ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස විශේෂාංගපත්තර මහගෙදර සියවසක් සැමරුමට සෙත් පැතුම්

පත්තර මහගෙදර සියවසක් සැමරුමට සෙත් පැතුම්

by Thanushika
November 24, 2026 12:30 am 0 comment

උත්තුංග සමාජ මෙහෙවර ‍ශංසනීයයි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි

නිදහස් අරගලයේ පුරෝගාමියකු වූ ශ්‍රීමත් ඩී. ආර්. විජයවර්ධන මැතිතුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව බිහිවූ ලේක්හවුස් ආයතනය මෙරට ජාතික, ආගමික හා සංස්කෘතික පුනර්ජීවනය උදෙසා ශතවර්ෂයක කාලයක් පුරා ඉටුකළ මෙහෙවර ප්‍රශංසාර්භ ය. විශේෂයෙන් යටත්විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම උදෙසා ජාතික ප්‍රබෝධයක් ජනිත කරවීමත්, පිරිහී ගිය බෞද්ධ ආගමික හා සමාජීය උරුමයන් පුනර්ජීවනයෙහිලාත් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් සිදු කර ඇති සේවය සදානුස්මරණීය වේ.

මෙරට ඓතිහාසික සංස්කෘතියේ අනන්‍යතා මනාව හඳුනා ගනිමින්, බෞද්ධ දාර්ශනික චින්තාවන්ගෙන් පොදු ජන මනස විකසිත කිරීමේ අරමුණු පෙරදැරි කර ගනිමින් ‘බුදුසරණ’ බෞද්ධ පුවත්පත ඇතුළු විවිධ බෞද්ධ සංස්කෘතික මංගල්‍යයන් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ අතිරේක නිකුත් කරමින් ශාසන චිරස්ථිතිය ද අරමුණු කර ගනිමින් සිදුකරන මහාර්ඝ සේවය සැමගේ ගෞරව බහුමානයට පාත්‍ර වන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමු.

සියවසක ප්‍රෞඪ ඉතිහාසයක් අනුස්මරණය කරන මෙම සුවිශේෂී අවස්ථාවේ දී ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ප්‍රමුඛ මෙම ආයතනයේ ආයතනාභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන අතර ම, වර්තමාන සභාපතිතුමන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයටත් එකී උත්තුංග සමාජ මෙහෙවරෙහි තවදුරටත් අඛණ්ඩ ව ව්‍යාවෘත වීමට රත්නත්‍රයේ ආශීර්වාදයෙන් ශක්තිය, ධෛර්යය සැලසේවායි ආශිංසනය කරම්හ.

ජාතික වීරයකුගේ අසහාය නිර්මාණයක්

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක
ආචාර්ය අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහ නාහිමි

අප රටේ පත්තර මහගෙදර නමින් හඳුන්වනු ලබන එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය) සිය ශත සංවත්සරය සපිරීම නිමිත්තෙන් ආගමික වැඩසටහන් රාශියක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් අප බෙහෙවින් සතුටට පත්වන අතර, එම ආයතනය මඟින් නිකුත් කෙරෙන ‘බුදුසරණ’ බෞද්ධ පුවත්පත වෙත මෙම සියවස සැමරීම නිමිත්තෙන් සුභාශිංසන පණිවිඩයක් එක්කිරීමට ලැබීම ද අපගේ භාග්‍යයක් සේ සලකන්නෙමු.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් මුදාගෙන, නිදහස දිනා ගැනීමේ ජාතික ව්‍යාපාරය උදෙසා අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් කටයුතු කළ ශ්‍රේෂ්ඨ ජාතික වීරවරයකු වන ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් විසින් ආරම්භ කරන ලද ලේක්හවුස් ආයතනය ජාතික නිදහසේ පණිවිඩය සමස්ත රටවැසියා අතරට ගෙනයෑම සඳහා සිදු කරනු ලැබූ ඉතිහාසගත මෙහෙවර සදානුස්මරණීය වේ.

එමෙන්ම, නිදහස් සටනට මෙන්ම සම්බුද්ධ ශාසනයේ හා බෞද්ධ සංස්කෘතියේ පුනර්ජීවනය උදෙසා ලේක්හවුස් ආයතනය එදා මෙදාතුර ඉටු කළ මෙහෙවර අතිවිශිෂ්ට වේ.

භාසම්පන්න අනාගතයකට ධෛර්යය ලැබේවා

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමි

ලක්දිව පත්‍ර කලාවේ මහගෙදර යන නාමයෙන් විරුදාවලිය ලත් ලේක්හවුස් ආයතනය මඟින් එදා මෙදාතුර ලක්දිව සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා පැවැත්ම, රටේ ආර්ථික, සමාජීය, දේශපාලන ස්ථාවරත්වය ගොඩනැංවීම සඳහා සිදු කළ මෙහෙවර ඉතා ප්‍රශංසනීය ය. ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘවර ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් දුර දක්නා නුවණින් යුතු ව ඇරඹි මෙම පත්‍ර කලාව සඳහා එකල ජාතික ව්‍යාපාරය තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ පැවිදි, ගිහි ප්‍රභූන්, සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් ජනතාව එකතු කර ගැනීම තුළ එතුමාගේ පරම අභිලාසය මැනවින් පැහැදිලි වේ.

සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත්, ජන්ම භූමියත්, සංස්කෘතික උරුමයත්, ජාතික සමඟියත් ශක්තිමත් වූ තැන ලක්දිව ස්වාධීනත්වය හා ස්ථාවරත්වය ගොඩනැඟෙන බව තේරුම් ගත් ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ඊට අදාළ ව එම පත්‍ර කලාව සෑම අංශයකින් ම පෝෂණය කිරීමට කටයුතු කළේ ය.

පුවත්පත්වල අන්තර්ගතය සකස් කිරීමේ දී අතිපූජ්‍ය පැලෑනේ ශ්‍රී වජිරඤාණ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කටයුතු කිරීමට ක්‍රියා කිරීම ඒ අතර සුවිශේෂී ය.

‘බුදුසරණ’ පුවත්පත මුද්‍රණය කරමින් ලේක්හවුස් ආයතනය ශාසනික වශයෙන් ඉටුකරන මෙහෙවර වෙන කිසිදු මාධ්‍ය ආයතනයකට වඩා ප්‍රමුඛ ශාසනික මෙහෙවරක් ලෙස පොදු මහ ජනතාවගේ හදවත්වල සනිටුහන් ව ඇත.

සියක් වසක් තුළ ජාතික, ශාසනික, සමාජීය, දේශපාලන, ආර්ථික, සංස්කෘතික වශයෙන් සිදු කළ හා සිදු කෙරෙන මෙම මෙහෙවර වඩාත් ශක්තිමත් ව ඉදිරියට තව තවත් ප්‍රභාසම්පන්න ව ඉටු කිරීමට ලේක්හවුස් ආයතනයට ශක්තිය, ධෛර්යය ලැබේවායි ආශිංසනය කරන අතර, ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ට ඒ සියලු ආශීර්වාදයන් තුළින් එතුමාගේ සසර ගමන සුවපත් වේවායි ප්‍රාර්ථනය කරමි.

‍ෞඪ ලීලාවෙන් විරාජමාන ආයතනයකි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත
අතිපූජ්‍ය මකුලෑවේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර විමල මහ නාහිමි

ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සංකල්පයක් මත ආරම්භ වූ ලේක්හවුස් ආයතනයෙන් සිදු වූ සේවය මෙතෙකැයි ප්‍රමාණවත් කළ නොහැකි ය. සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත්, ජන්ම භූමියත්, සංස්කෘතික උරුමයත් ජාතියට සිහිපත් කොට, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනතාව එක්සත් කොට නිදහස් සටනට දායක විය යුතු ය යන සංකල්පනාව ඇති ව, ලේක්හවුස් ආයතනය ආරම්භ කර ඇති බව ඉතිහාසය දෙස බැලීමෙන් මනාව පැහැදිලි වේ.

පුවත්පත් තුළින් ජනතාව තුළ මුල්බැස තිබූ පරගැති චින්තනය තුරන් කොට ජාතිකත්වය හා නිදහස පිළිබඳ ආකල්ප වර්ධනය කිරීමට ඩී. ආර්. විජයවර්ධන මැතිතුමා ගත් උත්සාහය බෙහෙවින් අගය කළ යුතු වේ. 1886 පෙබරවාරි මස 23 වැනි දින උපත ලබා 1950 ජූනි මස 13 වැනි දා එතුමා අභාවයට පත්වූවත් එතුමාගේ තිබූ අධිෂ්ඨානශීලිත්වයේත්, ජාතිමාමකත්වයේත්, ආගමික ළැදියාවේත් ප්‍රතිඵලයක් ලෙස ලේක්හවුස් ආයතනය අදත් ප්‍රෞඪ ලීලාවෙන් විරාජමාන වේ.

1965 පොසොන් පෝය දින නිකුත් වූ ‘බුදුසරණ’ පුවත්පත වර්ෂ හැටකටත් වැඩි කලක් සතර පෝයට ම නිකුත් කරමින් බෞද්ධ ජනතාව තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය, ධර්ම ඥානය වර්ධනය කරමින් කරන උදාර මෙහෙවර ද විශේෂයෙන් අගය කරමි.

ලේක්හවුස් ආයතනය ආරම්භ කොට සියක් වසක් සපුරන මේ වැදගත් මොහොතේ එම ආයතනයෙන් සිදු වූ ජාතික, ආගමික, සංස්කෘතික, සමාජීය සේවය අගය කරමින් තවත් ශතවර්ෂාධික කාලයක් ඉදිරියටත් එම සේවය පවත්වා ගෙන යෑමට සැමට ශක්තිය ලැබේවායි තෙරුවන් සරණ පෙරදැරි ව ආශීර්වාදය කරම්හ.

You may also like

Leave a Comment