අපි සතිය සහ අසතිය කියන මාතෘකාව ගැන පසුගිය ලිපිවලින් කතා කළා. වාඩිවෙලා සතිය පුහුණු කරන කෙනකුට වගේම, ඇවිදින ගමන් සතිය පුහුණු කරන විට අසතිය කියන මාතෘකාව ප්‍රයෝජනයට ගන්න ආකාරය කතා කළා. මේ අනුව පසුගිය සතියේ අපි සාකච්ඡාව ඉරියාපථ සන්ධි කියන මාතෘකාව දක්වා ගෙන ආවා. ඒ ලිපියේ දී එක ඉරියව්වක සිට තවත් ඉරියව්වකට මාරුවෙන අවස්ථාවල විස්තර වශයෙන් කිව්වොත් ඉඳගෙන සිටින කෙනෙක් නැගිටින අවස්ථාව වගේම, හිටගෙන සිටින ඉරියව්වේ සිට ඉඳගන්න ඉරියව්වට මාරුවෙන අවස්ථාවල දී අසතියට ඇති ඉඩකඩ වැඩි නිසා එවැනි සන්ධිවල දී විශේෂයෙන් සතිය පැවැත්වීමට වීර්ය යොදන්න කියන ආරාධනාව අපි කළා.
තවත් ටිකක් මතක් කර ගත්තොත් ඇවිදින ගමන් සතිය පුහුණු කරන විට එක එල්ලේ සක්මන දිගේ ඇවිද ගෙන ගිහින් හැරෙන තැන දී හිත පිට යාම වැළැක්වීමට වැඩි අවධානයක් යොමු කිරීම විශේෂයෙන් පුහුණු කළ යුතු බව සහ ඒ සතිය තවදුරටත් ප්‍රධාන ඉරියව් මාරු කරන අවස්ථා නැත්නම් ඉරියාපථ සන්ධිවලට යොදා ගන්න හැටි අපි කතා කළා. මේ සන්ධිවල දී කරන පුහුණුව එදිනෙදා වැඩවල සිදු වෙන විවිධ ක්‍රියාවල දී යොදා ගන්න ආකාරය අද ලිපියෙන් කතා කරන්න උත්සාහ කරනවා.
එහෙම නම් වැරදුණාට හිත් නරක් කර ගන්නෙ නැතුව සතිය වගේම, අසතියටත් සූදානම් වෙලා යන්න ඕන කියන අදහස ඉදිරියෙන් තියාගෙන එදිනෙදා වැඩ කෙරෙහි සතිය පැවැත්වීම ගැන අවධානය යොමු කරමු.
ඒ අනුව ජීවිතයේ එක දවසක් ඇතුළත කරන ක්‍රියාකාරකම් දෙස බැලුවොත් අපි නිතරම ඉරියව් මාරු කරන බව, හතර ඉරියව්වල මාරු වෙමින් දවස ගත වෙන බව පේනවා. ඒ වගේම දැනගෙන කරන වැඩ සහ නොදැන ඉබේ කෙරෙන වැඩ තියෙනවා. මේ වැඩ කරන විට එක ඉරියව්වක ඉඳලා අනිත් ඉරියව්වට කොහොමද සතිය ගෙනයන්නේ කියලා බැලුවොත් ඒක ලොකු අභ්‍යාසයක් වගේම ලොකු අභියෝගයක් බව වැටහෙනවා.
අපි හිතමු එදිනෙදා වැඩ කරන විට ස්වයංක්‍රීය කැමරාවක් අටවා හරියට සීසීටීවී කැමරා එකක් වගේ මේ සියල්ල පටිගත වීමට සංවිධානය කළා කියලා. ඊට පස්සේ අපි ඒ කැමරාවේ සටහන් වූ වීඩියෝව නැවත බැලුවොත් තමන් එක ඉරියව්වක සිට අනිත් ඉරියව්වට යන හැටි, අතපය හොලවන හැටි වගේ කුඩා අනු කුඩා ක්‍රියාකාරකම්වල රූප රාමු ටිකක් බලන්න ලැබෙයි. මේ වගේ දවසක් තුළ සිදු වෙන ක්‍රියාකාරකම් ගැන පටි ගත කළ පටියක් නැවත නැරඹුවොත් අපට තේරෙනවා අපි සතියෙන් වැඩ කරලා තියෙනවා ද නැද්ද කියලා. සතිමත් වීම ගැන සතුටු වෙනවා වගේම සතිය නැති තැන් අපට කනගාටුවක් ඇති කරනවා. නමුත් ඒ ගැන කනගාටු වෙන්න හෝ වැඩි වෙලාවක් ඉන්නේ අසතියෙන් හෝ කියා බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට සතිමත් ව කළ වැඩ දෙස බලන ආකල්පයෙන් ම අසතිමත් ඒවා දෙස බලන්න පුරුදු වෙන්න ඕනෑ. එහෙම බලා ඉන්න කොට තමන්ට තේරෙනවා මේ කරන වැඩ කොච්චරක් අපි දැන ගෙන එහෙම නැත්නම් අපි වග වෙලා කරනවාද, කොච්චරක් වැඩ නිකම් ඇබ්බැහියට පුරුද්දට වෙනවාද කියලා. දැන ගෙන වෙනවා හා නො දැන වෙනවා කියන කාරණා දෙක අතර කිසිම පාලනයක්, කිසිම න්‍යාය පත්‍රයක් නැති බවත් සමහර කෙනකුට වැටහෙන්න ඉඩ තියෙනවා.
