ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් අව අටවක පෝ දා 2026 නොවැම්බර් 01 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් අව අටවක පෝ දා 2026 නොවැම්බර් 01 ඉරිදා
නිවස දහම් අසපුවවටිනාකම වැඩි තමන්ගේ ම අත්දැකීම්

වටිනාකම වැඩි තමන්ගේ ම අත්දැකීම්

by Thanushika
November 1, 2026 12:30 am 0 comment

විවිධ ‍උපක්‍රම පාවිච්චි කර වැඩි වෙලාවක් තමන්ගේ කයත් එක්ක ඉන්න එක, ඒ කියන්නේ කය වාඩි වෙලා ඉන්න ආසනයට හැප්පිලා තියෙන හැටි, එහෙම නැත්නම් හුස්ම ගන්න විදිහට ඇඳුම් තෙරපෙන ලිහිල් වෙන හැටි, හුස්ම ඉහළ පහළ යන හැටි බලන්න යන කොට මුලදී හරි අපහසු යි. විශේෂයෙන් ම පොඩි අයට එක තැනක ඉන්න බැරිකම වැඩිහිටියන්ට එක දිගට වාඩි වෙලා ඉන්න අමාරුකමට අමතරව සිතුවිලි, ශබ්ද ආදිය කරදරයක් වගේ පේනවා. නමුත් පුහුණුව එක්ක කරගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට තමන්ට ආවේණික ක්‍රම යොදා ගන්න තමන් ම ඉගෙන ගන්නවා. ඒ ක්‍රම නිසා තමන්ට පහසුවක් දැනෙන බවත්, ඒ නිසා වැඩි වේලාවක් ඉරියව්වේ හිත පවත්වා ගෙන ඉන්න පුළුවන් වෙන බවත්, එහෙම ක්‍රම යොදා ගත් අය දන්නවා. ඉඳුම් හිටුම් පහසුකම් කියලා. අපි නිතර කියන්නේ මේ පහසුව ගැනයි. ඒ පහසුව ලැබෙන්නේ තමන්ට තමන් මිත්‍ර වීම නිසයි. ඒ මිත්‍ර වීම කියන්නේ තමන්ගේ කය කෙරෙහි ද්වේශයක් හෝ ප්‍රිය බවක් හෝ පෙර තිබුණා නම් එවැනි දෙයකින් තොරව, තමන් කළ කී දෑ ගැන තරහක්, අමනාපයක්, මාන්නයක් හිතේ තිබුණා නම් එයින් තොරව සැහැල්ලුවෙන් ඉන්න බවයි. ඒ වෙලාවේ දී පවතින හිත මෛත්‍රී සහගත හිතක් විදියට හඳුන්වනවා. තමන්ට මෛත්‍රිය කර ගැනීමට ලෝකේ තියෙන හොඳම ක්‍රමය මෙයයි.

අපි මේ විදිහට සුව සේ ඉරියව්ව පරිහරණය කරන වෙලාවට ඉඳුම් හිටුම් පහසුව දෙස නැත්නම්, වර්තමාන මොහොතේ මේ කයේ ක්‍රියාකාරීත්වය තමන්ට දැනෙන ආකාරය අරමුණ ලෙසට පවත්වා ගැනීම තමයි කළ යුත්තේ. නමුත් ඒ වෙනුවට ඊට වඩා වටිනා වැදගත් දේවල් තියෙනවා කියලා හිත විවිධ අරමුණු මතක් කර දෙනවා. තමන්ගේ ම හිත සුව පිණිස සුව සේ වාඩිවෙලා ඉන්න මේ මොහොතට වැඩිය ඊළඟට කරන්න ඇති වැඩ ගැන හිතනවා. ඊයේ නැත්නම් ටිකකට කලින් සිද්ධ වුණ අතපසුවීම් ගැන හිතනවා. යාළු මිත්‍රයෙක් එක්ක වුණ කතා බහක ඉතිරි දෙබස් සම්පූර්ණ කරන්න විවිධ යෝජනා හිත අරගෙන එනවා. මේ එන අරමුණු අපි සාදරයෙන් බාරගෙන ඒවාට ප්‍රතිචාර දක්වනවා. වඳුරා වගේ කියලා උපමා කළ හිත හදන්නේ ම කයේ දැනීම් නිරීක්ෂණය කරනවා වෙනුවට, වෙන අරමුණු දිගේ කැලේට ඇදගෙන යන්න. මේ වෙලාවට සතියෙන් ඉන්න උත්සාහ කරන කෙනාට දුකක්, පසුතැවිල්ලක් ඇති වීම ස්වභාවිකයි. කොයි තරම් අමාරුවෙන් හදා ගත්ත වෙලාවද මේ එක එක දේවල් හිතමින් නාස්ති කරන්නේ කියලා තමන් ගැන තරහක් එන්න පුළුවන්. නමුත් කළ යුත්තේ පසුතැවිල්ල පැත්තක තබා හිත විවිධ යෝජනා ගේන හැටි හොඳීන් බලා සිටීමයි. මුලදී අමාරු වුණත් ටිකක් පුරුදු වෙන විට ඒ ගැන අමනාපයක් නැතිව හොඳට ඒ එන අරමුණු බලන්න හැකි වෙනවා.

