ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
නිවස කතුවැකියඇද නැති ජීවිතය
වප්පුර අටවක පෝ දා 2026-10-18

ඇද නැති ජීවිතය

by damith
October 18, 2026 1:00 am 0 comment

සම්බුදු දහම් මඟ යන පුද්ගලයාගේ ඒකායන පරමාර්ථය නිවන් මග අවබෝධ කිරීම බවට විවාදයක් නොවේ. ඒ උතුම් මාර්ගයට පිවිසෙන්නට නම් බෞද්ධයා තමන්ට හිත පිණිස සිත, කය, වචනය භාවිත කරන්නෙක් විය යුතු ය. එහෙත් අද බෞද්ධයන්ගෙන් වැඩි පිරිසක් සැබෑ අරමුණ ක්ෂාත්තාත් කිරීමේ ස්වල්ප උත්සාහයකදු ගන්නේ ද යන්න පිළිබඳ සමාජ සංසිද්ධීන් දෙස බැලීමේ දී ගැටලු සහගත බවක් පැන නඟී. මොවුහු බෞද්ධ නාමයෙන් හැඳින්වුව ද සැබෑ බෞද්ධයා සතු විය යුතු ලක්ෂණ ඔවුන් තුළ හීන ය.

කෙනෙක් උදේ සවස ධර්මය ශ්‍රවණය කරති. ත්‍රිවිධ රත්නය උදෙසා ආමිෂ පූජා පවත්වති. දිනපතා ගාථා, පිරිත්, සූත්‍ර සජ්ඣායනය කරති. එහෙත් එකම ධර්ම කරුණක් හෝ ග්‍රහණය කර ගන්නා බවක් නොපෙනේ. තමන් විසින් තමන් ම රවටා ගැනීමක් බොහෝ පුද්ගලයන් තුළ විද්‍යාමාන වීම බෞද්ධ සමාජයක අභාග්‍ය ලකුණකි. මැණික් ගලේ පය හැපුණත් කණා එය අහුලා නොගන්නා සේ ජීවිතය ඉහළට ඔසවා තබන, මේ දුක්ඛිත සසරෙන් එතෙරට යන මඟ කියන ශ්‍රී සද්ධර්මය නම් වූ මාණික්‍යය සිරස දරන්නට වැඩි පිරිසක් අසමත් ය.

කරණීය මෙත්ත සූත්‍රය නොදන්නා බෞද්ධයෙක් නැත. එහෙත් එහි කියැවෙන ධර්මාර්ථය ග්‍රහණය කර ගන්නේ කෙතරම් සුළු පිරිසක් ද? මේ දුක් දෙන සසරින් මිදෙන්නට අපේක්ෂා කරන, නිවන අරමුණු කරගත් පුද්ගලයකුට, තමන්ට හිත පිණිස වන ගුණ ධර්ම රැස් කරන්නට සැබෑ ඕනෑකමක් ඇති පුද්ගලයකුට කරණීයමෙත්ත සූත්‍රය මහඟු මිණකි. කළයුතු එය ජීවිතයට ගළපාගෙන දිවි මග ඔපමට්ටම් කර ගැනීම ය.

දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය යන චතුරාර්ය සත්‍යය පහසුවෙන් සාක්ෂාත් කර ගත හැකි නොවේ. ඒ සඳහා පිළිවෙත් පිරීමෙහි නිති අනලස් විය යුතු ය. දක්ෂ විය යුතු ය. මෙත්ත සූත්‍රයේ පළමුව අවධාරණය කරන්නේ ඒ ගුණාංගයයි. ඒ පිළිවෙත් මාර්ගය තුළ තමන් ඍජු පුද්ගලයෙක් වීම ඉතා වැදගත් ය. ඍජු බව නම් ඇද නැති කෙනකු වීම ය. කුමකින් ඇද නොවන්නේද? තමන්ගේ නැති ගුණ නොපෙන්වන්නේ, කයින්, වචනයෙන් වංක නොවන්නේ ඇද නැති පුද්ගලයින් ය.

සමහර කෙනෙක් පුරුදුව සිටින්නේ රහසින් පව් කරන්නට ය. එසේ පවෙහි යෙදෙමින් අනුන් ඉදිරියේ යහපත් පුද්ගලයන් ලෙස පෙනී සිටින්නට ය. එවැන්නෝ පවට ලජ්ජා බිය නැත්තෝ ය.

තමන්ගේ වැරැදි වසන පුද්ගලයාට, තමන්ගේ හදවතටත් වංචා කරන පුද්ගලයාට කෙළින් වැඩ කරන පුද්ගලයකු විය නොහැකි ය.

කලණ මිතුරු ඇසුර ධර්මාවබෝධයෙහි ඒකායන මාර්ගයයි. හොඳ නරක පෙන්වා දෙන එවන් මිතුරකුගේ අවවාද නොපිළිගන්නා පුද්ගලයාට ඒ අකීකරුකම ම තමන්ගේ අහිත පිණිස වන්නේ ය.

බොහෝ අය ආගාධයට ඇද වැටෙන්නේ මානය නිසා ය. කෙනෙක් ජාතිය නිසා මානයට පත්වෙති. උගත්කම, රූපය ගැන සිතමින් මානයට පත්වෙති. ඒ පුද්ගලයා තමන්ට කර ගන්නා අනර්ථය මහත් ය. මේ ආකාරයට කරණීයමෙත්ත සූත්‍රය පුරා ම දෙන සදූපදේශ අධ්‍යයනය කර, ඒ අනුව දිවි මඟ සරසා ගන්නට කෙනකුට හැකි නම් ඔහු සැබෑ බෞද්ධයකු බවට පත්වීම නො අනුමාන ය.

You may also like

Leave a Comment