ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස බෞද්ධ දර්ශනයමමත්වයේ මුළාව බිඳිනආරම්මණ න්‍යාය
සූවිසි ප්‍රත්‍ය මහා පට්ඨාන න්‍යාය 03

මමත්වයේ මුළාව බිඳිනආරම්මණ න්‍යාය

by Thanushika
November 24, 2026 12:47 am 0 comment

බුදුදහමේ ගැඹුරු ම හරය පවතින්නේ සම්මුතිය විනිවිද දැක පරමාර්ථය ස්පර්ශ කිරීම තුළ ය. අප ලෝක සම්මුතියෙන් “මම”, “මගේ ස්වාමියා”, “මගේ බිරිඳ”, “පුද්ගලයා” හෝ “සත්ත්වයා” කියා හඳුන්වනු ලබන්නේ සැබවින් ම පවතින සජීවී පුද්ගලයන් නොවේ. අභිධර්මයට අනුව ජීවිතය යනු පරමාර්ථ ධර්මයන්ගේ එකතුවක් පමණි.

පරමාර්ථ ධර්ම හතරකි. එනම් චිත්ත, චෛතසික, රූප සහ නිර්වාණය යි. මෙයින් සංසාරික ජීවිතයට, එනම් අපගේ මේ පැවැත්මට අදාළ වන්නේ මුල් පරමාර්ථ තුන පමණි.

චිත්ත (සිත): අරමුණු දැන ගන්නා මූලික ස්වභාවය යි.

චෛතසික: සිත සමඟ එකට උපදින, එකට නිරුද්ධ වන, සිත විවිධ පැතිවලට මෙහෙයවන සිතුවිලි (ලෝභ, ද්වේෂ, මෝහ, සද්ධා, කරුණා, පඤ්ඤා ආදී 52ක්).

රූප: සතර මහා භූතයන්ගෙන් සැදුම් ලත්, අපට පෙනෙන, දැනෙන මේ භෞතික ශරීරය සහ බාහිර ලෝකය යි.

මේ චිත්ත, චෛතසික සහ රූප යන ධර්මතා නිරන්තරයෙන් ම එකිනෙකට ප්‍රත්‍ය වෙමින් ගලා යන ගඟක් මෙන් ක්‍රියාත්මක වේ. මේ හැරෙන්නට මෙතැන ශරීරය ඇතුළත ඉඳගෙන මේවා පාලනය කරන, මෙහෙයවන කිසිදු ස්ථිර “පුද්ගලයෙක්” හෝ වෙනස් නොවන “ආත්මයක්” සහමුලින් ම ශුන්‍ය බව පට්ඨාන න්‍යාය අපට පෙන්වා දෙයි.

අරමුණ අනුව සියල්ල වෙනස් වීම (අනිත්‍ය ලක්ෂණය)

පට්ඨාන ආරම්මණ න්‍යායේ ඇති අතිශය විශ්මයජනක සහ ප්‍රායෝගිකම පැත්ත වන්නේ බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් හෝ ලැබෙන අරමුණ (ආරම්මණය) වෙනස් වන ක්ෂණයෙන් ම, ඒ මත උපදින සිතත්, සිත සමඟ යෙදෙන සියලු ම චෛතසිකයන් සහ ශරීරයේ රූප ශක්තීනුත් ඒ මොහොතේ ම සම්පූර්ණයෙන් ම වෙනසකට, පෙරළියකට භාජනය වීමයි.

මෙය පැහැදිලි කර ගැනීමට අප අපූරු ප්‍රායෝගික උදාහරණයක් ගනිමු.

උපාසක මහතකු පන්සලේ බෝධිය අසලට වී ඉතාමත් ශ්‍රද්ධාවෙන් බුදුරුව දෙස බලා සිටී යැයි සිතමු. ඒ මොහොතේ ඔහුට ලැබෙන්නේ ප්‍රසන්න බුද්ධාලම්බන රූපයකි. ඒ අරමුණ නිසා ඔහුගේ සිත තුළ උපදින්නේ මහා කුසල් සිතකි. ඒ සිත සමඟ ශ්‍රද්ධාව, සතිය, ප්‍රඥාව, මෙත්තාව වැනි සෝභන චෛතසික ධර්මයන් එකට ම උපදී. ඒ උතුම් සිතුවිලි නිසා ඔහුගේ මොළයෙන් සහ හදවතින් නිකුත් වන චිත්තජ රූප ශක්තීන් ඉතාමත් ප්‍රසන්න ය. ඔහුගේ මුහුණ නිවුණු, ශාන්ත ස්වභාවයක් ගනී. ශරීරයේ ලේ ධාතුව පවා පිරිසිදු වේ.

