ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
නිවස විශේෂාංගඅසතිය ජය ගැනීම

අසතිය ජය ගැනීම

by damith
October 18, 2026 1:10 am 0 comment

උඩඊරියගම ධම්මජීව හිමි

අසතිය කියන එක දැන ගන්න ඕන එකක් කියන දේ තේරුම් ගන්න කොට අපට ලොකු ඉඩ ප්‍රස්ථාවක් ලැබුණා, සතිය පිළිබඳව අලුතෙන් හිතන්න. ඒ වගේම මේ ඉඳුරන් ටික සත්තු හය දෙනෙක් විදිහට සලකන විට තමන් ළඟ සහ අනෙක් අය ළඟ සතුන් හය දෙනෙක් ඉන්න බවත්, ජීවිතය කියන්නේ ඒ හය දෙනාගේ විවිධ ක්‍රියාකාරකම් බවත් තේරුම් ගෙන අසතිය දෙසත් තවත් ක්‍රියාවක් ලෙස බලන්න පුළුවන්. මේ ක්‍රියාව ක්‍රීඩාවක් කරගෙන අසතිය හොඳ පැත්තට යොදා ගැනීම ගැන තමයි අද අපි මේ ලිපියෙන් කියා දෙන්න යන්නේ.

කෙනකුට හිතෙන්න පුළුවන් එකම දේ තමයි කතා කරන්නේ කියලා. නමුත් විවිධ පිරිස් දෙයක් වටහා ගන්නා විදි වෙනස් නිසා විවිධ පැතිවලින් කියා දුන්නම ඒ ඒ පිරිස තමන්ට ගෝචර ක්‍රමයට වටහා ගනීවි. පුහුණුවේ දී මේ සන්ධිස්ථාන වැඩිපුර පිරිස ආපස්සට කකුල ගන්න අවස්ථා නිසා නියම ආකාරයෙන් අවබෝධ කර ගැනීම වටිනවා.

මීට පෙරත් සති ක්‍රීඩා කියන මාතෘකාව යටතේ සතිය පුරුදු කිරීම ගැන විවිධ පැතිකඩ හරහා කියලා දීලා තියෙනවා. පෙර ලිපිවලින් කතා කළා අපි පරිහරණය කරන මේ ආයතන හය සත්තු හය දෙනෙක් වගේ එකිනෙකා පරයා යන්න දඟලන බව. මගේ ළඟ විතරක් නොවේ. යහළුවෝ, නෑදෑයෝ, බසයේ, වැඩපොළේ, කාර්යාලයේ, මඟතොට හමුවන හැමෝම මේ විදිහට සත්තු ටිකක් නඩත්තු කරන අය. ඒ නිසා වැරැදීම් කියන එක හැමෝටම, නිතර ම සිද්ධ වෙන එකක්. නමුත් වැරැදීම් නොවිය යුතුයි කියලා, මම සියයට සියයක් හරියට ම කරන්න ඕන කියලා හිතුවොත් ඒ හැඟීම ආතතියට, අසහනයට හේතු වෙන්න ඉඩ තියෙනවා. අපි බලන්න හදන්නේ ඒ වගේ ආතතිය ඇතිවෙන්න පුළුවන් වරදින අවස්ථාවල අපි ළඟ ඉන්න සතුන් විශේෂයෙන් වඳුරු ගතිය පහළ වෙන කොට ඒක හඳුනා ගෙන ඒක සතිමත් වීමට කරුණක් කර ගන්න හැටි.

මෙහි විශේෂත්වය තමයි මේ පුහුණුවෙන් සතිය දියුණු වීම වගේම කුසලතාවක් (අඥඵඪතඪඥදජඥ) ජීවිතයට ලැබෙන එක.

