ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස බෞද්ධ දර්ශනයසර්වාකාරයෙන් පිරිපුන් ජීවිතය

සර්වාකාරයෙන් පිරිපුන් ජීවිතය

by Thanushika
November 24, 2026 12:30 am 0 comment

බුදු දහම අනුව සාර්ථක ජීවිතයක් දෙයාකාරයකින් පිරිපුන් විය යුතු ය.

ඒ සමන්තපාසාදික හාසබ්බාකාරපරිපුණ්ණ යනුවෙනි.

එනම්, ප්‍රසාදයට පත් වීම හා ආධ්‍යාත්මික, භෞතිකමය වශයෙන් පරිපූර්ණ වීම හෙවත් සර්වාකාරයෙන් පරිපූර්ණ වීමයි. ඒ පිළිබඳ අංගුත්තර නිකායේ දසක නිපාතයේ විජජා සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

සර්වාකාරයෙන් පරිපූර්ණ තත්ත්වයට පත්වීමට කරුණු දහයක් ධර්මයෙහි විග්‍රහ වේ.

සද්ධාව නොමැති නම් කුසල කර්ම කිරීමට පුද්ගලයා නොපෙළඹේ. එය “සද්ධා මූලිකා සබ්බේපි කුසල ධමමා’ යනුවෙන් දක්වා ඇත. එනම් සියලු කුසල කර්මයන්ට සද්ධාව මුල් වේ’ යන්නයි. එවිට ඔහු තුනුරුවන් කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරයි. එකී විශ්වාසය නිසා රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයෙන් යුතුව යි. එකී ප්‍රසාදය නිසා තුනුරුවන්ගේ ඇසුර පතයි. තුනුරුවන් සරණ යාම නිසා ධර්මධර වෙයි.

ධර්මධර, ධර්මයට සමීප පුද්ගලයා ‘දස්සන පසන්න’ හෙවත් දැකීමෙන් පැහැදීම හා ‘ලුඛ පසන්න’ හෙවත් දැඩි වෙහෙසකර, ප්‍රතිපත්තිගරුක හැසිරීම් ඇති පුද්ගලයන්ට නොපහදී, අමූලිකා ශ්‍රද්ධා සදාකාලික ව නොපවතින බව අවබෝධ කර ගනී. ‘ධම්ම පසන්න’ නම් වූ ධර්මය කෙරෙහි පමණක් පැහැදී ධර්මයෙහි ම ඇලේ. ධර්මය තමාගේ මෙලොව, පරලොව පිහිටට හේතුවන බව ම විශ්වාස කරයි. එම ආකාරවතී ශ්‍රද්ධාව නිසා ම සද්ධර්මය ම පිහිට කොට තම ජීවිතය සකසා ගනී.

නමුදු කෙනකු තුළ සද්ධාව තිබූ පමණින් ම තම විමුක්තිය ඒ තුළින් පමණක් ලැබිය නොහැකි ය.

ඒ සඳහා සීලය ද අවශ්‍ය වේ. සීලය ජීවිතයේ පදනම විය යුත්තේ ද ඒ නිසා ය. ‘සීලේ පතිට්ඨාය නරො සපඤෙඤා්’

යනුවෙන් ගම්‍ය වන්නේ එකී අදහසයි. සීලය යනු සංවරය යි. ඒ කායික මානසික සංවරය යි. යමකු සිල්වත් වූ විට අයහපත් ක්‍රියා සහ අයහපත් වචන සමාජගත නොකරයි. එනම් කය, වචනය උපයෝගී කර ගෙන සිත තුළ පැන නඟින ලෝභ, ද්වේශ ආදී අකුසල මුල් ආවේග ලෙස ක්‍රියාවට ලක් නොකරයි.

විශේෂයෙන් සතර සංවර සීලය පුද්ගලයා ප්‍රසාදයට පත් කරයි. එහි පළමු අංගය වන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුළින් පුද්ගලයා ප්‍රාණඝාතාදී දස අකුසලයෙන් මුදයි.

ඉන්ද්‍රිය සංවර සීලය හෙවත් අරමුණු හමුවේ කෙලෙස් අවුස්සා නොගැනීම නිසා ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙස් සිත තුළ හටගැනීම තාවකාලික ව යටපත් කරයි.

ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලයෙන් චීවර, සේනාසනා දී ප්‍රත්‍ය කෙරෙහි බැඳීමෙන් තොර ව ඒවා පරිහරණය කිරීමත්, ගිහි ශ්‍රාවකයෙක් නම් ආහාර, ඇඳුම් පැළඳුම් ආදිය අවශ්‍යතාවට පමණක් පරිහරණය කිරීමටත් පෙළඹෙයි.

