කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන පංච නීවරණ ධර්ම නිසා අවිද්‍යාව හට ගනී. අවිද්‍යාව සිතක වැඩෙන්න වැඩෙන්න මටත්, ඔබටත් වන අලාභ දෙකකි. පළමුවැන්න කාමච්ඡන්ද, ව්‍යාපාද නීවරණ වැඩෙන විට සිතේ තිබෙන පිරිසිදුකම සෑම මොහොතක ම නැති වෙලා යනවා. ඒ මේ නීවරණ ධර්මවලින් සිත සෑම විට ම වෙලාගෙන සිටින නිසයි. සිතේ ප්‍රභාෂ්වර ස්වභාවය නැති වී යනවා. දෙවැන්න අවබෝධය කරා යන ප්‍රඥාව වැඩෙනවා නම් එලෙස වැඩෙන්න ප්‍රඥාව සෑම මොහොතකම නැති කර දැමීමට මෙම නීවරණ ධර්ම පහ සමත් වෙනවා. නිවන් මඟ අහුරන ධර්මතා වන්නේ මේ නීවරණ ධර්මමයි. නීවරණ ධර්ම වැඩෙන්න, වැඩෙන්න අපි කාමයන්ට වසඟ වෙනවා. කාමයන්ට අපි වශී වෙනවා. මුළා වෙනවා. ව්‍යාපාද ආදී නීවරණ ධර්මත් සිතේ වැඩෙනවා. ඒත් සමඟ ම අපේ අවබෝධය වැඩෙන්නේ නැහැ. ලෝකයේ යථාර්ථය අවබෝධ කර ගන්න පුළුවන් වෙන්නෙත් නැහැ. ඒ නිසා ම පංච නීවරණ ධර්ම ජීවිතවල බලවත් වෙලා.
සමහරුන්ට දරුවන්ගෙන් එහා ලෝකයක් පේන්නේ නැහැ. ඒ අය හිතාගෙන ඉන්නේ ජීවිතය කියන්නේ දරුවෝ කියලා. තවත් සමහරුන්ට යානවාහන, ඉඩකඩම්, මිලමුදල් ආදියෙන් තොර ලෝකයක් පෙනෙන්නේ නැහැ. මිනිසුන්ගේ ප්‍රඥාව මොට වෙලා සිත කොතරම් අපිරිසිදු වෙලා ද කියනවා නම් රුපියල් දහයට, විස්සටත් ගහබැණ ගන්නවා. එච්චරට ම මිනිසුන්ගේ සිත්වල නීවරණ ධර්ම බලවත් වෙලා. මේ කාම වස්තූන්ගෙන් එහා ලෝකයක් පෙනෙන්නේ ම නැහැ. ඒ අය හිතනවා, ජීවිතය කියන්නේ යානවාහන, ඉඩකඩම්, මිලමුදල් කියලා. මේවා එපා කියලා බුදුදහමේ උගන්වන්නේ නැහැ. නමුත් කවුරු හරි කෙනෙක් මේ කාමයන් පරිහරණය කරන කොට ආදීනවය දැන ගත්තේ නැති වුණොත්, ආස්වාදයට විතරක් නම් අහුවෙන්නේ ඊට වඩා ජීවිතයක් අපට තේරෙන්නේ නැහැ. ආස්වාදය තේරුම් ගෙන මේකත් දිනෙක මගේ අයිතියෙන් ගිලිහෙනවා කියලා කාමයන් පරිහරණය කරනවා නම් කාම උපාදානයට යන්නේ නැහැ. කාම උපාදානයට ගිහින් ඔබේ ඇස ඉදිරිපිට ඉන්න දරුවා ගැන දුකෙන් නම් මැරෙන්නේ දරුවත් අවසානයේ ගෙනත් දුන්නේ දුකක් නේද? මෙය තේරුම් ගැනීම හරිම අපහසුයි. මෙයට බුදුදහමේ ලස්සන නිදසුනක් පෙන්වනවා.
