ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2026 නොවැම්බර් 17 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2026 නොවැම්බර් 17 අඟහරුවාදා
නිවස විශේෂාංගසිල්වත්බව පෙන්වන අයට රැවටෙන්න එපා

සිල්වත්බව පෙන්වන අයට රැවටෙන්න එපා

by Thanushika
November 17, 2026 12:30 am 0 comment

අතිශය සිල්වත්, අවංක හා ගුණගරුක යැයි සමාජයට පෙන්වමින්, අභ්‍යන්තරයෙන් අතිශයින් කපටි සහ ලෝභී ලෙස හැසිරෙන වංචනික අය පිළිබඳ සමාජයට කදිම ආදර්ශයක් සපයන අපූරු කතා පුවතක් ජාතක පොතේ ඇතුළත් වෙනවා. ඒ කතා පුවත මෙසේ ය.

අතීතයේ බරණැස් නුවර වාසය කළා ප්‍රධාන පෙළේ ධනවත් කෙළෙඹියෙක්. ඒ ගමේ ම කෙළවර පිහිටි අසපුවක තාපසයෙක් වාසය කළා. ඒ අසපුව සකස් කර තියෙන්නේ මේ තරුණ ධනවතාමයි. ඔහු කෙරෙහි මේ සිටුවරයා බොහෝම පැහැදීමට පත් වෙලයි හිටියේ. ඉතා සිල්වත් රහතන් වහන්සේ නමක් යැයි නිතර කල්පනා කළා. දිනපතා ම අසපුවට ගිහින් දන්පැන් දෙමින් උන්වහන්සේට උපස්ථාන කළා. මෙහෙම කාලයක් යනකොට තාපසයා කෙරෙහි පුදුම විදිහේ විශ්වාසයක් ඇති වුණා. දවසක් මේ ධනවත් තරුණයාට ඕන වුණා කිසියම් ව්‍යාපාරික කටයුත්තකට ගමෙන් ඈතට යන්න. මේ තරුණයා එකතු කර ගෙන හිටියා රන්කාසි සියයක්. තමන් ගිහින් එනකම් ඒවා ආරක්ෂා කර ගන්න ඕනෑ. ඉතින් කල්පනා කළා අම්මාට හෝ තාත්තාට හෝ දෙන්න. ඒත් විශ්වාසයක් නැති විදිහට තමයි ඒ අයත් හැසිරුණේ. ඊට පස්සේ සහෝදර සහෝදරියන් වගේ ම නෑයන්, යහළුවන් ගැනත් හිතුවා. ඒ අයත් මේ තරුණයා හිතන තරම් විශ්වාස නෑ. ඒ නිසා තමන්ට බොහෝම සමීප වගේ ම තමන් බොහෝම ඉහළින් විශ්වාස කරන තාපසතුමා ඉන්න අසපු භූමියට ගිහින් වළක් හාරා රන් කාසි සියය ඇති මල්ල පොළොවේ වළ දැම්මා. මේ කාර්යය ගැන තාපසතුමා අවධානයෙන් බලන් හිටියා. කිසියම් වටිනා දෙයක් වළ දාන බව දැන ගත්තා. දවසක් දෙකක් යනකොට අර රන් මල්ල ගැන තාපසයාගේ සිතේ දැඩි ලෝභකමක් වගේ ම තණ්හාවක් ඇති වුණා. කිසිවකුටත් නොදැනෙන විදිහට රහසින් පොළොව හාරා බැලුවා මොනවා ද මේ මල්ලේ තියෙන්නේ කියලා. රන් කාසි තියෙන බව දැක්කා. ඉක්මනට ම රන් මල්ල අරගෙන අසපුවේ ආරක්ෂිත තැනක සඟවා තැබුවා. පහුවදා උදේම අර ධනවත් තරුණයා හමුවට පැමිණි තාපසයා කියනවා ‘පින්වත, මම බොහෝ කලක් මේ අසපුවේ ජීවත් වුණා. ගිහියන් සමඟ මෙසේ ළඟින් ඇසුරු කිරීම තාපසකමට බාධාවක්. රාගාදී කෙලෙස් උපදින්නට පුළුවන්. ඒ නිසා මම වෙනත් පළාතකට ගිහින් ජීවත් වෙනවා.‘යැයි කියලා අසපුවෙන් පිටත් වුණා. අර ධනවත් තරුණයා කොතරම් ඇවටිලි කළත්, තාපසයා අසපුවෙන් පිටත්ව යාමට තීරණය කළා. බැරිම තැන තාපසයා පසුපස ටික දුරක් ගමන් කරලා, වන්දනා කරලා තාපසයාගේ ගමනට සමු දුන්නා. මෙහෙම ගමනේ යෙදුණ තාපසයා ටික දුරක් ගිහින් ආයෙමත් අර ධනවත් තරුණයා සමීපයට පෙරළා පැමිණියා. සමීපයට ම ඇවිත් අර ධනවත් තරුණයා අමතා මෙහෙම කියනවා ‘පින්වත් තරුණය, ඔබ මට සකසා දුන්න ආරාමයේ වහළයේ තිබුණ පිදුරු ගසක් මගේ ජටාවේ රැඳිලා තියෙනවා. ඒ පිදුරු ගහ මම මේ රැගෙන ආවේ. නුදුන්න දෙයක් ගැනීම අපට සුදුසු දෙයක් නෙවෙයි. එය සොරකමක් වෙනවා. ඒ නිසා මේ පිදුරු ගහ ඔබ බාර ගන්න‘ යැයි කියලා පිදුරු ගහ අර ධනවත් තරුණයා අතට දීලා නැවතත් තාපසයා යන්න ගියා. තරුණයා මේ සිද්ධියෙන් මවිතයට පත් වුණා. මේ අවස්ථාවේ දී ගමෙන් ගමට යමින් සිටි නුවණැති වෙළෙන්දෙක් වූ අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ ද ඒ සිදුවීම දිහා බලා හිටියා. තාපසයාගේ මෙම අතිශයින් අහිංසක සහ නාටකාකාර ව්‍යාජ සිල්වත්කම දැක බෝධිසත්ත්වයන් වහන්සේට දැඩි සැකයක් ඇති වුණා. සතයකටවත් වටිනාකමක් නැති පිදුරු ගසක් දෙන්නට තරම් අවංක වන කෙනකු, මීට වඩා ලොකු වංචාවක් හෝ සොරකමක් හෝ කර ඇති බව වෙළෙන්දාට වැටහුණා. වහාම ක්‍රියාත්මක වූ බෝධිසත්ත්වයන් වහන්සේ කෙළෙඹියාගෙන් මෙහෙම ඇහුවා. ‘පින්වත, ඔබ මෙයා ළඟ වටිනා යමක් තැන්පත් කළා ද?’ ඒ අවස්ථාවේ තරුණයා කියනවා, ‘පින්වත් පුරුෂය, මම රන් කාසි සියයක් අසපුවේ භූමියේ වළ දැමුවා. ඒ කියමනත් එක්ක වහාම ක්‍රියාත්මක වූ බෝසත් වෙළෙන්දා සහ තරුණයා රන් මල්ල වළ දැමූ ස්ථානයට ගොස් එය පරීක්ෂා කර බැලුවත් එතැන රන් මල්ල නැති බව දැන ගත්තා. ඒ සමඟ ම පලා යමින් සිටි තාපසයා ලුහුබැඳ ගෙන ගියා. ඔහු අල්ලා ගත්තා. ඔහුට පහර දුන්නා. ඇත්ත කියන්නට බල කළා. ඒ අනුව ඔහුගෙන් නැවතත් රන් කාසි සියල්ල ලබා ගත්තා යැයි ලස්සන කතා පුවතක් ජාතක පොතේ කුහක ජාතකය ලෙස සඳහන් වෙනවා.

