ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2026 නොවැම්බර් 17 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2026 නොවැම්බර් 17 අඟහරුවාදා
නිවස බෞද්ධ දර්ශනයසතිය පුහුණුවට එදිනෙදා ක්‍රියාකාරකම්

සතිය පුහුණුවට එදිනෙදා ක්‍රියාකාරකම්

by Thanushika
November 17, 2026 12:58 am 0 comment

සතිය පුහුණු කිරීම ඇවිදින ගමන්, වාඩි වී සහ එදිනෙදා වැඩවල දී කරන ආකාරය අපි විස්තර ඇති ව සාකච්ඡා කර තියෙනවා. ඒ වගේ ම සති ක්‍රීඩා කියන කොටසත් විවිධ ආකාරවලට අපි මේ ඇත්තන්ට කියා දී තියෙනවා. අදත් ඒ වගේ දවසක්.

අපි අද ඉදිරිපත් කර ගන්නේ සති ක්‍රීඩා කියන මාතෘකාව තවත් ආකාරයකට කියා දෙන්න. මීට පෙර විවිධ අවස්ථාවල දී තමන්ගේ හැඟීම් ගැන අවධියෙන් සිටීම සහ එය ක්‍රීඩාවක් කර ගන්න, ආකාරය ඉගෙන ගත්තා. සාමූහික ක්‍රියාකාරකම්වල නිරත වන විට අනිත් අය සිදු කරන අසමබර ක්‍රියාවල දී අසතුටු වීම් හිත් කරදර වළක්වා ගැනීමට සුදුසු සතිමත් ක්‍රීඩාවක් කියා දෙන්න අපිට පසුගිය සතියක හැකි වුණා. ඉතින් අද ඊට වඩා ටිකක් ගැඹුරු කාරණාවක් සති ක්‍රීඩාවලට එකතු කරන්න තමයි අපි සූදානම් වෙන්නේ.

අද අපි කතා කරන මේ සති ක්‍රීඩාව තනියමත්, එහෙම නැත්නම් සමූහයක් වශයෙනුත් කරන්න පුළුවන්. අපි හිතමු පිරිසක් එක්ක ඉන්න කොට නැත්නම් වැඩක් කරගෙන යන කොට කිසියම් හේතුවකට ලොකු තරහක් ආවා කියලා. එහෙම නැත්නම් ලොකු ආසාවක් ආවා කියලා. නැත්නම් එපා වෙලා, කම්මැලි වෙලා, බෑ කියලා හිතෙන වෙලාවක් ආවා කියලා. මේ වගේ ආසාවක්, තරහවක්, කම්මැලිකමක් ආවට පස්සේ අපි වැඩ කරන හැටි බැලුවොත් හිතට ආපු ආසාව, තරහ, කම්මැලිකම නිසා එතැන සිටින පිරිස එක්ක පවත්වපු සන්නිවේදන ස්වරය, උපකරණ එක්ක වැඩ කළා නම් ඒවා හසුරුවන හැටි, ඒ කණ්ඩායම දිහා බලන හැටි ආදිය වෙනස් වෙන බව තේරෙනවා.

ඉතින් එදිනෙදා කරන වැඩවල දී මේ මනාපය, ආසාව, රුචිය එහෙම නැත්නම් අමනාපය, කම්මැලිකම ඇති වුණාට පස්සේ අපි වැඩ කරන හැටි ඒ වෙලාවේ ම දැක ගන්න පුළුවන් නම්, තනි තනි පුද්ගල හැසිරීම ආයතනයක හෝ පවුලක හෝ සාමය පවත්වා ගැනීමට වගේම සාර්ථකත්වය සඳහා බලපාන නිසා ඒක බොහෝ විට සමාජීය වශයෙන්, පවුලක් වශයෙන්, ආයතනයක් වශයෙන් වගේ ම පුද්ගලික ව වැදගත් වෙනවා. නමුත් මතක් කළ යුතු කරුණ නම්, හොඳ සතිමත් කෙනකුට තමයි මේ ඇතිවෙන විපර්යාසය එක්ක අපේ හැසිරීම් වෙනස් වෙනවා කියලා එවේලේ ම දැන, දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක සෙල්ලමක් විතරක් නොවෙයි. සෙල්ලමට එහා ගියා බොහොම අර්ථවත් දෙයක්.