අපි කිහිපවරක් කතා කර තියෙන විදිහට මේ ක්‍රියාකාරකම් පිරිසක් එක්ක කරන්න පුළුවන්. එහෙම කරන විට තමයි ක්‍රීඩාවක ස්වරූපය වැඩියෙන් ඉස්මතු වෙන්නේ. තනියම කරන්නත් පුළුවන්. එතකොට සතිය දියුණු වෙන නමුත් බලාපොරොත්තු වෙන තරම් විනෝදයක් නො ලැබෙන්න පුළුවන්. අපි හිතමු ඔළුව උඩ වතුර භාජනයක් තියාගෙන, අතින් අල්ලන්නේ නැතිව ගමන් කරන්න උත්සාහ කරන අවස්ථාවක්. මුට්ටියක් වගේ භාජනයක පිරෙන්න වතුර දාලා ඒක හිස මත තැන්පත් කරලා ඒ වතුර හැලෙන්නේ නැතිව යන්න පුළුවන් පියවර ගාන බලන එක තමයි තරගය කියලා. පොඩ්ඩක් හරි අපේ සමබරතාව වෙනස් වුණොත් වතුර හැලෙනවා. එහෙම වුණොත් මේ වතුර හැලෙන්නේ හිසට නැත්නම් ඇඳ ගෙන ඉන්න ඇඳුමට. ඒ නිසා තරගයට ඉදිරිපත් වෙන කෙනා තමන්ගේ හිස මත ඇති භාජනය සුරක්ෂිත ව පවත්වා ගැනීමට සමබර බව ගැන වග වෙන්න ඕනෑ. ඒ වගේම තමන්ගේ ගමන සතියෙන් කරන්නත් ඕනෑ. තනියම සතිය පුහුණු කිරීම සඳහා මේ අභ්‍යාසය කරන්නත් පුළුවන්. නමුත් කණ්ඩායමක් විදිහට කරන විට අනිත් අය මාව ඉක්මවා යයි ද කියන සෝදිසිය තියා ගන්නත් ඕනෑ නිසා තව ටිකක් බරපතළ වෙනවා. ඒ වගේම තමයි තරගයට සහභාගී වෙන කෙනකුගේ සමබරතාව ගිලිහීම මගේ සතුන් ඇවිස්සීමට හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ වගේ දෙයක් මට විහිළුවක් වුණොත් මගේ සමබරතාව නැති වෙලා මාව තෙමෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ බාධක මැද්දේ මට වතුර කඳුළක්වත් හලා ගන්නේ නැතිව යන්න පුළුවන් ද කියලා බැලුවොත් වතුර හැලුණත්, නො හැලුණත්, සක්මන දැනුණත්, නො දැනුණත්, සතිය තිබුණත්, නැතත් මේ හැම දේකින් ම උද්‍යෝගයක් ඇති කර ගන්න පුළුවන් බව වැටහෙනවා.

ඉතින් ඒ වගේ තරගයක් තමයි ජීවිතය කියන්නේ. තරගයක් නැතුව ඉන්න එක හෝ තරගයක් කර ගෙන දිනන්න හදන එක හෝ ජීවිතය නොවෙයි. තරගයක් වෙලා පැරදුණත් අපි ඒකෙන් ගන්න තියෙන පාඩම් ටික අර ගෙන ජීවිතය ඉදිරියට ගෙන යාම තමයි වටින්නේ. එතකොට අනිත් කෙනා පැරද වීමට වඩා මම වැඩක් කරන්නේ කොහොමද සහ මටත් වැඩක් කර ගන්නේ කොහොමද කියන කාරණය තමයි ඉස්මතු වෙන්නේ සහ ඒ හැකියාව තමයි ඇති වෙන්නේ. ඒ නිසා වැරදුණ තැන්වල දී අනිත් කෙනාගෙන් අහගෙන, එයාගේ අත්දැකීම මගේ ගමනට උපකාරයක් කර ගන්න තරම් සුහද බවක් ගොඩනඟා ගන්න ගමන් තමන්ගේ නිහතමානීකමට ආලෝකයක් එකතු කර ගන්නත් පුළුවන් වෙනවා. වගේම අනිත් කෙනාගේ මානසිකත්වය කෙරෙහි දයානුකම්පාවක් ඇති කර ගැනීමට හුරුවක් ද ඇති වෙනවා.

ඒ වගේ සති ක්‍රීඩා කරනවා නම් කණ්ඩායම් දෙකක් හදා ගන්න වෙනවා. මුලින්ම ඉඩක් තෝරා ගෙන මායිම් සකස් කර ගන්න වෙනවා. එක පැත්තක සිට අනෙක් පැත්තට වතුර ගෙන යන්න පුළුවන් වෙන විදිහට, බාධාවක් නැතිව යන්න පුළුවන් තැනක් වීම වැදගත්. සමාන පරිසර සාධක ඇති ස්ථානයක් වීමත් වැදගත්. කණ්ඩායම් දෙකට එක පැත්තක සිට අනෙක් පැත්තට වතුර හලන්නේ නැතුව අර ගෙන යන්න සලස්වා, අනිත් කෙළවරේ විශාල භාජන දෙකක් තැබීමෙන් එකතු කර ගත් වතුර ප්‍රමාණය මැනීමට හැකියි. අපි හිතමු සැසදීමකින් එක කණ්ඩායමක් වැඩිපුර වතුර හලා ගන්නේ නැතුව ගිහින් ජයග්‍රහණය කළා කියලා. එතකොට ඒ දිනපු කණ්ඩායමෙන් අනිත් කණ්ඩායමට පණිවිඩයක් දෙන්න පුළුවන් අපි මෙන්න මෙහෙමයි ඇඟේ වතුර හලා ගන්නේ නැතුව යන්න සතිය නඩත්තු කළේ කියලා. එහෙම කරන කොට පැරදුණු කණ්ඩායම ඊර්ෂ්‍යාව, තරහ ඇති කර ගන්න හොඳ නැහැ. ඒ වෙනුවට තේරුමක් කර ගන්නවා කොහොමද කණ්ඩායමක් වශයෙන් සතිය කඩා ගන්නේ නැතුව මේ ක්‍රීඩාව කරන්නේ කියලා.

