න තෙන අරියෝ හොති – යෙන පාණානි හිංසති
අහිංසා සබ්බ පාණානං – අරියෝති පවුච්චති
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන කාලයෙහි එක දවසක් උන්වහන්සේ භික්‍ෂු සංඝයා වහන්සේ පිරිවර කොට ඇති ව, සැවැත් නුවරෙන් උතුරු දිසාවේ ගම් දොරෙහි තිබෙන නිවෙස්වලින් පිඬු සිඟාගෙන නික්ම ආපසු වැඩම කළ සේක.
එසේ ආපසු වැඩම කරද්දී බිලී බා මසුන් අල්ලන්නා වූ මිනිසෙක් උන් වහන්සේට දකින්නට ලැබිණ. බිලීබාන්නාට ද භික්‍ෂූන් වහන්සේ සමඟ වැඩම කරන්නා වූ බුදුරජාණන් වහන්සේ දකින්නට ලැබී බිලීපිත්ත ඉවතට විසිකොට සිටියේ ය.
එදා බුදුරජාණන් වහන්සේ ඒ පෙදෙසට පිඬු සිඟා වැඩම කළේ ද, මේ බිලීබාන්නා සෝවාන්වීමට තරම් පුණ්‍ය ශක්තියක් තිබෙන බව බුදු නුවණින් දැකීමෙනි. එහෙයින් බිලීපිත්ත විසිකර සිටින ඔහු දුටු බුදුරජාණන් වහන්සේ ඔහු සමීපයෙහි සිටි සේක්, භික්‍ෂූන් වහන්සේගෙන් “නම කුමක් දැයි“ ප්‍රශ්න කළ සේක. පළමුකොට සැරියුත් මහ රහතන් වහන්සේගෙන් “නම කුමක් දැයි ” විචාළ සේක. උන්වහන්සේ “මම ශාරිපුත්‍ර වෙමි” යැයි පිළිතුර දුන්හ. ඉක්බිති මුගලන් මහ රහතන් වහන්සේගෙන් “නම කුමක් දැයි” විචාළ සේක. “මම මොග්ගල්ලාන නමැත්තෙමි” යැයි උන්වහන්සේ පිළිතුරු දුන්හ. මේ ක්‍රමයෙන් භික්‍ෂූන්ගෙන් කිනම් ඇත්තහු නම් දැයි අසා පිළිතුරු දුන් විට බිලීබාන්නාගෙන් “උපාසකය, ඔබගේ නම කුමක් දැයි” විචාළ සේක.
“ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මම අරිය නමැත්තෙමි යැයි” හේ කීය. එසේ කී කල්හි බුදුරජාණන් වහන්සේ “උපාසකය, අරියයෝ (ආර්‍ය නමැත්තෝ) නම් එබඳු ප්‍රාණඝාත නො කරන්නෝ ය. එබඳු ප්‍රාණඝාතකයෝ අරිය නමින් හඳුන්වනු නො ලැබෙතැයි ද, ආර්‍යයෝ වනාහි මහජනයාට කවරාකාරයෙකින් හෝ හිංසා නො කරන්නා වූ ස්වභාව ඇත්තෝ ”යැයි ප්‍රකාශ කොට පෙර සඳහන් ගාථාව වදාළ සේක.
ගාථාවේ අදහස
ප්‍රාණීන්ට හිංසා කරන තැනැත්තා ආර්‍ය යැයි නමක් තබා ගත්තත්, එපමණකින් ම ආර්‍ය නම් නොවේ. සියලු ප්‍රාණීන්ට හිංසා නො කිරීම නිසා ඒ හිංසා නො කරන තැනැත්තා ආර්‍ය යැයි කියනු ලැබේ.
මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළේ සතුන්ට හිංසා පීඩා කරන, සතුන් මරණ තැනැත්තාට ආර්‍ය යන නම නොගැළපෙන බවයි. ඔහු කිසිසේත් ම ආර්‍ය යන නමට සුදුසු වන්නේ නැති බවත්, යමෙක් සතුන්ට හිංසා පීඩා නොකොට, කරුණා මෛත්‍රී ආදී ගුණයෙන් යුතු ව වෙසේ නම්, ඒ ගති ඇත්තාට පමණක් ආර්‍ය නාමය ගැලපෙන බවත් ය.
