මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායකාදී ගරුතර ත්‍රිංශත් වර්ගික ගරුතර කාරක මහා සංඝ සභාව මඟින් මිද්දෙණිය ආදළුගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරාධිපති, ඇඹිලිපිටිය කුඹුගොඩ ආර සිරිරතන පරිවේණාධිපති, ශාස්ත්‍රවේදී බද්දේගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත හම්බන්තොට දිසාවේ ගිරුවාපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය අද (03) පෙරවරු 9ට මාතර තිහගොඩ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ දී සුගත ධම්ම විශාරද, අග්ගමහාපණ්ඩිත ඕමාරේ කස්සප මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ ගඟබඩ පත්තුවට අයත් බද්දේගම ඉඳුරුපත්විල ග්‍රාමයේ මාලනී අලහකෝන් මව්තුමියගේ සහ ඤාණපාල ඩයස් පියතුමාගේ දරුවන් අතර බාල ම පුත් රුවන ලෙස 1989 ඔක්තෝබර් මස 30 වැනි දින උපත ලද අභිනව නාහිමිපාණන් වහන්සේ ඉඳුරුපත්විල විද්‍යානන්ද විද්‍යාලය හා විද්‍යානන්ද විද්‍යායතන පිරිවෙනින් අධ්‍යාපනය ලබා 2004 ඔක්තෝබර් මස 30 වැනි දින වඳුරඹ කුඹලමළහේන ශ්‍රී කස්සප බෝධිරාජාරාමයේ දී තත් විහාරාධිපති, බද්දේගම ලේල්වල ගලපාත පුරාණ විහාරාධිපතිව සිටි, ගාලු වැල්ලබඩ පත්තුව, ගඟබඩ පත්තුව හා ගාලු කඩවත් සතරේ ප්‍රධාන සංඝනායක බද්දේගම ශ්‍රී ධම්මික නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යා සම්පත් ලැබූහ.
මාතර වෙහෙරහේන පූර්වාරාම මහා විහාරස්ථ සිරි රේවත මහ පිරිවෙන, බද්දේගම මාජුවාන ශ්‍රී ඉන්දසර විද්‍යායතන පිරිවෙන, කිරිබතාවිල ශ්‍රී අමරවංශ පිරිවෙන යන විද්‍යාස්ථානවලින් අධ්‍යාපනය ලබා උගත යුතු බණ දහම් හදාරා, නිසි වයස් සපිරීමෙන් පසු 2010 මැයි මස 01 වැනි දින මාතර රන්දූපතේ පිහිටි ශ්‍රී රෝහණ සංඝ සභා උපෝසථාගාරයේ දී සිව් සඟරාවත නම් ග්‍රන්ථයක් රචනා කොට රාජකීය පණ්ඩිත, සාහිත්‍යසූරී අත්තුඩාවේ සිරි රාහුල මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ රෝහණ පාර්ශ්වීය කාරක මහා සංඝ සභාව වෙත පිළිගන්වා, සංඝ සභාවේ ප්‍රසාදයට පත්ව මිද්දෙණිය වැලිපිටිය ශ්‍රී පන්ථාරාම පුරාණ විහාරාධිපති, දොළොස් දහස් ගිරුවාරට ප්‍රධාන අධිකරණ සංඝ නායක අඹගස් ආරේ විමලරතන නාහිමිපාණන් වහන්සේගේ සහ බෝවල ශ්‍රී සද්ධම්මචේතියාරාමාධිපති වැලිපිටියේ උදිත හිමි යන හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි පරීක්ෂණ සමත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා පිරිවෙන් ගුරු සේවයට අවතීර්ණ ව රඹුක්කන දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ විද්‍යායතන පිරිවෙන, පට්ටියපොල හැඩවින්න ශ්‍රී පුඤ්ඤරතන පිරිවෙන, ඇඹිලිපිටිය කුඹුගොඩ ආර ශ්‍රී පුඤ්ඤරතන පිරිවෙන ආදී පරිවේණස්ථානවල ආචාර්යයන් වහන්සේ නමක හා පරිවේණාධිපතින් වහන්සේ වශයෙන් කටයුතු කොට තිබේ.
විද්‍යෝදය පිරිවෙනේ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පැවැත්වූ ත්‍රිපිටකාචාර්ය උපාධි
පරීක්ෂණයෙන් හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධ ධර්මය ඩිප්ලෝමාව වැනි විභාග සමර්ථ ව අධ්‍යාපන සුදුසුකම් සපුරාගෙන තිබේ.
ශ්‍රී රෝහණ සංඝ සභාව කෙරෙහි මහත් හිත පක්ෂපාතීත්වයකින් ක්‍රියා කරන අභිනව නාහිමිපාණන් වහන්සේ උපසම්පදාවෙන් දස වස් සපිරීමෙන් පසු 2019 ශ්‍රී රෝහණ පාර්ශ්වයේ කර්මවාගාචාර්ය පදවියකට සහ 2020 දී උපසම්පදා කාරක සභික පදවියට ද පිදුම් ලද අතර, එම සංඝ සභාවේ තරුණ භික්ෂු සංගමයේ ලේකම් පදවිය හොබවමින් තත් පාර්ශ්වයේ අභිවෘද්ධිය පිණිස මහත් මෙහෙවරක් සිදු කරති.
සාමණේර වියේ පටන් බුදුසරණ පුවත්පත ඇතුළු බෞද්ධ පුවත්පත් සඳහා ලිපි රචනා කරමින් ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහ බොහෝ ප්‍රමාණයක් රචනා කොට ඇත. දශකයකට ආසන්න කාලයක් වැලිපිටිය ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ ප්‍රධානාචාර්ය දැරූ කුසලධම්ම හිමියන් වර්තමානයේ ආදුලුගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරමින් එම විහාරස්ථ ශ්‍රී චන්දජෝති දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය හොබවති.
දියසුන්නත රාජමහා විහාරාධිපති කොටගම චන්දරතන නාහිමි, දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න උපප්‍රධාන අධිකරණ සංඝනායක වේරගොඩ කස්සප නාහිමි, උපාධ්‍යාය ධුරන්ධර ගොමිල කෝලිත නාහිමි, පුත්තලම් දිසාවේ ප්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි වැනි මහා යතිවරුන් වහන්සේලාගේ නිබඳ ඇසුර ලබමින් කටයුතු කරන අභිනව නාහිමිපාණන් වහන්සේ බැරගම ශ්‍රී රාහුලාභිධාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු ස්ථවිර නවක මධ්‍යමාදී බොහෝ යතිවරුන් වහන්සේලාට නිබඳ සවියක් වී කටයුතු කරති. මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාලයේ ආචාර්ය මුල් ලැඩියාවල චන්දරතන හිමි, වල්ගම්මුල්ලේ චන්දරතන හිමි යන හිමිවරුන් බද්දේගම කුසලධම්ම හිමියන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ වෙති.
අද (03) පැවැත්වෙන ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවයෙන් පසු සන්ධ්‍යාවේ අභිනව නාහිමියන් පිළිගැනීමේ හා ආශිර්වාද කිරීමේ චතුමධුර ගිලන්පස දානය සහ ආශිර්වාද බෝධි පූජාව ආදළුගොඩ නිග්‍රෝධාරාම විහාරස්ථානයේ දී සිදු කෙරේ.
දිමුතු පුන්සර කොළඹගේ