ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ හැට වැනි සංවත්සරය නොවැම්බර් මස 28 වැනි දින සිට දෙසැම්බර් මස 02 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු රජගහ නුවර දී පැවති ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගි වූ තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහ රහතන් වහන්සේගෙන් අඛණ්ඩ ව පැවතෙන බෞද්ධ සම්ප්‍රදාය ථෙරවාදය නම් වෙයි. බුද්ධ දේශනය කිසිදු වෙනසකට බඳුන් නො කොට ඒ අයුරින් ම පවත්වාගෙන යෑම ථෙරවාදයේ අනන්‍යතා ලක්ෂණය යි. දෙවැනි ධර්ම සංගායනාවෙන් පසුව බෙදී ගිය අනෙක් බෞද්ධ සම්ප්‍රදාය මහායානය යි. මුළු බුද්ධ දේශනය යම් යම් වෙනස්කම්වලට බඳුන් කරමින් පවත්වාගෙන යෑම එහි දැකිය හැකි ප්‍රමුඛ ලක්ෂණය යි. මේ අනුව ථෙරවාදය හා මහායානය යනු බුදුදහමේ මහා ශාඛා දෙක වේ.
ථෙරවාදී සම්ප්‍රදාය තුළ බුදු, පසේබුදු, මහ රහත් යන තුන්තරා බෝධියෙන් එක් බෝධියක් තුළ සසර දුක් ප්‍රහාණය අපේක්ෂා කර සිටින අතර, මහායානිකයෝ බුදුරජාණන් වහන්සේ ළඟට බෝධිසත්ත්ව පරමාදර්ශනය ඉස්මතු කොට දක්වති. එසේ වුව ද පොදුවේ ගත් කල මෙම සම්ප්‍රදාය දෙකෙහි ම ඒකායන පරමාර්ථය සසර දුක් ප්‍රහීණ කිරීම බව පැහැදිලි ය. එකම ශාස්තෘවරයා පෙන්වා දුන් මඟ අදියර දෙකක් ඔස්සේ ගමන් කිරීමත් මේ තුළ පෙනෙයි.
එදා මෙදා තුර ථෙරවාදි හා මහායාන භික්ෂූන් වහන්සේ අතර පවතින්නේ අත්‍යන්ත සමීප සබඳතාවක් හා හිතෛශීභාවයකි. එකම බුද්ධ ශ්‍රාවක පරපුරකට අයත් මෙම කොටස් දෙක ම සම්බුදු සසුනේ චිර පැවැත්ම හා ව්‍යාප්තිය වෙනුවෙන් සිදු කරනුයේ ඉතා උසස් සේවාවකි. පුද පූජා, වත් පිළිවෙත් දේශන මෙන්ම බුදු දහමේ දාර්ශනික අගය ලොවට පසක් කරලීමට උන්වහන්සේ දෙපිරිස ම ඍජු මාර්ගෝපදේශකත්වයක් දක්වති.
ලොව පුරා විසිරී සිටින ථෙරවාද හා මහායාන අංශ දෙකට ම අයත් සෑම බෞද්ධ සම්ප්‍රදායයක් ම නියෝජනය කරන සියලු යතිවරයන් වහන්සේ ඒකරාශි කිරීමේ උදාර පරමාර්ථයෙන් යුතු ව ඉතා ශක්තිමත් සංවිධානයක් ලෙස ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනය ආරම්භ කළේ වර්ෂ 1966 දී ශ්‍රී ලංකාවේ දී ය. සමාරම්භක සභාපති පදවිය ශෝභාමත් කළේ කළුකොඳයාවේ පඤ්ඤාසේකර මහා නාහිමි වන අතර, ලේකම් පදවිය ශෝභාමත් කළේ පිඹුරේ සෝරත නාහිමි ය.
ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ සැසිවාර ගණනාවක් ම එදාමෙදා තුර නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, හොංකොං, තායිලන්තය, ජර්මනිය ආදී රටවල පවත්වා තිබේ. මෙවැනි ජාත්‍යන්තර සම්මේලනයක් ලංකාවේ පැවැත්වීම තරමක අසීරු කාර්යයක් වුවත්, එක් පැත්තකින් ලංකාව පිළිබඳ ඇතැම් රටවල වැරැදි රූප රාමු මවාගෙන සිටින අයට අප රට පිළිබඳ සමස්ත ලෝකයේ ම අවධානය දිනා ගැනීමට මෙය ඉතා අනගි අවස්ථාවක් බවට නිතැතින් ම පත්වනු ඇත. මේ සඳහා රජයේ පාර්ශ්වයෙන් ලැබෙන සහයෝගය ඉතා ඉහළ තැනක් ගනියි.
මෙම සම්මේලනයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය තෝරා ගැනීම ද ඉතා අගනේ ය. එහි නිර්මාතෘවර, තායිවානයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිගේ උදාර පරමාර්ථය වූයේ ඉපැරැණි දඹදිව නාලන්දා විශ්වවිද්‍යාලයට ජීවය ගෙනදිය හැකි යම් ආයතනයක් ශ්‍රී ලංකාවේ බිහි කිරීම යි. එකී පරමාර්ථයෙහි සාර්ථක පියවර රැසක් එම ආයතනය හරහා ඉදිරියට ගමන් කොට තිබේ. ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ වත්මන් ලේකම් මාඉටිපේ විමලසාර නාහිමි මෙම සම්මේලනය පිළිබඳ අදහස් පළකොට තිබෙන්නේ ලෝකයේ බෞද්ධ ප්‍රබෝධය වඩාත් වර්ධනය වී ඇත්තේ අන්‍යෝන්‍ය අවබෝධය සහ ඒ තුළින් ගොඩනැඟෙන සුහදත්වය මත බවයි. එබැවින් ලෝකයේ අනෙක් බෞද්ධ රටවල භික්ෂුන් වහන්සේ අතර මුණගැසීම් සාකච්ඡා කිරීම් අන්‍යෝන්‍ය අවබෝධයට ඉතාම වැදගත් බව උන්වහන්සේ පෙන්වා දෙති.
ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනය සඳහා බෞද්ධ රටවල නියෝජිතයෝ නොවැම්බර් මස 27 වැනි දා වන විට ශ්‍රී ලංකාවට සැපත්වීමට නියමිත ය. සමාරම්භක සැසිය 28 වැනි දා පෙරවරුවේ ද, එදින සවස 11 වැනි මහා සභාව දෙවැනි විධායක සභාව ද, 29 වැනි දා කැලණිය රාජමහා විහාරයේ දී පිළිගැනීමේ උළෙල ද, එදින පස්වරුවේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී ප්‍රධාන සම්මන්ත්‍රණය ද පැවැත්වේ. 30 වැනි දා අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී සහ දෙසැම්බර් මස 01 වැනි දා මහනුවර ශ්‍රී දළදා මාලිගයේ දී ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් විශේෂ ආශීර්වාද පූජා ද සිදු කරයි.