ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස විශේෂාංගදෙව් බඹුන් නර පුද දෙන නාගානන්ද පින්බිමේ සම්බුද්ධරාජ මන්දිරය

දෙව් බඹුන් නර පුද දෙන නාගානන්ද පින්බිමේ සම්බුද්ධරාජ මන්දිරය

by Thanushika
November 24, 2026 12:40 am 0 comment

කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ඉදිකර ඇති දහසක් සම්බුද්ධ මන්දිරය ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අපූරු නිමැවුමකි.

මහල් සතරකින් යුතු සම්බුද්ධ මන්දිරයේ ඉහළින් ම වැඩ සිටින්නේ දම්සක් මුද්‍රාවෙන් යුතු, අඩි හතළිහක් උසැති, ටොන් 50ක් බරැති සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. උන්වහන්සේ ඉන්දියාවේ සාරානාත් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ප්‍රතිනිර්මාණයකි. ලෝකඩවලින් නිමවා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ තායිවානයේ උපාසිකාවක් පෞද්ගලික වියදමින් ඉදිකර ලංකාවට පරිත්‍යාග කර ඇත. බුදුරුව වෙතින් නිබඳ ව විහිදෙන මහා කරුණා සමාපත්ති සුවය ගව් ගණන් දුර ඇති ගම්දනව් පුරා විහිදෙන සේ නිර්මාණය කිරීම ආශ්චර්ය ය. පළමු මහල පුරාවිද්‍යා ප්‍රදර්ශන, ධර්ම දේශනා ආදියට වෙන් ව ඇත. දෙවැනි මහල විශේෂිත ය. ඒ අපගේ සම්මා සම්බුදු රදුන්ගේ ප්‍රතිමා වහන්සේ දහසක් වැඩ සිටීමයි. තෙවැනි මහල නිමවා ඇත්තේ තායිවානයේ දී තනා නිම කළ විශාල බුද්ධ ප්‍රතිමා සහ බෝසත් ප්‍රතිමා තුනක් වන්දනාමානයට තබමිනි. සතරවැනි මහල ගෞතම බුදුරදුන්ගේ ධාතුන් වහන්සේ තැන්පත් කර වන්දනාවට සුදුසු අයුරින් නිමවා ඇත.

මෙම රමණීය මාලිගය වර්ග අඩි 60,000ක භූමි භාගයක පිහිටා තිබීම විශේෂත්වයකි.

ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දෑතින් නිමැ වූ මේ සම්බුද්ධ රාජ මාලිගයේ මහල් හතර ම අලංකාර ලියවැල්, ලී කැටයම්, මූර්ති, පාරම්පරික රටා මෝස්තරවලින් සුසැදි ය. මහල් හතර ම කුඩා විදුලි බුබුළු ලක්ෂයකින් ආලෝකවත් වේ. ගෘහ නිර්මාණ ශිල්පීන් 75 දෙනකුගේ අවුරුදු දෙක හමාරක මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස මෙම මාලිගය මහජනතාවගේ වන්දනාමානයට මේ මස 28 වැනි දින විවෘත වනු ඇත.

දහසක් සම්බුද්ධ මන්දිරය ඉදිකොට ඇති මෙම මානෙල්වත්ත විහාර භූමිය ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පුණ්‍ය භූමියකි. වංශකතාවලට අනුව ගෞතම බුදුරදුන් කැලණිය පුරවරයට වැඩම කළ අවස්ථාවේ දී මණිඅක්ඛිත නා රජුන් විසින් භාග්‍යවතුන් වහන්සේ වෙත පූජා කරන ලද භූමි භාගයකට මේ පුණ්‍ය භූමිය ද ඇතුළත් බවට සාක්ෂි ඇත. එවකට මෙම භූමිය හඳුන්වා ඇත්තේ ‘රජවත්ත’ නමිනි.

 

නයනා නිල්මිණි

You may also like

Leave a Comment