නමුත්, අවාසනාවකට මෙන් ඊළඟ තත්පරයේ දී, ඔහු මීට පෙර අතිශයින් ම වෛර කළ, තමාගේ සතුරකු ඒ බෝධිය අසලට පැමිණෙයි. දැන් අරමුණ ක්ෂණයකින් මාරු විය. ප්‍රසන්න බුදුරුව වෙනුවට සතුරාගේ රූපය නමැති අරමුණ ඇසට වැදුණි. සිදු වූයේ කුමක් ද? පෙර පැවති මහා කුසල් සිත, ශ්‍රද්ධා චෛතසික, මුහුණේ තිබූ ශාන්ත ප්‍රසන්න රූප ධාතු සියල්ල ම එකම තත්පරයකින් සහමුලින් ම නිරුද්ධ වී විනාශ වී යාමයි. ඒ වෙනුවට දැන් උපදින්නේ ද්වේෂ සහගත අකුසල් සිතකි. ඒ සමඟ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පටිඝය වැනි කිලිටි චෛතසික උපදී. ක්ෂණයකින් මුහුණ කළු වී, දෑස් රතු වී, හෘද ස්පන්දනය වේගවත් වී, රළු රූප ධාතූන් ශරීරය පුරා විහිදී යයි.

බලන්න, අරමුණ වෙනස්වීමත් සමඟ ම මුළු පරමාර්ථ ව්‍යුහය ම (සිත, චෛතසික, රූප) උඩුයටිකුරු වූ හැටි. එසේ නම්, මෙතැන “මම, මාගේ, මාගේ ආත්මය” කියා අප ස්ථිර ව අල්ලාගෙන සිටි යමක් වී නම්, ඒ සියල්ල ම අරමුණ වෙනස් වීමත් සමඟ ම වෙනස් වී, විනාශ වී හමාර ය. ඊළඟ මොහොතේ තවත් අරමුණක් එන විට නැවතත් සිත, චෛතසික, රූප සියල්ල අලුතින් ම උපදී. මෙයින් මනාව ඔප්පු වන්නේ ජීවිතයේ කිසිදු ස්ථිර බවක් නැති බවත්, සියල්ල ක්ෂණික ව ඉපිද, ක්ෂණික ව නිරුද්ධ වන මහා අනිත්‍ය පරම්පරාවක් පමණක් බවත් ය.

වෙනස් වන තැන සැපක් නැත (දුක් ලක්ෂණය)

ඉහත දැක්වූ පරිදි, අරමුණු අනුව සිත, චෛතසික සහ රූප නිරන්තරයෙන් ම පෙරළෙමින්, වෙනස් වෙමින්, ක්ෂණික ව බිඳී යන්නේ නම්, එවැනි අස්ථිර, චලනය වන තැනක සැබෑ සැපයක් පැවතිය හැකි ද? ලෝකයා සැපය කියා වරදවා වටහාගෙන සිටින්නේ තමන් කැමති අරමුණක් හමු වූ විට සිතේ උපදින තාවකාලික ලෝභ සහගත හෝ සුඛ වේදනාවකට ය. නමුත් ඒ අරමුණ නැති වූ සැණින් හෝ අරමුණ වෙනස් වූ සැණින් හෝ ඒ සැපය ද අතුරුදන් වේ.

නිරන්තරයෙන් ම බාහිර අරමුණුවලට ගැති වෙමින්, අරමුණු අනුව කම්පනය වෙමින්, ඉපදෙමින් සහ මියයමින් පවතින මේ නාම-රූප ක්‍රියාවලිය මහා පීඩාවකි, බයකි. අප සතුටින් සිටිනවා ද? දුකින් සිටිනවා ද? යන්න තීරණය කරන්නේ අප නොව, බාහිරින් අපට හමුවන අරමුණු විසිනි. අරමුණ වෙනස් වන සෑම වාරයක් පාසා ම අපට සතුට සහ දුක මාරුවෙන් මාරුවට විඳීන්නට සිදු වේ. තමාට පාලනයක් නොමැති ව, මොහොතක් පාසා ඇති වෙමින්, නැති වෙමින් යන ධර්මතාවයන්ගෙන් ගහන මේ ජීවිතය තුළ කිසිදු ස්ථිර සහනයක් හෝ සැපයක් හෝ නැති බව වැටහීම දුක් ලක්ෂණය (යදනිච්චං තං දුක්ඛං) අවබෝධ කර ගැනීමයි.