ඉතින් මේ ක්‍රීඩාවේ දී අපි කරන්නේ තරහ, ආසාව නැත්නම් කම්මැලිකම ආවට පස්සේ අසතියෙන් ඒ බව නො දැක වැඩ කරන එක සහ සතියෙන් දැකලා වැඩ කරන එක අල්ල ගන්න උත්සාහ කරන එකයි. මේක ක්‍රීඩාවක් ලෙස සලකා, විනෝදාංශයක් විදිහට එදිනෙදා වැඩවල දී කරන්න පුළුවන්. කලින් සතිවල අපි කතා කළ ආකාරයට අපේ ඉඳුරන් විවිධ සතුන්ට උපමා කර ඒ හරහා සතිමත් බව සනිටුහන් කිරීම, සතිමත් ඉඳ ගැනීම, සතියෙන් ඇවිදීම වගේ ම සතිමත් ව එදිනෙදා වැඩ කිරීමේ දී කළ ආකාරයට ම මේ ක්‍රියාකාරකමටත් උපමා දෙන්න පුළුවන්.

මෙහි දී උපමාවට ගන්නේ බල්ලෙක් සහ සිංහයෙක්. බල්ලෙක් ඉන්න දිශාවට ගලක් නැත්නම් ටෙනිස් බෝලයක් විසි කළොත් බල්ලා දුවගෙන ගිහිල්ලා ඒ ගල නැත්නම්, ටෙනිස් බෝලය හපනවා. එයා ඒ විසි කරපු දේත් එක්ක තමයි නැත්නම් බාහිර දේ එක්ක තමයි ඔට්ටු වෙන්නේ. ඒ දෙසට තමයි දුවන්නේ. මෙහි දී සත්තු ගැන හොඳට බලා හිටපු වැඩිහිටියෝ දැකලා තියෙනවා සිංහයකුට ගලක් ගැහුවොත් ඌ ගල වැටෙන තැන බලන්නේ නෑ. ඒ වෙනුවට ඌ ගල එන දිශාව තමයි බලන්නේ. කොහෙන්ද ගල ආවේ කියලා තමයි බලන්නේ. ඒ කියන්නේ ගල වැටෙන තැන බලන එක බල්ලකුගේ වැඩක්. සුනඛාවලෝකනය කියලා බරපතළ වචනයක් තියෙනවා ඒකට. ඒ ගල එන දිහා බලන එක මුල බලන එක කොහෙන්ද මේක ආවේ කියලා බලන එක සිංහාවලෝකනය කියලා කියනවා. සිංහයකුගේ බැල්මක්.

කොහොම නමුත් මේ සතියේ අපි ඉගෙන ගන්න සති ක්‍රීඩාව වෙන්නේ මෙන්න මේ සුනඛාවලෝකනය සහ සිංහාවලෝකනය අපි තුළ සිදුවෙන ආකාරය නිරීක්ෂණය කිරීමයි. ටිකක් අපි විස්තර කර ගත්තොත් අසතිමත් කෙනා වෙච්ච දේත් එක්ක හැප්පිලා රණ්ඩු කරනවා, නැත්නම් ආසා ඇති කර ගන්නවා. නමුත් සතිමත් කෙනා බලනවා මොකක් අරමුණු කර ගෙන, මොකක් හේතු කර ගෙන ද මේ තරහ ආවේ කියලා. තරහ ඇති වෙන්න හේතු වෙච්ච කාරණාව දිහා බලන්න ගියොත් අපිට දකින්න, අවබෝධ කර ගන්න පුළුවන් තරහ ආවට පස්සේ හැසිරීම තරහ එන්න කලින් හැසිරීමෙන් වෙනස් වුණ හැටි.

අපි හිතමු තරහ ආපු වෙලාවෙ දී අපි ඒ තරහ එක්කම වැඩ කරනවා. ආසාව ආපු ගමන් ඉතා තද බල ආසාවකින් වැඩ කරනවා. නැත්නම් කම්මැලිකම ඇති වෙලාවට කිසිම දෙයක් අහන්නෙ, බලන්නෙ නැතුව ඔහේ වැඩ කරනවා. මේ වෙලාවට සාමාන්‍යයෙන් නම් අපි එහෙම කරන බව අපට තේරෙන්නේ නැහැ. නමුත් යම් කෙනකුට ඒක කවුරුත් කියලා දෙන්න පෙර තමන්ට ම ඒ දිහා අවධියෙන් බලා සිට මම මේ දැන්, මේ විදියට වැඩ කරන්නේ මේ ඇතිවුණ තරහ නිසා. නැත්නම් මම මේ විදියට කලබල වෙන්නේ, නොඉවසිලිමත් වෙන්නේ මේ වැඩේට තියෙන දැඩි ආසාව නිසා තමයි කියලා හඳුනා ගන්න පුළුවන් නම්, ඔක්කොම එපා වෙලා වගේ ඈලි මෑලි වෙලා වැඩ කරන්නේ කම්මැලිකම් නිසා තමයි කියලා දකින්න පුළුවන් නම් අපේ සතිය දියුණු වෙනවා වගේම ගොඩක් පසුතැවිලිවීම්, අලාබ හානි අඩු කර ගන්න පුළුවන් වෙනවා.

