වධක භාර්යාව, චෞර භාර්යාව, ස්වාමී භාර්යාව, මාතෘ භාර්යාව, භගිනි භාර්යාව, මිත්‍ර භාර්යාව සහ දාසි භාර්යාව යැයි භාර්යාවෝ සත් දෙනෙක් වෙත්.
වධක භාර්යා –
යම් භාර්යාවක් සැමියා කෙරෙහි දුෂ්ට වූ අදහස් ඇත්ති ද, ස්වාමියා කෙරෙහි හිතවත්කම හා අනුකම්පාව නැත්තී ද, අන්‍ය පුරුෂයන් කෙරෙහි ඇලුම් කරන්නී ද, පරපුරුෂයන් උසස් කොට සිතමින් සිය සැමියා පහත් කොට සිතා ද, මිලදී ගන්නා ලද තැනැත්තියක් මෙන් වන්නී ද, ස්වාමියා හට වධ කිරීමට උත්සාහ කරන්නී ද, එසේ වූ ඇය වධක භාර්යාවයි.
චෞර භාර්යා –
තම ස්වාමියා විසින් ශිල්පයෙන් හෝ වෙළෙඳාමෙන් හෝ ගොවිකමින් හෝ යම් ධනයක් ලබා ද, සොරා ගන්නට හෝ නිකරුණේ පමණට වඩා වියදම් කිරීමට හෝ කැමති වන්නී ද, එබදු වූ ඇය චෞර භාර්යාව යි.
ස්වාමි භාර්යා –
යම් භාර්යාවක් වැඩ කිරීමට නො කැමැත්තී ද, අලස ද, බොහෝ අනුභව කරන්නී ද, කෲර වන්නී ද, කිපෙන්නී ද, නපුරු වචන කියන්නී ද, ස්වාමියා මැඬගෙන (යටත් කොට ගෙන) වාසය කරන්නීද, එබදු වූ භාර්යාව වේ.
මාතෘ භාර්යා –
යම් භාර්යාවක් සෑම කල්හි ම සැමියා හට හිතවත් බව හා අනුකම්පාව ඇත්තී ද, පුත්‍රයකු රක්නා මවක් මෙන් සිය සැමියා රකින්නී ද, සැමියා විසින් උපයා ගත් ධනය රැක බලා ගනී ද, එබඳු වූ භාර්යාව යි.
භගිනි භාර්යා –
යම් ස්ත්‍රියක් වැඩිමහලු සොහොයුරා කෙරෙහි, නැඟණියකගේ පැවැත්ම මෙන් සිය සැමියා කෙරෙහි ගෞරව සහිතවන්නී ද, ලජ්ජා ඇත්තී ද, සැමියාට අනුව පවතින්නී ද, එබඳු වූ භාර්යාව යි.
මිත්‍ර භාර්යා –
යම් ස්ත්‍රියක් බොහෝ කලකින් පැමිණි යහළුවකු දැක සතුටු වන්නා වූ යෙහෙළියක මෙන් සිය සැමියා දැක සතුටු වන්නී ද, කුල සම්පන්න ද, සිල්වත් ද, පතිවත රකින්නී ද, එබඳු වූ භාර්යාවයි.
දාසි භාර්යා –
යම් ස්ත්‍රියක් සිය සැමියා විසින් තී මරමියි දණ්ඩක් ගෙන තර්ජන කරනු ලැබ ද, පහර දෙනු ලැබ ද, නො කිපී සැමියා හට ඉවසා ද, ක්‍රෝධ නො කරන්නී ද, හිමියාගේ කැමැත්ත අනුව වසන්නී ද එබඳු වූ භාර්යාවයි.
මෙම භාර්යාවන් සත්දෙනා අතරෙන් මුලින් දැක්වූ භාර්යාවෝ තිදෙන නුසුදුසු භාර්යාවෝ වෙත්. සෙසු සිව්දෙන යහපත් භාර්යාවෝ වෙත්. එබැවින් විවාහ ජීවිතයට ඇතුළත් වී භාර්යාවක ලෙස කටයුතු කරන්නා වූ ද, මතු එසේ කිරීමට අදහස ඇත්තා වූ ද සෑම ස්ත්‍රියක විසින් ම යට කී යහපත් භාර්යාවන් සිව් දෙනාගෙන් කෙනකුවීමට උත්සාහ කළ යුතු ය.
එකම භාර්යාවකට වුව ද මවක මෙන් ද, සොයුරියක මෙන් ද, යෙහෙළියක මෙන් ද, දාසියක මෙන් ද තම ස්වාමියා කෙරෙහි පැවැතීමට ඉඩ තිබෙන හෙයින් එබඳු යහපත් සුවිනීත භාර්යාවක් වීමට උත්සාහ කිරීම වඩාත් ප්‍රශංසනීය වේ.