තමාට අවශ්‍ය පරිදි සිදුනොවීම (අනාත්ම ලක්ෂණය)

පට්ඨාන ඇසින් අප දකින ඊළඟ වැදගත්ම සත්‍ය නම්, මේ අරමුණු අනුව සිදුවන වෙනස් වීම් කිසිවක් අපට අවශ්‍ය ආකාරයට නවතා දැමීමට හෝ අපට රිසි පරිදි පාලනය කිරීමට හෝ අපට කිසිදු හැකියාවක් නොමැති බවයි.

අපට කිසිසේත් ම මෙසේ අණ කළ නොහැකිය. “මගේ සිත සැමවිට ම සතුටින් ම පැවතිය යුතුයි, මට කිසිම දිනක අකමැති හෝ අප්‍රියජනක හෝ ශබ්ද ඇසිය යුතු නැහැ, මගේ ශරීරයේ රූප ධාතූන් සැමදා තරුණ ව, ලස්සනට පැවතිය යුතුයි, මගේ මුහුණ කේන්තියෙන් විරූපී විය යුතු නැහැ.”

අප කොතරම් ප්‍රාර්ථනා කළත්, අකමැති අරමුණක් කනට හෝ ඇසට හෝ ලැබුණු සැණින්, අපගේ අණ කිරීම්වලට හෝ ලෝකයේ කිසිදු දෙවියකුගේ බලපෑමකට හෝ අවනත නොවී, පට්ඨාන න්‍යායට අනුව ද්වේෂ සහගත සිත සහ විරූපී රූප ධාතු උපදී.

සියල්ල සිදුවන්නේ හේතු-ඵල ධර්මතාවට මිස අපට අවශ්‍ය පරිදි නොවේ. හේතු ඇති කල්හි උපදී, හේතු නැති කල්හි නිරුද්ධ වේ. තමාගේ වසඟයේ පැවැත්විය නොහැකි, තමාට පාලනය කළ නොහැකි, තමාගේ කියා අයිති කර ගත නොහැකි මේ අනාරක්ෂිත ස්වභාවය ම පට්ඨාන ඇසින් දකින අනාත්ම ලක්ෂණය යි (යං දුක්ඛං තදනත්තා).

ත්‍රිලක්ෂණය මතු කර ගන්නා  පහසුම ක්‍රමය

මේ අනුව සිහිනුවණින් යුතු ව විමසා බලන කළ අපට පැහැදිලි වන්නේ, පට්ඨාන මහා ප්‍රකරණයේ එන “ආරම්මණ ප්‍රත්‍ය” යනු හුදෙක් පාඩම් කර විභාග සමත් වීමට හෝ ශබ්ද නඟා සජ්ඣායනා කිරීමට හෝ පමණක් සීමා වූ විෂයය පථයක් නොවන බවයි. එය අප ජීවත් වන සෑම තත්පරයක දී ම තමා තුළින් ම අත්දැකිය හැකි, තමා තුළ ක්‍රියාත්මක වන සජීවී යථාර්ථයකි.

දෛනික ජීවිතයේ ඇසෙන, දකින දේ දෙස බලමින්, අරමුණට අනුව සිත කය වෙනස් වන ආකාරය නිරීක්ෂණය කිරීම තුළින් ත්‍රිලක්ෂණය (අනිත්‍ය, දුක්, අනාත්ම) ඉතාමත් පහසුවෙන් සහ ඍජුව ම මතු කර ගැනීමට මින් මඟ පෑදේ.

පට්ඨාන න්‍යාය තුළින් තමා තුළ සිදුවන මේ හේතු ඵල ක්‍රියාවලිය දකින ශ්‍රාවකයා, බාහිර අරමුණු නිසා උපදින සිත් දෙස “මම, මගේ” කියා පුද්ගලික ව නොගෙන උපේක්ෂාවෙන් බලන්නට පුරුදු වේ. ඇසට රූපයක් ගැටෙන විට “මම බලමි” යන මුළාව වෙනුවට “රූපාරම්මණය නිසා සිතක් උපන්නා පමණි” කියා දැකීමට පට්ඨාන ප්‍රඥාව උපකාරී වේ. මේ තුළින් සිතේ පවතින දැඩි “මමත්වයේ මුළාව“ සහමුලින් ම බිඳ වැටී, සැබෑ ධර්ම අවබෝධය (සම්මා දිට්ඨිය) උදා වී, සසර දුක කෙළවර කරන, පරම ශාන්ත නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට මහා පට්ඨාන ප්‍රකරණය හැදෑරීම මෙලෙස මහෝපකාරී වන බව නිරවුල්ව ම විද්‍යාමාන වේ.

You may also like

Leave a Comment