ඇසළ පුර පසළොස්වක පෝ දින උපසම්පදා භික්ෂූන් වහන්සේ පෙර වස් සමාදන්වීම සිදු කරති. සම්බුද්ධ නියමයට අනුව එලෙස වස් ශික්ෂා පදය සමාදන් වූ උන්වහන්සේ වප් පුර පොහෝ දින වස් පවාරණය සිදු කරන අතර, ඉන්පසු ඉල් පුන් පොහොය වන තෙක් “කඨින” මාසය හෙවත් චීවර මාසය එළැඹෙයි. එය ශාසනික වශයෙන් ඉතා වැදගත් කාලයකි. ශ්රද්ධාවන්ත ශ්රාවකයා බොහෝ පින් කර ගැනීම සඳහා යොමුවන මෙම වස්සාන සමය බෞද්ධයන් මහත් හරසරින් සමරන්නේ මහත් බුද්ධාලම්භන පී‍්‍රතිය උපදවා ගනිමිනි.
බුදුදහමින් පෙන්වා දෙන පරිදි “කඨින” යන වචනයට බොහෝ අර්ථ සපයා ඇත. ඒ අතර තද, දැඩි, නොසැලෙන නො බිඳිය හැකි යනාදී අර්ථ ඇති අතර, එකී සෑම අර්ථයකින් ම කඨින පින්කම ඉතා උදාර ආනිශංස ලබා දෙන මහඟු පින්කමක් බව අවධාරණය කරයි. අටමහා පින්කම් අතර පළමු පින්කම ලෙස ද මෙය දක්වා ඇත.
කඨින සිවුරක් පූජා කිරීම, අටපිරිකර පූජා කිරීම, ආවාස සඟසතු කොට පූජා කිරීම, බුදුපාමොක් මහ සඟනට දන් පූජා කිරීම, ධර්මය කියවීම, ලියවීම, මුද්‍රණය කර දීම, කෙත් වතු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා, චෛත්‍ය, මලසුන්, බෝධි රෝපණය මහා පුණ්‍ය කර්මයන්ය.
ඉහත දක්වන ලද පින්කම් අතර කඨින සිවුරක් පූජා කිරීම පළමු පින්කම ලෙස දක්වන්නේ එහි ඇති උදාරවත් බව නිසා ය. වස්සාන සමය වශයෙන් දක්වන්නේ වර්ෂා කාලය ලෙසිනි. එකී කාල සීමාව තුළ උපසම්පදා භික්ෂූන් වහන්සේ එක් ස්ථානයක වැඩ වෙසෙමින් වස් ශික්ෂා පදය මනාව ආරක්ෂා කර ගත යුතු ය. වස් පවාරණයෙන් පසු ගිහි දායක දායිකාවන්ගේ වගකීමක් වනුයේ වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට ‘චීවර’ පූජාව සිදු කිරීමයි.
‘කඨින චීවරය’ යනුවෙන් අර්ථ ගන්වන්නේ එහි ඇති අනුසස් ඉතා ඉහළ නිසාවෙනි. විශේෂයෙන් මහාවග්ග පාලියෙහි ‘කඨින ඛන්දකය’ යනුවෙන් ඛන්දකයක් වෙන ම දක්වා ඇත. එහි සඳහන් වන්නේ කඨිනයෙහි ඇති ආනිශංස මෙන් ම කඨිනයේ ස්වභාවය පිළිබඳව යි. මෙම පින්කමේ ඇති තවත් විශේෂ ම කරුණක් වන්නේ ගිහි පක්ෂයට සේ ම පැවිදි පක්ෂයට ද වෙන වෙන ම අනුසස් පැහැදිලි වශයෙන් දක්වා තිබීමයි. අපදාන පාලියෙහි ‘නාගිතාපදානය’ තුළ මේ පිළිබඳ ඉතා ඉහළින් අනුසස් දක්වා ඇති අතර, නාගිත මහ රහතන් වහන්සේ පෙර සසර ගමන තුළ සිදු කළ මෙකී පින්කමක ඵලය ඉතා ඉහළින් වර්ණනා කර ඇති අයුරු ඉතා විචිත්‍රවත් ය.
