වීදියක හෝ සොහොනක හෝ කසළ ගොඩක හෝ ඇති පස් මත ඉවුරක් සේ වැටී තිබෙන වස්ත්‍රය පංසුකූල වස්ත්‍රය යනුවෙන් හඳුන්වනු ලබයි.
එමෙන් ම මළ මුත්‍ර, සෙම් සොටු ආදියත් සමඟ මුසු ව, පිළිකුල් ස්වභාවයට පත් වූ පොළොවෙහි ඇති පස් සේ, යම් වස්ත්‍රයක් පිළිකුල් ස්වභාවයට පැමිණියේ නම්, ඒ අරුතින් ද එම වස්ත්‍රය පංසුකූල වස්ත්‍රයක් යනුවෙන් හඳුන්වනු ලබයි.
ගෞතම සසුනෙහි පිළිසරණ ලබනු කැමති ව පැවිදි වූ උතුමන් වහන්සේ චීවර පරිභෝග කරන්නේ, පිළිවෙත් පිරීමෙහි පහසුව ඇතිවීම උදෙසා පමණක් ම ය. එහිලා අරමුණු සතරකි.
එනම් සීතලෙන් වන පීඩා වළක්වා ගැනීම, උණුසුමින් වන පීඩා වළක්වා ගැනීම, මැසි මදුරුවන්ගෙන්, අව් සුළං ආදියෙන්, පත්තෑ, ගෝනුසු ආදීන්ගෙන් විය හැකි පීඩා වළක්වා ගැනීම, ලජ්ජාව උපදවන්නා වූ ස්ථාන වසා ගැනීම යන්නයි.
මේ සරල කරුණු සතර උදෙසා පමණක් සිවුරු පරිභෝග කරන භික්ෂුව සුවපහසු පහස ඇති, අනගි වස්ත්‍ර සිවුරු පිණිස නොසොයයි. ඉහත කරුණු සතර සපිරෙන කවර හෝ වස්ත්‍රයකින් සෑහීමකට පත්වෙයි. මෙය උත්තරීතර චීවර සන්තුට්ඨිතා ආර්යවංශය යනුවෙන් ද හඳුන්වනු ලබයි.
‘මහණෙනි, මෙහිලා භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් ලද සිවුරකින් සතුටු වෙයි. ලද සිවුරකින් ලබන සතුට පිළිබඳ වර්ණනා කරන්නේ වෙයි. සිවුරක් උදෙසා භික්ෂූන්ට අයෝග්‍ය වූ, නොසරුප් දෙයකට නොපැමිණෙයි. සිවුරක් නොලැබුණේ වුව ද එයින් කම්පා නො වෙයි. සිවුරක් ලැබුණේ වුව ද එහි ඇති ආසා ඇත්තේ නො වෙයි. එයින් මුසපත් නො වී, එහි නො බැසගෙන, ආදීනව දකිනා සුලු ව, එහි ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ව, පරිහරණය කරයි. ඒ ලද සිවුරෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නො දක්වන්නේ වෙයි. අනුන් හෙළා නො දකියි.
ඒ භික්ෂුව, ලද සිවුරෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නො වූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. ’මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරැණි වූ, අග්‍ර යැයි දන්නා ලද, ආර්යවංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.’
තුන් කල්හි ම බුද්ධාදී ආර්යයන් වහන්සේ ලද සිවුරෙන් සතුටු වීම ප්‍රශංසා කරන ලදහ. එහිලා නිවන් මඟේ හැසිරීම ප්‍රධාන කටයුත්ත කර ගත් භික්ෂුව ගිහියන් විසින් පුදන වටිනා සිවුරු ආදිය නොසොයා, ඉවත දමන ලද, පිළිකුල් ස්වභාවයට පත් වූ වස්ත්‍රවලින් සිවුරු සකසා ගෙන පොරවයි නම්, එය පංසුකූලිංකගය නම් වේ.
‘මහණෙනි, සිවුරු අතරින් පංසුකූල චීවරය අල්ප වූයේත්, සුලභ වූයේත් වෙයි. එය වරදින් තොර වූ දෙයකි.’
