ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
නිවස කතුවැකියසමගිය බලයකි
බිනර අව අටවක පෝ දා 2026-10-03

සමගිය බලයකි

by Thanushika
October 3, 2026 12:30 am 0 comment

 

 

දම්වැලක් සවි ශක්තිමත් වන්නේ එහි පුරුක් එකිනෙක සම්බන්ධ වූයේ නම් ය. එක් එක් පුරුක් වෙන්වූයේ නම්, එක් පුරුකක් හෝ මල බැඳී විනාශ වී ගියේ නම් මුළු දම්වැලෙන් ම ප්‍රයෝජනයක් නොවේ. වටිනාකමක් නොවේ. අප ජීවත්වන මේ සමාජයේ ජීවත්වන විවිධ කණ්ඩායම් ද එවැනි ය. දම්වැලක් සේ ඔවුනොවුන් එකිනෙකා වෙත යුතුකම් හා වගකීම්වලින් බැඳී සිටී. පවුල තුළ, එයින් පිටත අසල්වැසියන් සමඟ, ගමක් ලෙස, රැකියා ස්ථානයෙහි වැඩකරන පිරිස් අතර පමණක් නොව පොදු ස්ථානයන්හි පවා මේ බැඳීම විවිධාකාරයෙන් පවතී.

මේ කුමන ස්ථරයක් වුව ද දියුණුව, යහපත රඳා පවතින්නේ ඔවුනොවුන්ගේ එකමුතුකම, සමඟිය මත ය. සමඟිය බලයකි. ඒ බලය සැපතකි. අසමගිය දුකකි. විපත් ගෙන දෙන්නකි. එහෙත් පවුලෙන් ආරම්භ වන කුඩා ම සමාජ ඒකකයේ පටන් මහා සමාජය දක්වා ම අද සමහරෙක් අසමගියේ ආදීනව භුක්ති විඳිමින් සිටිති.

පවුලක අම්මා, තාත්තා අසමගි වූ කල පවුලේ දියුණුව අඩාල ය. ඔවුන් ඇසුරෙහි හැදෙන වැඩෙන දරුවන්ට පවා එය අහිතර බලපෑමක් ඇති කරයි. සමහර පවුල්වල දරුවන් විවිධ මානසික පීඩාවන්ට ගොදුරුව දුක් විඳින සැටි අරුමයක් නොවේ. ඒ තුළ අධ්‍යාපනය කඩාකප්පල් වීම, අන්‍යයන් සමඟ ජීවත්වීමේ දී ගැටලුකාරී තත්ත්ව ඇති කර ගැනීම ඇතුළු පසුගාමී තත්ත්වයන්ගේ බලපෑමෙන් අයහපත් පුරවැසියකු ලෙස අනාගත සමාජයට පිළිලයක් වීම වැළැක්විය නොහැකි ය. අවසානයේ සමාජ ගැරහුමට ලක්වන්නේ ද, දඬුවම් ලබන්නේ ද ඒ දරුවන් ම ය. අශ්වයා ගියාට පසු ස්ථාලය වසා පලක් නොවන්නා සේ දරුවකු අයහපත් චර්යාවන්ට හුරු වූ කල හඬා දොඩා පලක් නොවේ. දරුවන් යහපතට නැඹුරු කර ගත යුතු ආරම්භයේ දී ම ය. එහි වගකීමත්, වගවීමත් අම්මා තාත්තා දෙදෙනාට ය.

අසල්වැසියන් අතර අසමඟිකම එදිනෙදා ජීවිතය අනාරක්ෂිත කරයි. දුකක්, කරදරයක්, විපතක් පැමිණි පළමුව පිහිට වන්නේ අසල්වැසියන් ය.

මේ තත්ත්වය සෑම සමාජ කණ්ඩායමකට ම පොදු ය. අසමඟියේ අවසානය සමස්ත සමාජ ව්‍යුහයේ ම පරිහානියකි. මේ තුළ අවසානයේ දී ඍජුව හෝ වක්‍රව හෝ අඩාල වනුයේ පුද්ගල දියුණුවය. එය භෞතික සේ ම ආධ්‍යාත්මික දියුණූවට ද බලපායි. මෙලොවත් දුක්ඛිත ව, පරලොවත් දුකට ම පැමිණෙයි.

නෑයන් අතර අසමගිය මහත් විපත් ගෙන දෙන බවට අපූර්ව නිදර්ශනයක් සම්මෝදමාන ජාතක කතාවේ අන්තර්ගත වෙයි. වැද්දකු විසින් එළන ලද දැලකට හසු වූ වටු රංචුවක් තම ජීවිතය බේරා ගත්තේ සියල්ලෝ ම එක් සිතින් එක්ව දැල ඔසවාගෙන ගොස් කටු ලැහැබෙක දමා, යටින් ඒ ඒ තැනින් රිංගා පළා යෑමෙනි. පළමු ව්‍යසනය සමඟිය නිසා ජය ගන්නට ඔවුන්ට හැකිවුණි.

දෙවැනි දවසේ ද එලෙසම දැලට හසු වූ වටුරංචුව නිරුපද්‍රිත වූයේ සමඟියේ ප්‍රතිඵලයක් ලෙස ය.

තෙවැනි දවසක ද වැද්දා සිය උත්සාහය අත් නොහළේ ය. එදා වටුවන්ගේ සමගිය බිඳුණි. පෙර ඇති වූ සුළු කලහයක් දුරදිග යාමෙන් දැල එසවීමේ වගකීම එකිනෙකාට පැවරූහ. අසමගිය නිසා එදා වටු රංචුවම වැද්දා අතට පත්වුණි. වටුවන්ට අවසානයේ ජීවිතය ද අහිමි වුණි. අපේ සමාජයේ ඇතැම් පිරිස්වලට ද සිදුවන්නේ මේ දෙයම බවට අපට නිදර්ශන බොහෝ ය. දුර්ලභව ලබාගත් මිනිස් දිවිය එසේ ආගාධයට ගෙන යනවාද, නැද්ද යන්න තම තම නුවණින් වටහා ගත යුතු ය.

You may also like

Leave a Comment