ධම්මපදයේ පුප්ඵ වග්ගයේ එන
පුප්ඵානි හෙව පචිනන්තං –
බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහොඝො’ව –
මච්චු ආදාය ගච්ඡති
මහණෙනි, විශාල ජල කඳක් එනකොට ගම ම නිදාගෙන නම් ඉන්නේ, ඒ ගමේ අය මේ ජල කඳ එන බව දන්නෙත් නැහැ. ඒ ගැන අවබෝධයකුත් නැහැ. ඒ නිසා ම නොසිතන වෙලාවක ආ මේ මහා ජල කඳට ගමේ සියලු දෙනා ගසාගෙන යනවා. පස්කම් සැපයෙහි ඇලුණ, එය ම සොයන මිනිසා මේ ජීවිතයේ හමුවූ ගෙවල් දොරවල්වලටත් වඩා, දූදරුවන්ටත් වඩා, යානවාහනවලටත් වඩා යමක් හොයනවා නම්, ඔබට තියෙන්නේ පස්කම් සැපය ම සොයන මානසිකත්වයක් නේද?
මේ ජීවිතයේ අපට සම්පත් අඩුවෙන් ම ලැබිලා තියෙනවා කියලා හිතන්න. නමුත් අපි කාමයන් පරිහරණය කරනවා. ලැබී තිබෙන සම්පත්වලටත් වඩා යමක් මරණින් මතු සොයන නිසා නේද සමහර අය රුපියලක් දන් දී ඊළඟ ආත්මේ කෝටිපතියෝ වෙන්න ප්‍රාර්ථනා කරන්නේ. සමහර විට හාමුදුරුවන්ට ගෙනත් දෙන්නේ ආප්ප දහයක් දොළහක්. ප්‍රාර්ථනා කරන්නේ ඒ දුන් දානයෙන් සංසාරයේ අනාථපිණ්ඩික වගේ මහා සිටුවරයෙක් වෙන්න ලැබෙන්න කියලා.
මේ ශාසනයේ අතහැරීම පුරුදු කරන්න කියලා හිතාගෙන නැවත නැවත ප්‍රාර්ථනා කරන දේ බලන්න. අපි සෑම මොහොතක ම ආසයි නැවත නැවත පස්කම් සැපය ලබන්න. පස්කම් සැපයට ම ඇලුණු මනසක් නම් තියෙන්නේ, ඒ පස්කම් සැපයේ ඇලිලා ඉන්න ඉන්න අපේ සිත අපිරිසිදු වෙනවා. කෙලෙස්වලින් වැහෙනවා. උපාදානයට යන්නේ ම ප්‍රඥාව අපි තුළ වැඩෙන්නේ නැති නිසයි. ඒ නිසා නේද මේ බුද්ධ ශාසනයේ දන්දී, මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවනක් ප්‍රාර්ථනා කරන්නේ.
මේ සංසාරයේ තව කොපමණ යන්න ද? පින් කළත් ජරා, මරණ, දුක එනවා නේද? නැවත නැවත අපි ජරා, මරණ දුකට මුහුණ දෙනවා. සම්බුද්ධ ශාසනයක් මුණගැහෙන්නේ මේ සංසාරය ගැන කතාව හොඳීන් තේරුම් ගෙන, දුක හොඳට අවබෝධ කර ගෙන, නිර්වාණය ගැන තේරුම් ගෙන, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට සසරින් ගැලවෙන්න.
භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, පස්කම් සැපයෙහි ඇලුණු ඒවා ම සොයන මිනිසා මාරයා විසින් නැවත නැවත මේ සංසාරයට අරගෙන යනවා. සංසාරය කියන්නේ ම සැඩපහරක්. ඒ සැඩ පහර ලෙහෙසි පහසු එකක් නොවේ. කාමය නැමති සැඩ පහරට හසුවෙනවා. දිට්ඨිය නැමති සැඩ පහරට හසුවෙනවා. භවය නැමති සැඩ පහරට හසුවෙනවා. අවිජ්ජා නැමති සැඩපහරට හසුවෙනවා. ගංවතුරක් ඇවිත් අපව අරගෙන යනවාට වඩා භයානකයි මේ කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය කියන සතර සැඩපහරට හසුවන එක. ඒ සැඩපහරට හසුවෙන්න, හසුවෙන්න මාරයා විසින් නැවත නැවත අප අරගෙන යන්නේ දුකටමයි. අවිද්‍යාව බලවත් වෙන්නේ හිත තුළ පංච කාමයන්ට ඕනෑවටත් වඩා ඇලි ඇලී නීවරණ ධර්මවලින් අපේ හිත් ප්‍රබල ව ක්‍රියාත්මක කරන නිසයි. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ මේ නීවරණ ධර්ම හැකි තරම් ප්‍රහානය කරන්න. කඩලා දාන්න.
දිල්හානි ජයවර්ධන