ඕනෑම කෙනකුට පුහුණුව ආරම්භයේ දී මේ විදිහට හිත විවිධ අරමුණුවලට පනින්න හේතුව මෙතෙක් කල් කළ පුරුද්ද යි. එක අරමුණක ඉන්නවා වෙනුවට හිත කියන කියන දේට අවධානය දෙමින් ජීවත් වුණ එක තමයි මෙතෙක් කල් මේ ඇත්තෝ කළේ. ඒ නිසා දැන් ඉඳගෙන සතිමත් වෙන්න ගියා ම පෙර පුරුද්දට හිත විවිධ යෝජනා ගේනවා. ඒ නිසා වාඩිවෙලා සතිය පුරුදු කරන විට වර්තමානයේ සිදුවෙන ක්‍රියාවට හිත පිහිට වනවාට වඩා වැඩියෙන් මේ වගේ බාහිරෙන් එන දැවිලි තැවිලිවලට හිත දුවනවා. නමුත් පුරුදු කරගෙන යන විට ඉඳගෙන සතිමත් වෙන වෙලාවේ දී ඒකට ම හිත යොදාගෙන ඉන්න ක්‍රමයෙන් හැකි වෙනවා. එසේ වෙන විට පළමුව තේරෙන්න පටන් ගන්නවා සතිමත් ඉඳ ගැනීම සාර්ථක නම් වෙනදාට වඩා වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් කියලා දෙවැනි කාරණය ඉඳගෙන ඉන්න කාලයෙන් වැඩි වෙලාවක් තුළ තමන් ඉදිරියෙන් තියා ගත්ත මූල කර්මස්ථානය නැත්නම් අරමුණට ම හිත පවත්වා ගන්න පුළුවන් කියලත් තේරෙනවා. වෙනත් විදියකට කියනවා නම් අපි ඉඳගෙන දේශනයකට ඇහුම්කන් දෙනවා නම් දේශකයා කියන දේට හිත යනවා වැඩියි. එතකොට අහගෙන ඉන්න දේ හිතට වැටහෙනවා වැඩියි. මේ විදිහට වැඩි වේලාවක් මූල කර්මස්ථානයේ පැවැත්වීම සහ දිගු වේලාවක් එලෙස සිටීමට හැකි වීම දිගින් දිගට ම සතිය පුහුණු කරන්නකු තුළ ඇති වෙන ප්‍රගතියයි. මෙහි දී හිත පිට ගිය වෙලාවට පසුතැවිලි නොවීම සහ දුක් නොවීම ඉතාමත් වැදගත් කාරණාවක් වෙනවා.

ටිකක් මේ ගැන විස්තර කළොත් තමන්ට පුහුණුව සඳහා ඉඳගන්න කොට වෙනදාට වඩා පහසුකමක් දැනුණාද? නැද්ද? අපහසු වුණා නම් අපහසු වුණ හේතුව බැලීම අවශ්‍ය වෙනවා. උදාහරණ විදිහට වතුර තිබහක් දැනුණාද? නැත්නම් වැසිකිළි යන්න හිතුණාද? නැත්නම් කරන්න බැරි වුණ වැඩක් ගැන මතක් වුණා ද? ආදී වශයෙන් ඒ අපහසු වීමට හේතු වූ කරුණ ලියා හෝ මතක තියා ගෙන හෝ ඊළඟ වාරයේ වාඩි වීමට පෙර පුළුවන් නම් ඒවා සම්පාදනය කර ගැනීම සුදුසුයි.

