මේ දුක්ඛිත සසරේ බොහෝ දුර ගමන් කරන අපට ඒ ඒ ජීවිතවල සැනසීමට, සැපයට තිබෙන්නේ තමා පෙර ජීවිතවල කර ගත් පිනයි. පින ඕනෑම අවස්ථාවක විපාක දීමට සැරසී අප අත නොහැර සෙවනැල්ල සේ අප ළඟින් ම සිටිනවා.
අපගේ රුචි අරුචි, චර්යා රටා, සිතන පතන ආකාරය කලින් කලට වෙනස් වෙනවා. පින් දහම් ගැන වුණත් ඒ කතාව එහෙම ම යි. කලෙක දී නොයෙක් නොයෙක් පින්දහම් කරද්දී තවත් කාලයක දී පින් කිරීමෙන් බැහැර වූ ජීවිතයක් ගත කරමින් අප කාර්ය බහුල වෙනවා. මේ දේ පොදු දෙයක්.
ගිහි ගෙදර ජීවත්වන අපටත්, පැවිදි වූ උතුමන්ටත් ඒ දේ එලෙස ම බලපානවා. ධර්මධර, අපට ධර්මය කියාදෙන භික්ෂූන් වහන්සේ පවා කලෙක නිහඬ වෙනවා. ඇතැම් විට උපවැදි වෙනවා. නැවත සසර ගමනේ බර ඔසවාගෙන යනවා.
එලෙස ම ජීවිතය ගැන බරක් දැනුණ, සසර ගැන බියක් දැනුණ ගිහි උදවිය ඇතැම් විට අධ්‍යාපන කටයුතු නිසා හෝ, රැකී රක්ෂා නිසා හෝ, දූ දරුවන්ගේ කටයුතු නිසා හෝ වෙනදා තරම් පින්දහම් නො කරන අය බවට පත්වෙනවා. ඇතැම් දෙනා ඉතා ඛේදනීය ලෙස ධර්මයෙන් ඈත් වෙලා අන්‍යාගමික වෙනවා. කුසල් දහම් ප්‍රකට ව හිටි ඇතැම් දෙනා කුසල් දහම් පිරිහෙන ස්වභාවයකට පත් වෙනවා. එවිට අපට සිතෙනවා පින් කරන්නට නම් පිනක් ඕනෑම යි කියලා.
ඒ වගේ ම තව කෙනකුට සිතෙන්නට පුළුවන් මේ කියමන සත්‍යයක් ද කියලා.
පිනක් කරන්නට පිනක් ඕනෑම ද කියන දෙයට ලස්සන බණ කතාවක් නිධිකණ්ඩ සූත්‍රයේ දී අපට මුණ ගැසෙනවා.
යම්කිසි ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් හෝ වේවා දන් දෙනවා නම්, සිල් රකිනවා නම්, සිත දමනය කර ගෙන භාවනාවේ යෙදෙනවා නම් එය තමා ඉතා හොඳින් තැන්පත් කළ නිධානය වෙන්නේ. දාගැබ් වහන්සේට, බෝධින් වහන්සේට, ගුණවත් සංඝ රත්නයට, ආගන්තුකයන්ට, මව්පියන්ට, වැඩිමහලු සහෝදරයන්ට, සහෝදරියන්ට දන්දීම, ගෞරව දැක්වීම ආදිය කරනවා නම් මනාකොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත් සොරකම් කරන්නට බැහැ. පරලොව යද්දී තමා පසු පස්සේ ම එනවා. මේ ලෝකයේ පරිහරණය කළ සියලු ම දේ තබා මිය යනවිට මේ පුණ්‍ය නිධානය තමා ගෙන යන්නට වෙන්නේ.
මේ පුණ්‍ය නිධානය හැමෝටම බෙදා ගන්නට බැහැ. සොරුන්ට පැහැර ගන්නටත් බැහැ. තමා පසු පස්සේ එන එම පුණ්‍ය නිධානය තැන්පත් කර ගැනීමයි නුවණැත්තා කළ යුත්තේ.
ප්‍රාදේශීය රජකම ලැබෙන්නේත්, අධිපති බව ලැබෙන්නේත්, පි‍්‍රය මනාප වූ සක්විති සැප ලැබෙන්නේත්, දෙව්ලොව දිව්‍ය සැප ලැබෙන්නේත් තමා රැස් කරගත් පුණ්‍ය නිධානය නිස යි. මිනිස් ලොව සැපත්, දෙව්ලොව සැපත්, අමා මහ නිවන් සුවයත් යන මේ සියලු දේට (දාන, සීල, භාවනා) පුණ්‍ය නිධානයෙන් ලැබෙනවා.
කෙනෙක් මේ ආකාරයට තමාට අනුකම්පාවෙන් යම් මේ පුණ්‍ය නිධානයක් රැස්කර ගෙන ඇද්ද එය පරලොවට විශාල යහපතක් සලසනවා. එනිසා ප්‍රඥාවන්ත සත්පුරුෂයන් කළ පින් ඇති බව ගැන ප්‍රශංසා කරන්නේ. (නිධිකණ්ඩ සූත්‍රය ඛු.නි)
පින් කිරීම සසර දිගු වීමක් බවට ඇතැම් අයට වැරැදි මතයක් තිබෙනවා. එවැනි දෝෂයක් සිතේ තිබෙනවා නම්, ලෝ සත සසරින් එතෙර කරලීම පිණිස පින් පුරාගෙන පැමිණි සම්මා සම්බුද්ධත්වයට පත් වූ සම්බුදු රජාණන් වහන්සේ පින වර්ණනා කරාවි ද? භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙලෙසයි. මහණෙනි, පිනට බය වෙන්නට එපා. මහණෙනි, පින යනු සැපයට කියන නමකි. (මා පුඤ්ඤභායි සූත්‍රය)
නයනා නිල්මිණි