පංසුකූලිකංගය සමාදන් වූ භික්ෂුවට ගෘහපති චීවරය නම් වූ දායකයන් විසින් පුදන සිවුරු භාවිතය සුදුසු නො වේ. එමෙන් ම සංඝයා උදෙසා පොදුවේ පුදන ලද වස්ත්‍ර ද, වස්ත්‍ර පිඬුසිඟා වැඩීමෙන් ලැබෙන චීවර ද, සෙනසුනක් කරවූවන් විසින් සෙනසුනෙහි වසන පොදු සංඝයාගේ භාවිතය උදෙසා තබන ලද වස්ත්‍ර හෙවත් සේනාසන චීවර ද භාවිතයට සුදුසු නො වේ.
පංසුකූලික භික්ෂුවට සිවුුරු පිණිස වස්ත්‍ර සොයා ගත හැකි ආකාර 23කි. ඒවා චීවර ක්ෂේත්‍ර යනුවෙන් ද හැඳින් වේ.
සොහොනෙහි දමන ලද වස්ත්‍ර, කඩ සාප්පු ඉදිරිපිට දමන ලද හෝ වැටුණු වස්ත්‍ර, පින් කැමති මිනිසුන් විසින් භික්ෂූන්ගේ ප්‍රයෝජනය උදෙසා මහමඟ දමන ලද වස්ත්‍ර, කසළ ගොඩේ දැමූ වස්ත්‍ර, ස්ත්රීන්ගේ ගැබ් මළ පිස දමා ඉවත දැමූ වස්ත්‍ර, යකැදුරන් විසින් භූතාවේශ වූ රෝගීන් නැහැවීමේ දී භාවිත කොට ඉවත දැමූ වස්ත්‍ර, නාන තොටෙහි ඉවත දමන ලද වස්ත්‍ර, සොහොනට යන මිනිසුන් විසින් හැඳගෙන ගොස් පිළිකුල් බැවින් ඉවත දමන ලද වස්ත්‍ර, ගින්නෙන් පිළිස්සීම නිසා ඉවත දමන ලද වස්ත්‍ර, හරකකු කෑ නිසා ඉවත දමන ලද වස්ත්‍ර පාංසුකූල වශයෙන් භික්ෂූන් වහන්සේට ගත හැක්කේ ය. එමෙන් ම, වේයන් කෑම නිසා ඉවත දමන ලද වස්ත්‍ර, මීයන් කෑම නිසා ඉවත දමන වස්ත්‍ර, වස්ත්‍රයෙහි අගින් කැඩී යෑම නිසා ඉවත දමන ලද වස්ත්‍ර, වස්ත්‍රයෙහි වාටිය කැඩී යෑම නිසා ඉවත දමන ලද වස්ත්‍ර, නැව් නඟින තොටුපොළක හෝ යුද පිටියක හෝ හැර දමන ලද කොඩි, යකැදුරන් විසින් ශාන්තිකර්ම කිරීමේ දී තුඹස් මත බඳින ලද වස්ත්‍ර, භික්ෂූන් වහන්සේගේ පෞද්ගලික චීවර, රාජාභිෂේකයන්හි දී භාවිත කොට හැර දැමූ වස්ත්‍ර, ඒහි භික්ඛු පැවිදි උපසම්පදාවේ දී සෘද්යෙන් ලැබෙන චීවර, අමතක වීම නිසා හෝ සොරුන්ගෙන් සිදුවන හිරිහැර නිසා මිනිසුන් විසින් අතරමඟ අතහැර දමන ලද වස්ත්‍ර, සුළඟින් ගසාගෙන යන ලද වස්ත්‍ර, දෙවියන් විසින් පුදන ලද වස්ත්‍ර, මුහුදු රළින් ගොඩ ගසන ලද වස්ත්‍ර, යනාදිය ද පාංසුකූල වස්ත්‍ර ගණයට අයත් වේ.
මේ ආකාර අතරින් කවර අයුරකින් හෝ රෙදි කැබලි සපයා ගෙන, දුර්වල ස්ථාන ඉවත් කොට, සකසා ගන්නා චීවරය පංසුකූල චීවරය නම් වේ. දිව සළුපිළි දැරීමට ද මහා පුණ්‍ය මහිමයෙන් යුතු අප භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර පුණ්ණා දාසියගේ මෘත ශරීරය එතූ, සතර නැලියක් පමණ පණුවන් ගැවසීගත් වස්ත්‍රය රැගෙන චීවරයක් කොට සම්බුදු සිරුරෙහි දරා ගත් සේක. එකල්හි සම්බුදු රදුන්ගේ පාංසුකූලයෙහි ආනුභාවයෙන් සිව් වරක් මේ මහා පෘථිවිය කම්පා වී ගියේ ය.