වැසිකිළි ගිහින්, වතුර බීලා, සූදානම් වෙලා වාඩි වෙන්න. ඒවාට අපි පූර්ව කෘත්‍ය කියලා කියනවා. වැඩේට මුල සිට සූදානම් වෙනවා. සූදානම් වෙලා ගියාම කොච්චර වෙලාවක් සුව සේ වාඩි වෙලා ඉන්න පුළුවන් වුණා ද? ඒ වාඩි වෙලා ඉන්න වෙලාවේ කොච්චර කාලයක් ඉදිරියෙන් තියා ගත්ත අරමුණට හිත පවත්වා ගන්න පුළුවන් වුණා ද? කියලා බලන්න ඕනෑ. අරමුණෙන් හිත පිට ගියොත් එයට හේතු වෙන කාරණාව එක් එක්කෙනාට වෙනස්. අපට ඒ ගැන මෙහෙම විස්තර කරන්න පුළුවන්. වාඩිවෙලා ඉන්න වෙලාවේ මම හුස්ම ප්‍රධාන අරමුණ ලෙසට තියා ගන්නවා කියල වාඩි වුණත් ඒ වෙලාවේ වැඩිපුර ම හිත ගියේ විවිධ සිතුවිලිවලට කියා කෙනෙක් නිරීක්ෂණය කරන්න පුළුවන්. තව කෙනෙක් කයේ ඇතිවෙන වේදනා මූල කර්මස්ථානය නැත්නම් ඉදිරියෙන් තියා ගත් අරමුණෙන් හිත දුරස් කළා කියලා කියන්න පුළුවන්. තවත් කෙනකුට අවට තිබුණු ශබ්ද නිසා අරමුණෙහි හිත පවත්වන්න බැරි වුණා කියලා කියන්න පුළුවන්.

මේ විදිහට හිත තිබුණේ කොතැන ද කියලා දැන ගන්නවා. මේ දැන ගැනීම අනුව මනසේ යම් තරමකට හෝ එල්ලයක් තිබුණා නම් එය වැටහෙනවා. එතකොට ඉඳ ගන්න කොට මෙන්න මේකයි අපි සාක්ෂාත් කළ යුත්තේ. බහුලීකත කළ යුත්තේ, වැඩිය යුත්තේ කියන කාරණාව වගේම ඒකට ඇතිවෙන බාධා ගැන දන්නවා. මේ කාරණාව කොයිතරම් පොත පතේ දැනුම තිබුණත්, කොයිතරම් දේශනා ඇහුවත් කර පුරුද්දෙන් තමන් ඉගෙන ගන්නවා හැර වෙන කෙනකුට කවදාවත් පුහුණු වෙන කෙනාගේ ඔලුවට දාන්න පුළුවන්කමක් නැහැ. කියලා දෙන්න පුළුවන් ඉඳ ගන්න ඉස්සෙල්ලා මෙහෙමයි කළ යුත්තේ කියලා. නමුත් ඉඳ ගත්තට පස්සේ තමයි එයා තේරුම් අර ගන්නේ එන ඔක්කොම කරදර සහ ඒවා නැති වුණාට පස්සේ මනසේ මේ යෙදවීම. ඒකට අපි මුලිච්චි වෙනවා කියලා දෙමළ භාෂාවෙන් කියනවා. ආපාතගත වෙනවයි කියලා ශාස්ත්‍රීය වචනයක් තියෙනවා. ආපාතගත වෙනවා කියන්නේ අවශ්‍ය තැනට හිත පවතිනවා කියන එකයි. ඒක බොහොම කලාතුරකින් වෙන්නේ. උපමාවකින් දැක්වුවොත් දුන්නකින් එල්ලයකට විදින්න හදන කෙනෙක් පුරුදු වෙන කල් ඒකේ තිතට විදින්න බැහැ. ඔක්කොම ක්‍රම කටපාඩමින් ඉගෙන ගෙන ගියත් මුල දී එල්ලයට ඊතලය යන්නේ නැහැ.

නමුත් එහෙම විදල විදල එයා කොයි වෙලාවක හරි හරියට එල්ලය අල්ල ගන්නවා. නමුත් ඒ විදිහට එල්ලයට විදින්න නම් දුනු ශිල්පය කාලයක් පුහුණු කරන්න වෙනවා.