‘කඨින දානං දත්වාන
සංඝෙ ගුණ වරුත්තමේ
ඉතෝ තිංසේ මහා කප්පේ
නාභි ජානාමි දුග්ගතිං’
සංඝයා වහන්සේගේ ගුණ මනාව දැන ගෙන කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබූ අනුසස් මෙම ගාථාවේ දක්වන්නේ ආත්ම වාර තිහක් යන තුරු දුක කියන වචනය පවා සසර දී නො ඇසූ බවයි. එතරම් මහත් වූ පුණ්‍ය ඵලයක් මෙමඟින් ලබා දෙන බව නාගිත මහ රහතන් වහන්සේ දක්වා ඇත.
‘ද්වේ කුලේ උප්පජ්ජාමි
ඛත්තියෝ වාපි බ්‍රාහ්මණෝ
හීන කුලේ න ජානාමි
කඨිනදානස්සිදං ඵලං’
ක්ෂත්රීය හා බ්‍රාහ්මණ යන කුල දෙකෙහි පමණක් උපන්නෙමි. හීන කුලයෙහි නොඉපදුනෙමි. මෙය ද කඨින දානයේ අනුසස් ය.
‘ආරපථෙ ආරපථෙ
චක්කවත්තිං සිරිං ලභෙ
අසීතිං ච චතුක්ඛත්තුං
චක්කවත්ති අභොසහං’
ගැසූ ගැසූ ඉදිකටු පාරක් පාසා තිස්හතර වතාවක් සක්විති රජු වීමට හේතු සම්පත් ඇති ද, සසර එපමණ බොහෝ කලක් නො සිටි හෙයින් 84 වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබූ බව ඉහත ගාථාවෙන් නාගිත මහ රහතන් වහන්සේ ප්‍රකාශ කොට ඇත.
මෙලෙස නාගිතාපදානයෙහි අනුසස් දීර්ඝ ලෙස පෙන්වා දී ඇති අතර, ‘කඨින’ යන වදනට අනුගතව ම එහි පුණ්‍ය විපාක වර්ණනාවට ලක්කර ඇත. එමෙන් ම මේ තුළින් ලැබෙන පින් මහිමය සේ ම ගිහි පැවිදි දෙපක්ෂයට වරප්‍රසාද වෙන ම ලැබීම ද විශේෂ ලක්ෂණයකි.
උපසපන් භික්ෂුව වස් සමාදන් වී එම ශික්ෂා පදය මනාව ආරක්ෂා කිරීම ඔස්සේ මෙම කඨිනය සමඟින් බෞද්ධ භික්ෂුවට ද වරප්‍රසාද කිහිපයක් හිමි වේ.
අනාමත්තචාරය – තම විහාරස්ථානයෙන් වඩින විට අනෙකුත් භික්ෂූන්ට දැනුම් දීමකින් තොරව වැඩම කිරීමේ හැකියාව.
අසමාදානාචාරය – තමන් වහන්සේගේ තුන් සිවුරෙන් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තමන් සමඟ නොමැතිව (වෙනත් ආවාසයක තබා) වෙනත් තැනක වැඩ සිටීමේ හැකියාව.
ගණ භෝජනය – ආරාධනා කරන ලද ස්ථානවලට ගොස් වැළඳීමේ හැකියාව.
යාවදත්ථ චීවරය – කඨින චීවරය හැර තමාට ලැබෙන අතිරේක සිවුරු තමා සන්තකයේ තබා ගැනීමේ හැකියාව.
චීවරුප්පාදය – කඨිනය අතුරන ලද විහාරස්ථානයේ සංඝයාට ලැබෙන සියලු පරිෂ්කාර අයිති වීම.
මෙම කරුණු තුළින් කඨින පින්කමේ ආනිශංස කෙතරම් අගනේ ද යන්න මනාව පැහැදිලි වේ.
ගිහි පක්ෂයට ද මෙලොව හා පරලොව වශයෙන් සියලු සම්පත් හිමි වන අතර, දුගතියෙන් මිදීම සඳහා මෙකී අනුසස් බොහෝ සෙයින් ඉවහල් වනු ඇත. වසරකට වරක් සිදු කරන මෙකී පින්කම කිරීමේ දී ගිහි පැවිදි දෙපක්ෂය ම සුවිශේෂ වූ කැප කිරීමක් සිදු කළ යුතු අතර ම ඒ නිසා ම ‘කඨින’ නාමයෙන් බොහෝ අනිශංස ලබමින්, සසර ගමන වාසනාවන්ත කර ගැනීමට මෙන් ම මෙම බියකරු සංසාරයෙන් එතෙර වීමේ හැකියාව උදා කර ගත හැකි ය.
සේයාරුව – නිශ්ශංක විජේරත්න