සමහර වෙලාවට තම තමන් පුරුදු වෙලා තියෙන හැටියට කෙනකුට ඊර්ෂ්‍යාව, තරහ ඇති වෙන්න පුළුවන්. නමුත් අනිත් අය එහෙම කෙනාට තේරුම් කර දෙන්න ඕනෑ එහෙම හැඟීම් ඇතිවීම ස්වභාවිකයි. නමුත් ඒ හිත දිහා බලලා සතිමත් විය යුතු බව. දිනුම, පැරදුම කාසියක දෙපැත්ත වගේ. මොන පැත්ත, මොන වෙලාවේ එයි ද කියලා අපි දන්නේ නැති නිසා මොන පැත්ත ආවත් ඒ ගැන උපේක්ෂාවෙන් බලා, ඊර්ෂ්‍යා නොකර, තරහ නොගෙන ඉන්න අවශ්‍ය ‍බව.

ඕනෑම තරගයක දී අපට ලැබෙන දැනුම සහ හැකියාවන් අගය කිරීමට පුරුදු විය යුතු බව තේරුම් ගන්න සහ තේරුම් කර දෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙවැනි ක්‍රීඩා තුළින් අපට හැකියාවක් ලැබෙනවා අභියෝගයක දී මොන විදිහට ද වැඩ කළ යුත්තේ සහ සතිය පවත්වා ගැනීම කොයි තරම් මේ කාර්යය සඳහා අත්වැලක්, පිටිවහලක් වෙනවාද කියලා උරගා බලන්න. අමතරව පුද්ගලයෙක් වශයෙන් කෙනකුට අවබෝධ වෙනවා කණ්ඩායමක් වශයෙන් වැඩ කරන හැටි සහ කණ්ඩායමේ ප්‍රගතිය සඳහා අනෙක් සාමාජිකයන් ධෛර්‍යවත් කිරීම කරන පිළිවෙළ. නායකත්වයක් දැරීමට නම් කොහොමද හැසිරිය යුත්තේ කියලා වැටහීමක් ඇති කර ගන්නත් මේ වෙලාවේ දක්ෂයකුට ඉඩකඩ තියෙනවා.

ඒ වගේම එයාට හැකියාවක් තියෙනවා තමන්ගේ පළපුරුද්දෙන් තවත් කෙනකුට මේ ගැන කියා දෙන්න.

කණ්ඩායම් දෙක මේ විදිහට අදහස් හුවමාරු කර ගන්න පටන් අර ගත්තොත් එතැන, ඒ ඇතිවන කතා බහ රණ්ඩු කරලා ජය ගන්න කරන විවාදයක් නොවෙයි. ඒ ක්‍රියාවලියේ දී ස්ථානෝචිත ප්‍රඥාව අනුව ලැබිච්ච ප්‍රත්‍යක්ෂ තොරතුරු හදා බෙදා ගැනීමක්. අන්න ඒ උණු උණු තොරතුරු හදා බෙදා ගන්න නම් අපි අනික් කණ්ඩායමේ මානසිකත්වය තේරුම් ගන්න වෙනවා. දිනපු කණ්ඩායම විසින් දෙවැනි වූ කණ්ඩායමේ මානසිකත්වය තේරුම් ගැනීම වැදගත්. ඒ වගේම දෙවැනි කණ්ඩායම විසින් දිනුව කණ්ඩායමේ මානසිකත්වය තේරුම් ගැනීමත් වැදගත්.

වගේ ම කණ්ඩායමක නායකත්වය දීමට තොරතුරු විචාරීම සහ ඒ සඳහා මධ්‍යස්ථ මානසික මට්ටමක් පවත්වා ගැනීමට හුරු වීමත් මේ තුළින් ඇති වෙනවා.

