා. ඒ නිසා තනියම කරන වැඩක් එදිනෙදා ජීවිතයේ සතිය පුරුදු කිරීම සඳහා අපට යොදා ගන්න වෙනවා.
ඒ වගේම ඒ වැඩෙත් හැමදාම කරන වැඩක් වෙන්න ඕනෑ. ඒ කියන්නේ ඒක ඉබේම කෙරෙන වැඩක්. ඒ වගේ වැඩක් අරගෙන අධිෂ්ඨාන කර ගන්න ඕනෑ මම මේ වැඩේ හෙමිහිට, සතියෙන්, නිශ්ශබ්ද ව සති මාත්‍රාව යොදමින් කරනවා කියලා. තව විදියකට කිව්වොත් අඳුරකට විදුලි පන්දමක් එල්ල කර වැඩ කරනවා වගේ සති ආලෝකය යටතේ වැඩ කරනවා.
ඒ වගේම තමන්ට අත්දැකිය හැකි හොඳම නිරීක්ෂණය වන්නේ හොඳට ඒ වැඩේ කරන කොට කලබල, නොසන්සුන් ගති නැතිනම් නිශ්ශබ්ද ව වැඩේ සිදු වෙන බව නිරීක්ෂණයයි.
මේ ක්‍රමය දත් මදින වෙලාව, එහෙම නැත්නම් තනියම ඉඳගෙන බත් ටිකක් කන වෙලාව, මූණ හෝදන වෙලාව, නාන වෙලාව වගේ තමන් තනියම වැඩක් කරන වෙලාව සුදුසු වෙනවා. ඉතින් මේක ගැඹුරින් විස්තර කරලා පෙන්වා දෙනවා තමන් වැසිකිළි යන වෙලාව පවා මේ සඳහා යොදා ගන්න පුළුවන් කියලා. මොකද මේ හැම වෙලාවකම තමන් තනියම ඉන්න නිසා සත්තු හය දෙනා දෙස බලන්න පහසුයි. උදාහරණ ලෙස මේ සත්තු හය දෙනා ම විවෘත වුණත් දත් මදින වෙලාවේ දී බුරුසුවේ පාට, දත් බෙහෙත්වල පාට, දිවේ පාට, විදුරු මහේ පාට, බුරුසුව වදින්නේ දත්වල ද, විදුරු මහේද, එහෙම වදින කොට දැනෙන දැනීම්වල වෙනසක් තිබේ ද, ඇහෙන ශබ්ද, දත් බෙහෙත්වල රස, ඒ රස ක්‍රමයෙන් වෙනස් වෙන ආකාරය ආදී වශයෙන් ඒ විස්තර ටික ඔක්කොම දැක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකේ ලස්සන ගැඹුරක් තියෙනවා. අර වගේ සත්තු හය දෙනෙක් එහාට මෙහාට අදින නමුත් ඒ අතරේ කරන වැඩේට අදාළ ව දකින දේවල්, දැනෙන දේවල්, ඇහෙන දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්.