මේ ගාථාව දේශනා කිරීමට නිමිති කර ගත් තැනැත්තා අරිය (ආර්‍ය) යන නම ඇත්තෙකි. ඔහුගේ ඒ නම තේරුම අනුව ව්‍යවහාර කරන්නා වූ නමක් නොව, තේරුම් රහිත ව නිකම් ම ආරෝපණය කරන ලද නමකි. ඒ නිසා ඒ බව බුදුරජාණන් වහන්සේ ඔහුට හොඳීන් වැටහෙනු පිණිස දේශනා කළ සේක. ඒ වැටහීම ඔහුට සෝවාන් වීමට උපකාර වන බව සලකා දේශනා කළ සේක.
අරිය
සෝතාපත්ති (සෝවාන්), සකෘදගාමී, අනාගාමී, රහත් යන සතරමඟ හා සතරඵල උපදවා ගත්තෝ අරිය (ආර්‍ය) නම ලබති. ආර්‍යයෝ අට දෙනෙකි. යටත් පිරිසෙයින් සෝවාන් මාර්ගයවත් උපදවා ගත් කල්හි එතැන සිට ආර්‍යත්වයට ඇතුළත් වෙති. “අනරීය” යනු පුහුදුන් සත්ත්වයෝ ය. ආර්‍යයෝ සත්ත්ව හිංසා දී පව් නො කරන්නාහ. කරුණා, මෛත්‍රී ආදී ගුණවලින් යුක්ත ය.
සියලු සත්ත්වයන් කෙරෙහි ඒ ගුණ පතුරවන්නෝ ය. යටත් පිරිසෙයින් සෝවාන් මඟඵල ලැබූ පමණින්වත් එම ජාතියෙහි රහත් නො වුවහොත් ඒ තැනැත්තා මේ කාම සුගති ලෝකයෙහි සත් වාරයකට වඩා නූපදින්නාහ! සත් වැනි භවයේ දී රහත් වී පිරිනිවෙන්නාහ. බුදු සසුන්හි වෙසෙන්නා වූ පාප ක්‍රියාවලින් වැළැකුණු උන්වහන්සේ සත්ත්ව හිංසාව පිණිස තිබෙන්නා වූ දඬු මුගුරු ඉවතලූවෝ වෙති. සත්ත්ව හිංසාවත් කරනවා තබා ඒවාට අවශ්‍ය වූ උපකරණ අතින්වත් ස්පර්ශ නොකරන්නෝ ය. එහෙයින් උන්වහන්සේ නිහීනදණ්ඩයෝ ය. එසේ ම උන්වහන්සේ සත්ත්ව හිංසාව පිණිස තිබෙන්නා වූ අවි ආවුධ ඉවතලූවෝ ය. ඒවා ස්පර්ශ කිරීම් මාත්‍රයක්වත් නොමැති නිසා උන්වහන්සේ නිහීන සත්ත්වයෝ ය. ආර්‍යයෝ ස්වභාවයෙන් ම පවට නො නැමෙන නිසා ලජ්ජාහු ය. නොවෙනස් වන්නා වූ සත්ත්ව කරුණාවෙන් යුතු හෙයින් දයාපන්නයෝ ය. මෙකී ගතිපැවතුම් ආර්‍යයන්ගේ ස්වභාවික ගතිපැවතුම් ය. එසේ ම සංසාරයේ සැරිසැරුම බිය වශයෙන් හා දුක් වශයෙන් තේරුම් ගත් යම් කෙනෙක් වෙත් නම්, ඔහු සසර දුක දුරලීම පිණිස කවදාහරි මාර්ගඵල ප්‍රත්‍යක්‍ෂ කොට, ආර්‍යභාවය ලැබිය යුතු ම ය. එසේ ආර්‍යභාවය ලබන්නට නම්, පළමුකොට පංචශීලයෙන්වත් සිල්වත් විය යුතු ය. පංචශීලයෙහි ගැනෙන සිකපද පහෙන් ප්‍රථම ශික්‍ෂාපදය “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන්න යි. මම සත්ත්ව ඝාතනයෙන් වැළකීමේ සිකපදය සමාදන් වෙමි යි දැඩි අධිෂ්ඨානයක පිහිටීම මේ සමාදානයෙන් සිදුවන නිසා, යම්කිසි සත්ත්වයකුගෙන් මොන තරම් ඉවසිය නොහැකි තත්ත්වයක් උද්ගත වී ආවත්, දිවි ගියත් තම දිවි පුදනවා මිස, තමන් සමාදන්වීම් වශයෙන් දැඩි ව අධිෂ්ඨාන කර ගත් සිකපදය කඩාබිඳ නොගෙන ආරක්‍ෂා කිරීම බුද්ධ ධර්මානුකූල ව ජීවත්වන්නා වූ බුද්ධ ශ්‍රාවකයන්ගේ ස්වභාවය බව බුදුරජාණන් වහන්සේ විසින් ම උගන්වා වදාළේ “ජීවිත හේතුම්පි මම සාවකා සික්ඛාපදං නවිතික්කමන්ති” සිය පණ ආරක්‍ෂා කර ගැනීම හේතු කොටගෙන වුව ද, මගේ නියම ශ්‍රාවකයෝ මා විසින් පණවන ලද සිකපදයක් ගණන් නොගෙන කඩා බිඳ නො දමන්නෝ යැයි පැහැදිලි කිරීම් වශයෙනි.