එක පැත්තක සක්මන් කරනවා කියන එකත්, අනිත් පැත්තේ මේ හරහා ඇතිවෙන මානසික සංසන්දනය කියන එකත් හෙළි කර ගන්න අවශ්‍ය බව අපි කලින් කතා කළා. මෙය ක්‍රීඩාවක් වෙන්නේ සතිය ඇති කරවන ගතියට අමතරව අනෙක් කෙනා උනන්දු කරවන ගතිය නිසයි. පරදින කෙනාගේ මානසිකත්වය මොකක්ද? දිනන කෙනාගේ මානසිකත්වය මොකක්ද? දිනන කෙනා පරදින කෙනාට කියලා දෙන කොට ඒක සාධනීය විදිහට කියලා දෙන්නේ කොහොමද? පැරදිච්ච කෙනාටත්, පැරදීමට හේතු වෙච්ච කරුණු දැනගෙන මීට පස්සේ ඒ කරුණු නො වෙන්නට ගත්ත ආදර්ශය මොකක්ද? මේ පරාජිත මානසිකත්වයක දී ඉගෙන ගත්තේ මොකක්ද? කියන කරුණු මේ කතා බහ තුළ අන්තර්ගත වුණොත් අන්න අර අවසානයට කරන විස්තර ප්‍රකාශයේ ලොකු අවබෝධයක්, අවධියක් තියෙනවා. ඒකට ඡ්ථධබඪධදචත ඹ්ඪබඥපචජර කියලා කියනවා. අනිත් එක්කෙනාගේ චිත්ත ප්‍රවෘත්තියට තියෙන සංවේදීකම. ඒක ක්‍රීඩාවේ ජය ගන්න තියෙන හැකියාව නොවෙයි. අන්න ඒ සංවේදීකම තමයි අද ළමයින් තුළ පොදුවේ මනුෂ්‍යයන් තුළ නැති වෙලා තියෙන්නේ.

ඒ නිසා තමයි ආතතිය ජීවිතයට මේ තරම් කිට්ටු වෙලා තියෙන්නේ. මේ ආතතිය තමයි ඊට වැඩිය දරුණුවට බලපාන මානසික අසහන බවට පත්ව තියෙන්නේ. දැන් විශේෂයෙන් ම ජංගම දුරකතන සහ සමාජ මාධ්‍ය ජීවිතයේ කොටසක් බවට පත්ව වැඩි වශයෙන් බලපාන කාලයේ හැමදේම තරගකාරී වෙලා. මේ කාලයේ දී මම ඉගෙන ගන්නේ තරග කරන්නද? එහෙම නැත්නම් කෙනෙක් පරාජය කරන්නද? කෙටියෙන් කීවොත් මම ජීවත් වෙන්නේ අනෙක් අය එක්ක තරග කිරීමටද? කියලා බලන්න සුදුසු කාලයක තමයි අපි කවුරුත් ජීවත් වෙන්නේ. අන්න ඒ තරගකාරී බව හිතෙන් අයින් කර ගන්න මවුපියෝ අපට උගන්වන දේට වැඩිය, ගුරුවරු අපට කියා දෙන දේට වැඩිය, සතිය ඉගෙන ගන්න, ඒ එක්ක වැඩ කරන කෙනෙක්ගෙන් ලැබෙන අවවාද වැඩිපුර යථාර්ථයට නැඹුරුවක් පෙන්වනවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ සති ක්‍රීඩා හරහා. ඒ නිසා වතුර පිරවූ භාජනයක් හිස උඩ තියා ගෙන සිහියෙන් ඇවිදින එක ක්‍රීඩාවක් නමුත් ඒ ක්‍රීඩාව හරහා අපට දිනුවත්, පැරදුණත් ලබා ගන්න පුළුවන් දැනුම තමයි ඉරියව්ව මාරු වුණාට, ජය පරාජය කියලා දෙකක් ලැබුණාට, හිත කම්පා වුණාට මේ කිසිම දෙයකට සතිය කැඩෙන්නේ නැහැ කියන කාරණාව.

සතිය කඩා ගන්නේ නැතුව ඉරියව්ව මාරු වෙන හැටි බලන්න පුළුවන් නම් එකම ඉරියව්වේ සතිය පවත්වනවාට වැඩිය මේ විදිහට ඉරියව් මාරු කරමින් සතිය පැවැත්වීම හොඳයි කියලා, එදිනෙදා ජීවිතයට උපකාර වෙනවා කියලා මෙවැනි ක්‍රියාකාරකම් කරන වෙලාවට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ජය වගේ ම පරාජයත් එක සේ බාර ගන්න පුරුදු වීම ඊළඟ වාරයේ දිනුම සඳහා ගුරුවරයකුට වඩා උදව් කරන බව සති පාසලේ සති ක්‍රීඩාවලින් මේ ඇත්තන්ට ම වටහාගන්න හැකි වේවි. කියවන කෙනකුට හිතෙන්න පුළුවන් මේක හොඳ පොඩි ළමයින්ට කියලා. නමුත් වැඩිහිටියන්ටත් විවිධ අවස්ථාවල දී මෙවැනි ක්‍රියාකාරකම් කළ හැකියි. ඒ මානසික අවධිබාවය සඳහා අද ලිපියත් උපකාර වේවා කියන ප්‍රාර්ථනාව සමඟ අද දවසේ පණිවිඩය සමාප්ත කරනවා.

මීළඟ ලිපියෙන් සතිමත්බව පුරුදු කිරීම ගැන තවදුරටත් කතා කරමු.

You may also like

Leave a Comment