මේ විදිහට එල්ලය අල්ලා ගත් පසුව දැන් තියෙන්නේ ඒ එල්ලයට විදින එක. එහෙම නැත්නම් අරමුණට ම හිත මෙහෙයවන එක. මේ මෙහෙයවීම නිතිපතා කෙරුවොත් පමණක් හරියට එල්ලයට යන්න තියෙන ප්‍රස්ථාව වැඩියි. එහෙම නැතුව ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ සත්තු හය දෙනෙක් බැඳ ගත්ත සත්වෝද්‍යානයේ එක එක සතා අනිත් අය ගැන කිසිම තැකීමක් නැතිව ඒ ඒ අයගේ ගොදුරු බිමට ඇදගෙන යන පුරුදු ක්‍රියාවලියට ඉඩ හැරියොත් එතකොට අපේ වඳුරු මනස තමයි වැඩ කරන්නේ. දැන් ඒ වෙනුවට සතියෙන් වාඩිවීම සඳහා කාලයක් අරගෙන ඒ සඳහා යෙදිලා පුරුදු වෙන කොට අත්වැරැදි කොච්චර වුණත් ඒ අත්වැරැද්දකට නැත්නම් හිත පිට යෑමකට තමන් තුළින් ම උත්තරයක් එන්න පටන් ගන්නවා. මේ අත්වැරැද්ද මේ විදිහට විසඳගත්තොත් හොඳයි කියලා තමන් ම උත්තර සොයා ගන්නවා. මේ උත්තරය විශාරද උත්තර නොවෙන්න පුළුවන්. නමුත් ඒක තමන්ගේ ප්‍රශ්නයට ගැළපෙන උත්තරයයි.

මෙහෙම පුහුණු කරන මේ ඇත්තන්ගෙන් කවුරු හරි ඇහුවොත් සතිය කියන්නේ මොකක්ද? අපටත් ඒ ගැන කියා දෙන්න කියලා එතකොට ඔයා කිව්වොත් අහවල් පොතේ මේ විදිහට කියලා තියෙනවා. අහවල් ගුරුවරයා මේ විදිහට කියනවා. ඒ ගැන ලියැවුණ ගොඩක් පොත් තියෙනවා. ඔයාට එයින් එකක් අරගෙන කියවන්න පුළුවන් කියලා. එයා ඒ පොත් අරගෙන කියවන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. පොත් ගැන හෝ පොතෙන් ගත්ත දෙයක් ගැන හෝ නො කියා ඒ වෙනුවට “මම ඉඳගෙන සතිය පුරුදු කරන විට මේ විදිහට වාඩිවෙනවා. ඒ වෙලාවට මට මේ වගේ බාධා එනවා. බාධා නැතිව ඉන්න වෙලාවලුත් තියෙනවා. මේ විදිහට මම පහසුවෙන් වාඩිවෙලා ඉන්නවා” කියලා තමන් අත්දුටු දේ කිව්වොත් ඒක බොහොම සරලයි. හොඳට තේරුම් ගන්න පහසුයි. ඒක ප්‍රායෝගික අත්දැකීම නිසා විස්තර කරන්නත් පහසුයි. ඒ වගේම තමයි අහගෙන ඉන්න කෙනා තුළත් හැකියි කියන සංඥාව වැඩෙනවා. උරගා බලන්න ආසාවක් ඇතිවෙනවා. ඒ වගේම “මම වෙනදට වඩා වැඩි වෙලාවක් වාඩි වෙනවා. දිනපතා මේ විදිහට පුහුණු වෙනවා. ඒ නිසා වැඩි වාර ගණනක් වාඩි වෙලා පුහුණු වීමට කාලය යෙදවෙනවා” වගේ දෙයක් කියන්න පුළුවන් නම්, බැහැ කියමින් ඉන්න, දැනටමත් ආරම්භ කර ඇති අයට උත්සාහයේ බීජ පැළ කරන්න ඒක උදව්වක් වෙනවා.

මේ විදිහට මට වැඩි හුස්ම ගානක් බලන්න පුළුවන් කියලා කියන්න පුළුවන් වුණ වෙලාවක ඒකට හේතු පාදක වූ කරුණු ටික තමන්ගේ දින පොතට වටිනවා. ඒ වගේම තව කෙනකුට විස්තර කරලා දෙන්න හදන කොට තමන්ගේ ඒ අත්දැකීම පුංචි කරලා සලකන්න එපා. පිටින් අධ්‍යාපනයෙන් ලැබෙන නානා ප්‍රකාර රස මසවුළුවලට වැඩිය ඇතුළතින් ඉදිරිපත් වෙන තමන්ගේ අත්දැකීමෙන් ලබන පොඩි දේ පවා වටිනවා. ඒ නිසා මේ පැතිකඩ තුන ගැන සැලකිලිමත් වීම සතිය පුරුදු කරන්නකුට වටිනවා.

මීළඟ ලිපියෙන් සතිමත්බව පුරුදු කිරීම ගැන තව දුරටත් කතා කරමු.

You may also like

Leave a Comment