ඒ නිසා බෞද්ධයෝ “පරෙ පාණාතිපාතානො භවිස්සන්ති මයමෙත්ථ පාණාතිපාතා පටිවිරතා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො” “බුදුදහම පිළිනොගෙන වෙසෙන මිසදිටුවෝ ප්‍රාණඝාතය කරන්නෝ ය” බෞද්ධ වූ අපි සදාකල්හි ම ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්නෝ වන්නෙමු” යි ඉටාගෙන ක්‍රියා කළ යුතු බව දේශනා කළ සේක.
මිනිස් හෝ වේවා, තිරිසන් හෝ වේවා යම් ඒ කවර සත්ත්වයකුට වුවත්, තමන්ගේ ජීවිතයට වැඩි ප්‍රියමනාප වස්තුවක් වෙන නොමැති ය. උසස් ම ප්‍රියමනාප වස්තුව වන සිය ජීවිතය ආරක්‍ෂා කර ගැනීම පිණිස හැම සත්ත්වයකු ම නොකරන උත්සාහයක් නොමැත. කළ හැකි සෑම උත්සාහයක් ම කොට දිවි රැක ගැනීම එක ම බලාපොරොත්තුව වශයෙන් සැලකීම කාගේත් ස්වභාවය යි. යමෙක් තමන්ගේ ලාභයක් හෝ සැපතක් හෝ සලකා පර පණ නසන්නේ නම්, ඔහුට පරලෝ වශයෙන් මොන ම සැපතක්වත් ලැබෙන්නේ නැත.
පෙර මේ ශ්‍රී ලංකාවේ රජවරුන් විසින් මාඝාතය-සතුන් නො මරවයි සත්ත්ව ඝාතනය නීතියෙන් තහනම් කරන ලදී.
“අත්තානං උපමංකත්වා න හනෙය්‍ය න ඝාතයෙ”
යන වශයෙන් බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළේ තමන් උපමාවට ගෙන, සත්ත්ව හිංසාව හා ඝාතනය නො කළ යුතුවාක් මෙන් ම, අනුන් ලවා ද, නො කරවිය යුතු බව ය. යම් කිසිවකු තමන්ට කාගෙන් හෝ හිංසා පීඩා ලැබෙනවාට තමන් නො කැමැති වන්නාක් මෙන් ම, හැම සත්ත්වයෝමත් එසේ ම වන්නාහයි සිතා සත්ත්ව හිංසා, ඝාතනවලින් දුරුවිය යුතු යැයි දේශනා කළ සේක.
ප්‍රාණඝාතය කළා වූ අය එම අකුසල විපාකයෙන් මෙලොව ම නින්දා ලබති. පරලොව අපාගත වෙති. මිනිසත් බවක් ලැබුවත් මන්දායුෂ්ක වෙති. දුර්වර්ණ වෙති. බොහෝ ලෙඩදුක්වලින් පෙළෙන්නට සිදුවෙති. නිතොර ප්‍රියමනාප වස්තුවලින් වෙන්වන්නට සිදු වේ. තමන් කාටත් අප්‍රිය වේ. ප්‍රාණඝාතය වසල ධර්මයෙකැ යි වසල සූත්‍රයෙහි දී දේශනා කළ සේක. එබැවින් ප්‍රාණඝාතයෙන් ද, අනුන්ට හිංසා පීඩා කිරීමෙන් ද දුරු වී, සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පාවෙන් ක්‍රියා කොට, ලැබෙන්නා වූ පුණ්‍ය ශක්තියෙන් සෑම දෙනාට ම අමාමහ නිවන් සුව ලැබේවා.