ඉතින් මේ විදිහට කෙනෙක් එදිනෙදා වැඩ කරන ආකාරය සතිය කියන කැමරාවෙන් දැක්කාට පස්සේ නැවත ඒ අසිහියෙන් කළ කටයුතු පරීක්ෂාකාරීව වැඩි අවධානයකින් කරනවා කියලා හිතමු. ඒ සඳහා සෙමින් සතිමත් ව වැඩ කරන්න වෙනවා. එතකොට තමන්ට ම පේන්න පටන් ගන්නවා එදිනෙදා වැඩවල දී මොකක්දෝ දියුණු කළ හැකි පැති වගයක් තියෙනවා කියලා. තවත් සරල ලෙස කිව්වොත් සතියෙන් ඉන්න විට සතිය ඇති බව වගේම, සතිය නැති වෙලාවට නැති බව දැන ගන්න පුළුවන්. ඒ කෙනාට තේරෙන්නේ දකිනවා, අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා, ඉඳගන්නවා, හිට ගන්නවා, යනවා, එනවා කියන දේ් හරියට අහසේ වලාකුළු පාවෙනවා වගේ එදිනෙදා ජීවිතය තුළ ස්වභාවයෙන් සිදු වෙන බවයි. ඒ ඕනෑම දෙයක් දෙස අමනාපයක් හෝ කැමැත්තක් හෝ නැතිව බලන්න මේ සතිමත් බව හේතු වෙනවා. ඒ වගේ තමයි සතිමත් කෙනෙක් තමන්ගේ ක්‍රියා කලාප තුළ ඉරියව් මාරු වෙන ආකාරය දිහා සතියෙන් බලාගෙන හිටියොත් අමුතු පැත්තකින් තමන් දිහා බලන්න පුළුවන් වෙනවා.
මතක තියා ගන්න ඕන මේ විදිහට බලන්නේ තමන් කවුද කියලා තීන්දු කරන්න හෝ නඩුවක් විනිශ්චය කරන්න හෝ නොවෙයි. වෙන දේ වෙන විදිහට බලන්න. මේ විදිහට කණ්ණාඩියකින් නැත්නම් කැමරාවකින් බලනවා වගේ විනිශ්චයකින් තොරව බලන්න හික්මීමක් අවශ්‍ය වෙන අතර, මේ හික්මීම සතිය පුරුදු කිරීම නිසා හිත තුළ ඇතිවෙන කුසලතාවක්. මම නැවත මතක් කරනවා අපි මේ ලිපි ක්‍රමානුකූල ව ලියා ගෙන ආවා වගේ මේ ඇත්තනුත් ක්‍රමානුකූල ව සතිය පුහුණු කරන ප්‍රතිපදාවේ මුල සිට යෙදුණොත් තමයි මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. වෙන දේ දිහා බලලා කලබල නොවී බලා ගෙන ඉන්න පුළුවන් වෙන්නේ. කෙසේ නමුත් මේ විදිහට නිරීක්ෂණය කරන කෙනාට දැන ගන්න පුළුවන් කෑමට පස්සේ හැසිරීම, කෑමට පෙර හැසිරීම, උදේ වරුවේ හැසිරීම, හැන්දෑ වරුව, සෙනඟක් ඉදිරිපිට තනියම ඉන්න කොට ආදී වශයෙන් පරිසරය නිසා හැසිරීම වෙනස් වෙන හැටි. ඉතින් තමන් ගැන කරන නිරීක්ෂණ යම් මට්ටමකට දියුණු වුණාට පස්සේ අපට අනිත් කෙනෙක්ගේ හැසිරීම වුණත් වෙනස් වෙන හැටි බලන්න පුළුවන්. මේ බලන්නේ එයාගේ දොස් දකින ස්වරූපයෙන් නොවෙයි. කෙසේ නමුත් මෙහෙම බලන විට පේනවා අසතියෙන් ඉන්න අයගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන මේ සත්තු ටික ක්‍රියාත්මක වෙන ආකාරය ගැන කිසිම වග වීමක් වෙන්න බැරි බව. එයාට අඩුම වශයෙන් ඒ හැසිරීම ගැළපෙන දෙයක් ද, නැද්ද කියලවත් දැන ගැනීමේ හැකියාවක් නැති බව වැටහෙනවා.