එමෙන් ම අනුරුද්ධ මහ රහතන් වහන්සේ පාංසුකූලයක් සොයා ගත් අයුරු ධම්මපදට්ඨ කතාවේ අරහන්ත වර්ගයේ සඳහන් වේ. මේ අයුරින් මෙම පංසුකූලිකංගය බොහෝ බුද්ධාදී ආර්යයන් වහන්සේ විසින් සේවනය කරන ලද්දාහ.
පාංසුකූල චීවරයක් සැකසීමේ දී, ඒ සඳහා භික්ෂුවට අදහස පහළ වූ මොහොතේ සිට සිවුර සකසා පරිහරණය කරන මොහොත දක්වා සිදු කරන කටයුතු සියල්ල ම තමන් වහන්සේගේ භාවනාවට උපකාරයක් වන පරිදි හෙවත් කර්මස්ථාන ශීර්ෂයෙන් සිදු කරනු ලැබේ. ඒ යටතේ සඳහන් වන කරුණු විස්සක් විසිවැදෑරුම් චීවර සන්තෝෂයන් ලෙස ධර්මයෙහි සඳහන් වී ඇත්තේ ය. ඒවා මෙසේ ය.
එහිලා භික්ෂුව, තෘෂ්ණා, මාන, දෘෂ්ටි ආදියෙන් තොර ව සිවුරක් ලබා ගැනීමට විතර්ක කිරීමෙන් පී‍්‍රති වන්නේ ය, සිවුරක් ලබා ගැනීමට සිහි නුවණින් වැඩම කිරීමෙන් පී‍්‍රති වන්නේ ය, සුපේශල ශික්ෂාකාමී භික්ෂුවක් සමඟ සිවුරු සෙවීමෙන් පී‍්‍රති වන්නේ ය. කැප වූ වස්ත්‍රයක් සිවුරක් උදෙසා ලැබීමෙන් පී‍්‍රති වන්නේ ය. පමණ දැන වස්ත්‍ර පිළිගැනීමෙන් පී‍්‍රති වන්නේ ය, සිවුර උදෙසා ඇති ලොල් බව දුරු කිරීමෙන් පී‍්‍රති වන්නේ ය, යහපත් හෝ අයහපත් හෝ ලැබුණු සිවුරෙන් පී‍්‍රති වන්නේ ය, ලද චීවරය දරා ගැනීමට අපහසු වේ නම්, අන්‍ය භික්ෂූන් සමඟ එය හුවමාරු කර ගැනීමෙන් පී‍්‍රති වන්නේ ය, තමා ලද යහපත් සිවුරු, ගුණවත් ස්වාමීන් වහන්සේට පූජා කිරීමෙන් පී‍්‍රති වන්නේ ය. එමෙන් ම භික්ෂුව, තමන් ලද වස්ත්‍ර කැබලිවලින් සිවුරු සැකසීමේ දී කමටහන් වඩමින් පී‍්‍රති වන්නේ ය, අල්පේච්ඡතාවෙන් යුතු ව අවශ්‍ය ප්‍රමාණයට පමණක් සිවුරු සකසමින් පී‍්‍රති වන්නේ ය, සිවුරු මැසීම උදෙසා ලැබුණු යහපත් හෝ අයහපත් හෝ නූල්වලින් පී‍්‍රති වන්නේ ය, සිවුරු සේදීම උදෙසා ලැබුණු ජලයෙන් පී‍්‍රති වන්නේ ය, කමටහන් වඩමින්, සිවුරු සේදීමෙන් පී‍්‍රති වන්නේ ය, කැප ලෙස සිවුරු මසා ගැනීමෙන් පී‍්‍රති වන්නේ ය, කමටහන් වඩමින්, සිවුරු පඬු පෙවීමෙන් පී‍්‍රති වන්නේ ය, කැප ලෙස කප් බිංදු තැබීමෙන් පී‍්‍රති වන්නේ ය, ප්රත්යවේක්ෂා කරමින් සිවුරු පරිහරණය කිරීමෙන් පී‍්‍රති වන්නේ ය, සිවුරු රැස් කර ගැනීමෙන් වැළකීම නිසා පී‍්‍රති වන්නේ ය, සබ්‍රහ්මචාරීන් වහන්සේ සමඟ සිවුරු බෙදාහදා ගැනීමෙන් පී‍්‍රති වන්නේ ය.
