තමන් ම විනාශ කර ගැනීමට හැකි සත්වයා මිනිසා වුවත්, එය මිනිසාට තරම් නොවන ක්‍රියාවක් බවත් අප මතක තබා ගත යුතුයි. පසු ගිය කාලයේ කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙක් සිය දිවි නසා ගැනීම පිළිබඳ පර්යේෂණයක් කළා. එහිදී සඳහන් වූයේ වැඩියෙන්ම සිය දිවි නසා ගන්නේ සිංහල බෞද්ධ ජනතාව බවයි. ප්‍රතිශතයක් ලෙස එසේ වැඩි වීමට බලපා ඇති හේතු සාධක වෙන ම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි.
සැලකිය යුතු කරුණක් තමයි සිය දිවි නසා ගැනීමත්, සිය දිවි පූජා කිරීමත් අතර විශාල පරතරයක් ඇති බව. ව්‍යසනයක දී අනෙක් අය බේරා ගන්නට ගිහින් තම ජීවිතය අහිමි වූ අය ගැන අප අසා තිබෙනවා. සුනාමි ව්‍යසනයේ දී පවා එබඳු පරිත්‍යාග කිරීම් සිදු වුණා. උතුම් අරමුණු වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කරන අය කොතරම් ඉන්නවද?
මානව වර්ගයාගේ ආරක්ෂාව, යහපත, අනාගතය වෙනුවෙන් සිය දිවි කැප කළ උදාර මිනිසුන් ගැන අප නොයෙකුත් අසා තිබෙනවා. එබඳු මිනිසුන් වෙසෙන සමාජයක ආත්මවාදී අදහස් නිසා සිය දිවි නසා ගැනීම කොතරම් පටු පහත් දෙයක් ද?
මොහොතක් හිතන්න. මේ ජීවිතය අයිති ඔබට පමණක් නොවෙයි. ඔබ බිහිකොට පෝෂණය කළ මවුපියන්, පවුලේ සාමාජිකයන් ඇතුළු සමාජය කුඩා කල සිට ඔබට සෙනෙහස දක්වමින් මෙතෙක් දිවි පැවැත්මට උපකාර වී තිබෙනවා. ඔවුන්ගේ කාලය, ශ්‍රමය, ධනය, කඳුළු, ඩහදිය සියල්ල කැප කොට ඔබ වෙනුවෙන් කෙබඳු හෝ කැපවීමක් කර තිබෙනවා. අපි අපට ම පමණක් අයිති නෑ. අප මේ සමාජයට වග කිව යුතුයි. සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක් වන්නේ ඒ නිසයි.
බුදු දහම අනාත්ම දර්ශනයක්. මේ ප්‍රාණයවත් අපට අයිති නෑ. බුදු දහමට අනුව සිය දිවි නසා ගැනීමත් ප්‍රාණඝාතයක්. බලවත්ම අකුසල කර්මයක්.
බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ විසුවා ගෝධික කියලා හිමි නමක්. සංයුක්ත නිකායට අයත් ගෝධික සූත්‍රයේ මුන් වහන්සේ ගැන සඳහන් වෙනවා. උන් වහන්සේ ධ්‍යාන උපදවාගෙනයි හිටියේ. ඒත් මේ තෙරණුවන්ට රෝග බහුල වීමෙන් ඇති වන පීඩාව නිසා, ධ්‍යාන ආරක්ෂා කර ගැනීමට අපහසු වුණා. ධ්‍යානයෙන් පිරිහුණු විටෙක මරණය සිදුවුණොත් මතු භවය නිගමනය කරන්න අපහසුයි. ධ්‍යාන සහිත ව මිය ගියොත් නියත වශයෙන් ම බඹ ලොව උපදින බව උන් වහන්සේ දැන සිටියා. උන් වහන්සේ කළේ ආයුධයකින් ගෙල සිඳ ගැනීමයි. ඉන් බොහෝ වේදනාවට පත් වුණා. ඒත් වේදනාව අනිත්‍යය, දුක් සහගත ය, අනාත්ම ය වශයෙන් මෙනෙහි කර රහත් වෙලයි පිරිනිවන් පෑවේ. බුදුන් වහන්සේ මෙය අනුමත කළා. ඔබට ගැටලුවක් වෙන්න පුලුවන් ඇයි බුදුන් වහන්සේ මෙය අනුමත කළේ කියල. ජීවිතය අහිමි කර ගත්තේ උතුම් කාර්යයක් වෙනුවෙනුයි.
ගෝධික හාමුදුරුවන් වගේ අපත් සිය දිවි නසා ගත්තම මොකද වරද කියල කෙනෙක් හිතන්න පුළුවන්. උතුම් අරමුණක් වෙනුවෙන් තම ජීවිතය අල්ප කොට සැලකීම සිය දිවි නසා
ගැනීමට වඩා වෙනස් බව අප වටහා ගත යුතුයි.
අපෙ සමාජයේ සමාජ විරෝධී ක්‍රියා සහ නීති විරෝධී ක්‍රියා කියල දෙවර්ගයක් පවතිනවා. සිය දිවි නසා ගැනීම සමාජ විරෝධී වගේම නීති විරෝධී ක්‍රියාවක්.
මිනිස් අයිතිවාසිකම් අතර වැදගත් මෙන්ම, මූලික ම අයිතිවාසිකම නම් ජීවත් වීමේ අයිතියයි.
එය පුද්ගලයකුට අහිමි වී නැවත ලබා ගත හැකි අයිතියක් නොවෙයි. අනෙක් අයිතිවාසිකම් අහිමි වුව ද නැවත හිමි කර ගන්න පුළුවන්. නමුත් ජීවිතය අහිමි වුණාම ජීවත්වීමේ අයිතිය ලබා ගන්න බැහැ. ඒ නිසාමයි ප්‍රාණඝාතය වගේම දිවි නසා ගැනීමත්, දිවි නසා ගැනීමට උත්සාහ කිරීමත් දඬුවම් ලැබිය යුතු වරදක් වෙන්නේ.
දිවි නසා ගැනීම අතිශය පෞද්ගලික දෙයක් කියල හිතන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම එයින්, මෙතෙක් මුහුණ දුන්න ප්‍රශ්න අවසන් වෙන්නෙත් නෑ. ජීවත් වන අයට සෑහෙන්න ප්‍රශ්න රැසක් ඉතිරි කර දීමයි එයින් සිදු වෙන්නේ. මේ නිසා සිය දිවි නසා ගැනීමට බලපාන සමාජ ආර්ථික වට පිටාව නැති කිරීම දැන උගත් හැම දෙනාගේ ම යුතුකමක්.
නූතන මනෝ විද්‍යාඥයන්ගේ අදහස සිය දිවි නසා ගැනීමට එකම හේතුවක් පමණක් දැක්වීම අපහසු බවමයි. පෞරුෂය වර්ධනය නොවීම, ඉච්ඡා භංගත්වය, වෛරය, කාංසාව, ආදරය අහිමි වීම ආදී මානසික කායික මෙන්ම සමාජික හේතු රැසකුත් මේ සඳහා බලපාන බව ඔවුන් පෙන්වා දෙනව.
අපේ ප්‍රාණය නම් පහන් සිල මවුපියන් විසින් දල්වන ලද්දක්. පහනකින් පහනක් දල්වනව වගේ සොබා දහම අපට උරුම කරල දීල තියෙන්නේ ප්‍රාණය දල්වන්නයි.