මෙම කතාවෙන් පෙනෙනවා සමාජයේ ජීවත් වන කිසිම කෙනෙක් සොරකම් නො කරනවා යැයි විශ්වාස කරන්න බැරි බව. බාහිර පෙනුමෙන්, වචනවලින් හෝ සිල්වත් බව පෙන්වන සැමවිටම අභ්‍යන්තරයෙන් ද එවැනි ම යහපත් මිනිසුන් නොවීමට පුළුවන් බව මේ කතා පුවත අපට කියා දෙනවා. විශේෂයෙන් ම, ඉතා කුඩා දේ සම්බන්ධයෙන් පමණක් ඕනෑවට වඩා අවංකබව පෙන්වන ඇතැම් පුද්ගලයන් පිටුපස විශාල වංචා සහ කපටිකම් තිබෙන්න පුළුවන්. ඒ නිසා සැමවිට ම නුවණින් විමසා බැලීම වැදගත් වෙනවා.

සොරකම් කිරීම තමන්ගේ කීර්තිය පිරිහීමටත්, ධනය හිමි අයගේ සිත් වේදනාවට පත් කිරීමටත් හේතු වෙනවා. එය මහත් පාපී ක්‍රියාවක් ද වෙනවා. ඒ නිසා තමන් කොතරම් දුප්පත් වුණත්, කොතරම් බලයකින් යුක්ත වුවත් සොරකම් කරන්න එපා කියන උපදේශය මේ ජාතක කතාව අපට උගන්වනවා. තමන්ගේ ජීවිතය නැති වුණත්, සොරකම් නොකර, ධාර්මිකව ජීවත් වීම වැදගත් වෙනවා.

You may also like

Leave a Comment