අපි තරහක් ආවට පස්සේ දේවල් එක්ක ගැටුම් ඇති කර ගන්නවා. හයියෙන් කතා කරනවා. තරහ වෙනවා. දොර ජනේල ශබ්ද නඟා වහනවා. කකුල් දෙක

පොළොවේ ගහනවා. සමහර වෙලාවට අඬනවා. නමුත් සතිමත් ව මේ ජවනිකාව නරඹන කෙනකුට පේනවා තරහ එන්න කලින් හොඳට හිටපු, ප්‍රීතියෙන්, සතුටින් හිටිය පුද්ගලයෙක් එක පාරට ආවේශ වුණා වගේ දඟලන හැටි. තවත් කෙනකුට බිය ඇති කරන, අපහසුවට පත් කරන ලෙස හැසිරෙන හැටි. තරහ එන්න හේතුව, ආසාවට හේතුව, නිදිමත වෙන්න හේතුව දැක ගත්තොත් මේ තරහවේ, මේ නිදිමතේ, මේ ආසාවේ මොකක්දෝ අපිව ආරූඪ කරන, වෙනස් කරන, ආවේශ කරන ගතියක් තියෙනවා කියලා පෙනෙනවා. මේ ක්‍රියාවලිය හරියට දැක ගත්තා නම් එයාට මේ දැන ගැනීමේ ක්‍රියාවලිය තහවුරු වුණාට පස්සේ නැත්නම් තමන් ඒක හොඳට පුහුණු වී දක්ෂයෙක් වුණාට පස්සේ තව කෙනෙක් මේ විදියට දඟලන, කලබල කරන වෙලාවට එයා එහෙම කරන්නේ ඇතිවෙච්ච ආසාවක්, තරහක් නැත්නම් මේ දෙක ම නැති කම්මැලිගතිය නිසයි කියලා වැටහෙනවා.

නමුත් ඒක කියන තරම් පහසු නැති, ටිකක් අමාරු වැඩපිළිවෙළක්. මොකද මුලින් ම තමන් ගැන හොඳට බලලා තමන් තුළින් ඒක හොඳට තහවුරු කර ගන්න ඕනෑ. ඒ සඳහා නිතර නිතර පුහුණුව කරන්න ඕනෑ. සතියෙන් වාඩි වෙලා, සතියෙන් ඇවිදලා, සතිය පුහුණු කරන කෙනෙක් උපයා ගත් සතිය බාධා මැද්දේ එදිනෙදා වැඩවල දී පුරුදු කිරීමෙන් ඒ සතියට නව පන්නරයක් ලැබෙන නිසා අද අපි කතා කරන මේ දක්ෂතාව උරගා බලන්න හැකියාව නිරායාසයෙන් ලැබෙනවා. එහෙම නැති කෙනෙක් සති මාත්‍රය වශයෙන් එන එන අරමුණ එක්ක ඉන්න පුහුණු වෙන්න ඕනෑ. තවත් ලිහිල් කරල කිව්වොත් ශබ්දයක් ඇහුණොත් ශබ්දය එක්ක, රූපයක් පෙනුණොත් රූපය එක්ක, ගඳ සුවඳක් දැනුණොත් ඒක අරමුණ කර ගන්න, කයට දැනෙන ස්පර්ශය එක්ක, දිවට රසක් දැනුණොත් ඒත් එක්ක ඉන්න පුහුණු වෙන්න අවශ්‍ය වෙනවා. එහෙම පුහුණුවක් ලබපු කෙනාට සති මාත්‍රය නිරායාසයෙන් පිහිටන නිසා වර්තමාන මොහොතට කැමති වෙලාවක එන්න පුළුවන්කම ඇති වෙනවා.

You may also like

Leave a Comment