සතිමත් නැති කෙනකුට හරි ගියත්, වැරදුණත් කමක් නැහැ කියලා ගැළපෙන්නේ නැති වැඩ කරන්න හිතෙනවා වගේම ඒවා ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. මේවා හිතාමතා කරන ඒවා වගේම නො සිතා සිදුවෙන දේ වෙන්නත් පුළුවන්.
නමුත් සතියෙන් බලාගෙන ඉන්න විට ගැළපෙන වැඩ මොනවාද නොගැළපෙන වැඩ මොනවාද කියලා තමන්ට ම වැටහෙනවා. එදිනෙදා වැඩවල දී තමන්ගෙන් විය හැකි දේ් පිළිබඳ මේ විදිහට දැන ගැනීමක් වෙන විට එයාට ස්වභාවයෙන් ම වැරැදි කිරීමට බයක් ඇති වෙනවා. ඒ එක්කම එහෙම වුණොත් කියලා ලජ්ජාවක් ද ඇති වෙනවා. අපි මෙයට සාමාන්‍යයෙන් කියන්නේ බය, ලජ්ජා කියලා. ලජ්ජා සහ බය මනුස්සයෙක්, දෙවියෙක් බවට පත් කරන දේ විදිහට සමාජය සලකනවා. ඒ නිසා ආගමික පොත්වල ඒකට කියන්නේ දේව ධර්ම කියලා. ඉතින් ඒ දේව ධර්ම රැකෙන ආකාරයට අදාළ නීති පද්ධති සමාජය තුළ ව්‍යවස්ථා ගත කර තිබෙනවා. නමුත් සතියෙන් ඉන්න කෙනා සතිමත් වීම නිසා ඉරියව්ව පවත්වන කොට, එදිනෙදා වැඩ කරන කොට තේරුම් ගන්නවා මම මේ තත්ත්වවල දී කලබල වෙනවා. මේ තත්ත්වවල දී තරහ යනවා. මේ තත්ත්වවල දී ආසාවෙන් මැඩෙනවා. මේ තත්ත්වවල දී මොනවා වෙනවාද කියලා දන්නේ නැහැ ආදී වශයෙන් පොත් තැබීමක් නිකම්ම වෙනවා. ඒ නිසා ඇතිවෙන අතුරුඵල පිළිබඳ අවබෝධයක්, සැසඳීමක් මේ පුහුණුව හරහා සිදු වෙන්න පටන් අර ගන්නවා. නමුත් මේ ඇතිවෙන වෙනස තමන්ට කොහොමටවත් තේරෙන්නේ නැහැ. අපි දන්නවා කාමරයක් අන්ධකාරේ තියෙද්දී ඒක අස් පස් කරන්න යනවාට වැඩිය ඒකට ආලෝකයක් සපයා පහනක් දල්වා ගත්තාට පස්සේ, කාමරය හරියට, පිළිවෙළට අස් කරන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ තමන්ගේ හැසිරීම් පිළිබඳ මේ කියන පවට බය, ලජ්ජාව ඇතිවෙන්න සතිය කියන ආලෝකය දල්වා ගත්තාම හරි පහසුයි.
දැන් මෑත කාලයේ වැඩිහිටියන් අතර ගොඩක් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා චිත්තවේගීය සාක්ෂරතාව සහ චිත්තවේගීය බුද්ධිය (Emotional literacy and Emotional Intelligence) කියන කාරණා දෙක. මේ චිත්තවේගීය බුද්ධිය සහ සාක්ෂරතාව කියන තාක්ෂණික වචනවලින් අදහස් කරන තේරුම සරලව කිව්වොත් තව කෙනකුගේ මානසිකත්වය, චින්තන රටාව තමන්ට තේරෙන්න පටන් ගන්න එක. එයාට මගෙන් කරදර වෙනවාද? නැත්නම් එයා මට කරදර කරනවාද? කියන කාරණා දෙක සැලකූ විට එයා මට කරදර කරනවා නම්, ඒ බව සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනකුට තේරුම් ගන්න පුළුවන්. කරදරයක්, කරදරයක් ලෙස හඳුනා ගන්න පුළුවන්.