ආජීව පාරිශුද්ධ සීලය හෙවත් යහපත් දිවි පැවැත්ම ආත්ම විමුක්තිය ලබා ගැනීමට හේතුවන කරුණු කෙරෙහි පුද්ගලයා යොමු කරවයි.

නමුදු සිල්වත් වූ පුද්ගලයකුට වුව ද ධර්මයට අනුව ප්‍රසාදයට හා පරිපූර්ණ භාවයට පත්වීමට නොහැකි ය. ඒ සඳහා බහුශ්‍රැත භාවය ද විය යුතු ය. ‘බාහුසච්ච’ යනු එයයි. ‘බොහෝ ඇසූ පිරූ’ කෙනකු විය යුතු ය. එය ‘සවණානුත්තරි’ උතුම් කරුණක් ලෙස සලකන්නේ ඒ නිසා ය.

එලෙස ම පරිපූර්ණ භාවයට පත්වීමට ඉහත කාරණාවලට අමතර ව ධම්මකථික භාවය ද වැදගත් වේ. මෙයින් අදහස් කරන්නේ ඉගෙන ගත් ධර්මය තව කෙනකුට කියාදීමේ හැකියාවයි. මෙය ද යහපත් සමාජයක් ගොඩනැඟීමට මෙන් ම තමා කෙරෙහි බොහෝ අයගේ ප්‍රසාදයට ලක් වීමට ද හේතු වේ.

සැම දෙනා අතර ප්‍රසාදයට පත්වීමට අවශ්‍ය වන අනෙක් කරුණ වන්නේ ‘පරියාවචර’ භාවය යි.

එනම් ඒ ඒ අංශවල ප්‍රාගුණ්‍ය වූ පිරිස් තමා ළඟින් ආශ්‍රය කරන්නකු වීමයි. එය කල්‍යාණ මිත්‍ර සම්පත්තිය යි.

ධර්මයට අනුව ඉහත සෑම කරුණක් ම සම්පූර්ණ වුව විශාරද භාවය ද කෙනකු ප්‍රසාදයට පත් කිරීමට අත්‍යවශ්‍ය කාරණයකි. ඒ ඒ විෂයයන්හි විශාරද බව තමන් තුළ නොමැති නම්, ඕනෑම අයකුට එකී පුද්ගලයාට අභියෝග කළ හැකි ය. ඒ නිසා විශාරද බැවින් යුතු වීම ද වැදගත් වේ.

විනයගරුක බව ද පුද්ගලයකු ප්‍රසාදයට පත් කරවයි. ඕනෑම පුද්ගලයකුගේ චරිතය ශෝභමාන වන්නේ විනයධර ව කටයුතු කරන්නේ නම් පමණි.

ශ්‍රද්ධා, සීල, සුත ආදී මේ කාරණාවලින් පරිපූර්ණ වූ පමණින් ම ද පුද්ගලයා අංග සම්පූර්ණත්වයට පත් නොවේ. එය තාවකාලික පරිපූර්ණ භාවයට පත් කිරීමකි. ඒ අනුව ආර්ය ප්‍රතිපදාව තුළ පරිපූර්ණ පුද්ගලයකු වීමට නම්, සමාධියට හේතු වන කාරණාවල ද යෙදිය යුතු ය.

සමාධි භාවනාව හෙවත් සමථ භාවනාව තුළින් පුබ්බේනිවාසානුස්සති හෙවත් පෙර උපදින ස්ථාන දැකීමේ නුවණ හා චුතූපපාත ඥානය හෙවත් නැවත උපදින භවය ගැන දැකීමේ නුවණ ලබා ගැනීමට හේතු වන සිත දියුණු කිරීම ද කෙනකු ප්‍රසාදයට පත් වීමට හේතු වේ. එසේ නමුදු සියලු ආකාරයෙන් ම පරිපූර්ණ පුද්ගලයකු වීමට අවශ්‍ය වන්නේ සියලු අනුසය කෙලෙස් සහමුලින් ම දුරුකරන ලද රහතන් වහන්සේ නමක් වීමයි. ඒ සඳහා ලබා ගත යුතු ඥානය ආසවක්ඛය ඥානය වේ.

මෙසේ චිත්ත විමුත්තියෙන්, ප්‍රඥා විමුත්තියෙන් යුතු, විශිෂ්ට ඥානයෙන් පිරිපුන් තැනැත්තා සමන්තපාසාදික හෙවත් සැමගේ ප්‍රසාදයටත්, සබ්බකාරාපරිපුණ්ණ හෙවත් සියලු ආකාරයේ ආධ්‍යාත්මික භෞතික දෙඅංශයෙන් ම පරිපූර්ණ පුද්ගලයකු ද වන්නේ ය. ඔහු සර්වාකාරයෙන් පරිපූර්ණ වූ පුද්ගලයෙකි.

You may also like

Leave a Comment