ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස කතුවැකියපිවිතුරු සිතක අවශ්‍යතාව
බිනර පුර පසළොස්වක පෝ දා 2026-09-26

පිවිතුරු සිතක අවශ්‍යතාව

by Thanushika
September 26, 2026 12:30 am 0 comment

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දැකීම ඉතාම කලාතුරකින් වන සංකීර්ණ ක්‍රියාදාමයකි. විශ්වාස කිරීම පවා අපහසු ය. බොහෝ පිරිසකට නොදැනුණ ද මිනිස් ජීවිතය ද එබඳු ය. මරණින් මතු සතර අපාය මහගෙදර කර ගත් සත්වයාට නැවත මිනිසත් බවයක් ලැබෙන්නේ ඉතාම කලාතුරකින් ය. එයට බොහෝ පින් කුසල් වැඩිය යුතු ය. වීර්යය ගත යුතු ය. අප්‍රමාදී විය යුතු ය.

ඒ සා දුර්ලභ ව ලද මිනිස්කමට වටිනාකමක්, අර්ථයක් දෙන්නට සමාජයේ වැඩි පිරිසකට නොහැකි වී තිබෙන බවට ඇසෙන දකින අපමණ මිනිස් ක්‍රියාකාරකම්වලින් ම නිදර්ශන ලැබේ.

විපරීත වූ මානසික තත්ත්ව නිසා තමන් වැදූ මව, හදා වඩාගත් පියා ඝාතනය කොට ආනන්තරීය පාප කර්ම රැස් කළ දරුවන් ගැන මෑත කාලයේ ද අසන්නට ලැබුණි. ජීවිතයක වටිනාකම නොදන්නා පාපී මිනිසුන්ගේ ආවේගශීලිත්වය, නොඉවසීම, අසංවර බව නිසා අද මහ පාරක ආරක්ෂිතව ගමනක් බිමනක් යන්නට බැරි තරමට මිනිසා ම අසරණ වී තිබේ. නොසැලකිලිමත් රිය ධාවනය වටිනා ජීවිත කොපමණ බිලි ගනිමින් තිබෙනවාද? මෙය මිනිස් සිතිවිලි ක්‍රියාත්මක වන ආකාරයේ ඛේදනීයත්වයයි.

වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, කාමය, රාගය ආදී අනේක විධ ක්ලේශ ධර්ම විසින් වසාගත් මිනිස් සිත ජීවිතාර්ථය දකින මඟ අසුරුවාගෙන තිබේ. ඒ තුළ තමන්ගේ අභ්‍යන්තරය සමඟ ගැටෙමින් එයින් නොනැවතී බාහිර පුද්ගලයන් සමඟ ද ගැටුම් ඇති කර ගනී.

අපගේ බුදුපියාණන් වහන්සේ දේශිත උතුම් ශ්‍රී සද්ධර්මය මේ දැවෙන සිත නිවා සනසා ගන්නට ය. මැණික් ගලේ පය හැපුණත් කණා එය අහුලා නොගන්නා සේ ඒ මාහැඟි ධර්මය දැක දැකත් ජීවිතයට ගළපා නොගැනීම අතිශය කනගාටුදායක ය. ‘මිනිසා’ යන නාමය ම ලැබී ඇත්තේ සිතා බලන්නට මනසක් ලැබී තිබෙන නිසා ය. දැන් අඳුරින් එළියට එන්නට කාලය පැමිණ තිබේ. තමන්ගේ ජීවිතය නිවැරැදි කරන්නට අම්මාට හෝ තාත්තාට හෝ නොහැකි ය. වෙනත් කිසිවකුට හෝ නොහැකි ය. කළ හැකි මඟ පෙන්වීම පමණි. ඒ මඟ යා යුතු තමන් ම ය.

මේ ජීවිතය අස්ථිර බව ඕනෑම දුර්වලයකට වුව වැටහේ. සමාජ මාධ්‍ය බහුල මෙකල මරණය මොනතරම් සමීපයෙන් සිටී දැයි අපිට අපමණ නිදර්ශන ගෙන එයි. පුංචි දරුවාගේ සිට තරුණ පිරිස් අපමණ මේ ජීවිතය හැර යමින් සිටී. අපගේ බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ පහළට ගත් සුසම නැවත ඉහළට ගන්නට පෙර මේ ජීවිතය අවසන් විය හැකි බවයි. ඒ මරණයට නොබියව මුහුණ දීමට නම් ජීවිතය අවබෝධයෙන් තේරුම් ගෙන, සිත සාදා ගන්නා වැඩපිළිවෙළකට අප්‍රමාදී වීම යි අප කළ යුතු වන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ,

නතං මාතා පිතා කයිරා
අඤ්ඥේ වා පිච ඤාතකා
සම්මා පණීහිතං චිත්තං
සෙය්‍යසො නං තතො කරේ

පුද්ගලයකුට කිළිටි වන්නට නොදී මනා කොට තබා ගන්නා ලද මේ සිත යම් බඳු යහපතක් කරයි ද, එපමණ වූ යහපතක් ඒ තැනැත්තාට මව්පියන් ද, නෑයන් ද නොකරන බව ය. කිරීමට නො සමත් බව ය.

You may also like

Leave a Comment