සම්මා සම්බුදු රදුන් සිදු කළාක් මෙන් සොහොනෙහි දැමූ වස්ත්‍රයෙන් සිවුරු සකසා දරා ගැනීම පංසුකූලිකංගය උසස් ආකාරයෙන් සම්පූර්ණ කිරීමයි. අවශේෂ ආකාරයන්ගෙන් ලද වස්ත්‍රවලින් සිවුරු සකසා දරා ගැනීම මධ්‍යම ආකාරයෙන් පංසුකූලිකංගය සම්පූර්ණ කිරීමයි. සිවුරු උදෙසා වස්ත්‍ර සොයා වඩින භික්ෂුවගේ පාමුල යමකු විසින් තබන ලද වස්ත්‍ර රැගෙන සිවුරු සකසා දරා ගැනීම ලිහිල් ආකාරයෙන් පංසුකූලිකංගය සම්පූර්ණ කිරීමයි.
සිව්වණක් පිරිස අතරින් මෙම ධූතාංගය අදාළ වන්නේ පැවිදි පිරිසට පමණෙකි. එබැවින් භික්ෂු, භික්ෂුණී, සාමණේර, සාමණේරි යන සියලු පැවිද්දන්ට මෙය සමාදන් ව රැක ගත හැක්කේ ය. පංසුකූලිකංගය ආරක්ෂා කරන භික්ෂුව, පැවිද්ද මූලික වශයෙන් පංසුකූලික චීවරය ඇසුරු කරගෙන සිටින බැවින් එයට අනුගත වෙයි.
චීවර ආර්යවංශයෙහි පිහිටන්නේ වෙයි, චීවරය රැක ගැනීමේ දුක් නැත්තේ වෙයි, කිසිවකු පුදන සිවුරු නො පිළිගන්නා හෙයින්, ඒ අංගයෙන් ස්වාධීන වෙයි, සොර බිය නැත්තේ වෙයි, පරිහරණයේ දී තෘෂ්ණා නැත්තේ වෙයි, ශ්රමණයන් වහන්සේට ගැළපෙන පිරිකර ඇත්තේ වෙයි, සම්බුදු රදුන් විසින් ප්‍රශංසා කරන ලද සිවුරු දරන්නේ වෙයි, දුටු දුටුවන් පහදවන්නේ වෙයි, ආසාවන් අඩු බව ආදී බොහෝ ගුණ සම්පත් උපදවා ගනී, ඉතා යහපත් ප්රතිපත්තියක සිටින්නේ වෙයි, පසුකාලීන භික්ෂූන් ද පංසුකූලිකංගයෙහි උත්සාහවත් කරවන්නේ වෙයි.
මේ වනාහි පංසුකූලිකංගයෙහි දොළොසක් වූ ආනිශංසයෝ ය. මෙහි ඇති අසිරිමත් බව පුරාණ ආචාර්යයන් වහන්සේ මෙසේ ද වදාරණ ලද්දාහු ය.
මාර සෙනඟ වැනසීමෙහි දී පංසුකූල සිවුර දරනා භික්ෂුව, යුද්ධයෙහි දී සන්නාහ සන්නද්ධ ක්ෂත්රියයකු මෙන් ශෝභමාන වන්නේ ය. කසී සළු ආදී මාහැඟි වස්ත්‍ර අත්හැර, තිලෝගුªරු බුදුරජාණෝ උතුම් වූ පංසුකූල චීවරයක් දැරූ සේක. එබඳු වූ පංසුකූලය දරා නොගන්නේ කවුද?
එබැවින් ‘පංසුකූල සිවුර ඇසුරු කොට පවතින්නේ ය’ යන ප්‍රතිඥාව සිහි කරන භික්ෂුව, යෝගීන්ට අනුකූල වූ පංසුකූල චීවර දැරීමෙහි ඇලී වාසය කරන්නේ ය.