නමුත් මම එයාට කරදර කරනවාද කියලා තේරුම් ගන්න ටිකක් අපහසුයි. ඒ වගේම තවත් කෙනෙක්ගේ චිත්තවේග ඒ ආකාරයෙන් හඳුනා ගන්න ගොඩක් අමාරුයි. මේ කියන තව කෙනකුගේ චිත්තවේග ගැන අවබෝධය පන්ති කාමරයෙන්, විධිමත් අධ්‍යාපනයෙන් ලබා ගන්න පුළුවන් එකක් නොවෙයි. නමුත් මේ බුද්ධිය සතිමත් පුහුණුව කරන කෙනකුට හම්බවෙන අතිරේක ලාභයක්. ඒ නිසා ස්ථානෝචිත ප්‍රඥාව, නැත්නම් තැනේ හැටියට වැඩ කරන හැටි, ඉදිරියට ප්‍රශ්නයක් ඇති නොවන විදිහට වැඩ කිරීමට සතිමත් කෙනාට එච්චර ලොකු බලාපොරොත්තු හෝ ලකලෑස්තියක් අවශ්‍ය නැහැ.
සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ කරන කොට සියල්ල ටීවී කැමරා එකක රෙකෝඩ් වෙන බවත්, මට ඕන වුණොත් ඒක බලන්න හැකි බවත් කියන හැඟීමෙන් වැඩ කරන එක විතරයි අවශ්‍ය වෙන්නේ. මේ කැමරා එක තමයි සතිය කියන්නේ. එතකොට අහසෙ වලාකුළු පාවෙනවා වගේ මේ සිද්ධි පෙනෙයි. එහෙම නැත්නම් නූල කඩලා ගිය සරුංගලයක් ගහ ගෙන යන්න වගේ සිදු වෙන හැටි පෙනෙයි. ඒක ඇත්තට පාලනයෙන්, ගිලිහීමක්, එහෙම නැත්නම් ලුහුටා යෑමක්, පාලනය නැති වීමක් නොවෙයි. එය දීර්ඝ කාලීන වශයෙන් කරන ලද හික්මීමක ප්‍රතිඵලයක් වෙනවා.
ඒ නිසා සතිමත් කෙනකුට එදිනෙදා වැඩවල දී වෙනදාට වඩා අවධියෙන් කටයුතු කරන්න පුළුවන් නම් තමන් මේ වෙලාවේ ඒ විදිහට හැසිරුණේ ඇයි කියන එක පස්සේ වුණත් සලකා බලන්න පුළුවන්. මේ ඇත්තෝ දන්නවා ක්‍රිකට් ක්‍රීඩාවේ දී කැමරාවලින් ක්‍රීඩාව නිරීක්ෂණය කරනවා. ඉතින් ලකුණක් ලැබුණා හෝ දැවී ගිය අවස්ථාවක හෝ ප්‍රශ්නයක් ආවොත් තුන්වැනි විනිශ්චයකාරයෙක් විදිහට කැමරාවේ සටහන් වූ රූප රාමු නැවත ඒජබඪධද ර්‍ථතචර ඉතධඹ-ථධබඪධද කියන තාක්ෂණය යොදා ගෙන සිදුවීම විවිධ කෝණවලින් බලනවා. කිසිම කෙනකුට කියන්න බැහැ ඒක වැරැදියි කියලා. මොකද, ඒක කිසිම මනුෂ්‍යයකුගේ මැදිහත් වීමක් නැති තීරණයක් නිසා. ඒ නිසා පක්ෂග්‍රාහී තීරණයක් එතැන වෙන්නේ නැහැ. අන්න ඒ වගේ සතිය සීසීටීවී කැමරාවක් බවට පත් කරගෙන තමන් දිහා බලන්න. මේ බලන ආකල්පය මධ්‍යස්ථ සහ පක්ෂග්‍රාහී නොවීමට නිතර සතිය පුහුණු වීම වැදගත්. මේ විදිහට එදිනෙදා වැඩවල දී සතිය ඉතිර පැතිර වැඩේවා! කියන ප්‍රාර්ථනාව සමඟ අද දවසේ පණිවිඩය මෙතැනින් සමාප්ත කරනවා.
මීළඟ ලිපියෙන් සතිමත්බව පුරුදු කිරීම ගැන තවදුරටත් කතා කරමු.