ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස විශේෂාංගපුරපෑලවිය සඳ
සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

පුරපෑලවිය සඳ

by Thanushika
November 24, 2026 12:30 am 0 comment

“හොඳට තමයි අපේ හාමුදුරුවනේ බැලුවේ, නරකට බැලිල්ලක් මගෙ නෑ…. ආයෙ බලන්න දෙයක් නෑ… මේ ළමයා කොහෙත්ම සාසනේට ගැළපෙන්නෙ නෑ. ශ්‍රමණ යෝගත් නෑ….”

ධම්මාලංකාර හිමියන්ට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රමණ යෝගයක් නැත්නම් අලුතින් එකක් හදා හෝ සුදු බබා පැවිදි කරන්නට ය.

කේන්දර පලාපල ගැන විශ්වාසයක් නැති වුවත් මෙතැනට ආවේ සුදු බබාගේ මව්පියන් කියූ නිසාවෙනි. ලොකු ස්වාමීන් වහන්සේත් එය ම අනුමත කළ බැවිනි.

“ඒ උනාට උන්නැහේ, මේ දරුවා මහණ වෙන්නම ඕනෙ කියලා පොරේ….” හිමියෝ වදාරන්නේ මුසාවාද ය.

“අනේ සුදු මාමේ…, මං කැමති නෑ සුදු මාමෙ…” සුදු බබාටත් කට පියා ඉන්නට නොහැකි ය.

ගුණේරිස් උන්නැහේගේ කට කොනක නැඟුණේ සිනාවකි. ඒ ධම්මාලංකාර හිමියන් වදාළ මුසාව අතේ පත්තුවීම නිසා ය.

මොකුත් සිදු නොවූ ගානට ධම්මාලංකාර හිමියෝ නැවතත් කතා කරති.

“එතකොට උන්නැහේ, මේ ළමයා පැවිදි කොරන්න නැකතක් කවදට වගේ තියෙයිද?”

පඩික්කම ඔසවා කටෙහි වූ බුලත් කෙළ එයට ගැසූ ගුණේරිස් ධම්මාලංකාර හිමියන් දෙස බැලුවේ අමුතු බැල්මකි. උපැස් යුවළ පසෙකින් තැබූ ගුණේරිස් පුටුවට බර විය.

“හාමුදුරුවනේ, හාමුදුරුවන්ට ඕනේ මේ සාසනේ රකින්ට ද? වනසන්ටද?” ගුණේරිස් අසන්නේ දෑත් එක්කොට උගුර ද පාදමිනි.

ධම්මාලංකාර හිමියන් මෙය නම් කිසිසේත් ම බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයකි.

“මොනවද උන්නැහේ මේ අහන්නෙ. අපි අපේ ජීවිතේ ම පූජා කරලා තියෙන්නෙ මේ සම්බුද්ධ සාසනේ වෙනුවෙන්නෙ. මේ චීවරේ පොරොව ගත්තේ මේ සාසනේ රකින්ට මිස අහවල් එකකටද?” ලස්සනට පද ගැළපුවාට තමන් පවසනා දේ තමන්ට ද සැක සහිත බව තෙරුන් වහන්සේ දනී.

“අනේ එහෙම නම් සාධු සාධු….”

අපේ හාමුදුරුවන්ට මං වැඳල කියන්නම්.

සම්බුද්ධ සාසනේට තියෙන්නෙ හැබෑ ආදරයක් නම්, හැබෑ කැක්කුමක් නම් මේ වගේ දරුවො බලෙන් මහණ කොරන්ට එපා.

මේ දරුවා කොහොමටවත් ම පැවිද්දට ගැළපෙන්නෙ නෑ. එච්චරයි.

ධම්මාලංකාර හිමියන්ට ආපසු වැඩම කරන්නට සිදුවූයේ හිස් අතිනි. ආපසු වැඩීමට ත්‍රීවිලරයක් සෙවීමට ගත් උත්සාහයත් පලක් නොවිණි. කඩ හංදියට ම පයින් වැඩියත් වාහනයක් සොයා ගත නොහැකි වූ තැන ඔය හැතැම්මත් හිමින් හිමින් යා යුතු යැයි ධම්මාලංකාර හිමියන් හිත හදා ගත්තේ ය.

තරබාරු සුදු බබා නම් පයින් යන්නට කොහෙත්ම කැමැත්තක් නැත. චුට්ටක් පයින් යද්දී සුදු බබාට හති ය.

“ අනේ සුදු මාමෙ මට නම් බෑ මහණ වෙන්න. “

“ ඒ මොකෝ සුදු බබා ඒ ? “ නැවතී ආපසු හැරුණු හිමියෝ අසති.

“ රෑට බත් නොකා ඉන්න මට බෑ. ඒ විතරක් ද ? තට්ටෙ ගාන්නත් බෑ මට.

මං ආස බයිසිකල් පදින්න. ලොරි එළවන්න. මහණ උනාම මං කොහොමද එව්ව කරන්නෙ.

අම්මෝ මට නම් බෑ සුදු මාමෙ….”

සුදු බබා කියාගෙන කියාගෙන යයි.

මොනවා කර ගත්තත් සුදු බබා බෑ කීවොත් නම් මේ වැඩේ කෙරෙන්නේ ම නැත. මුලින් ම හදා ගත යුත්තේ නැකතටත් වඩා සුදු බබාගේ හිත ය.

“ මේ අහන්නකො සුදු බබා. මේ මහණ වෙන්නෙ හැමදාට ම නෙමේ… “

හාමුදුරුවෝ පවසන්නේ සුදු බබාගෙ හිස ද අතගාමිනි.

“ එහෙනම්….”

“ අම්ම තාත්ත ඔයාව මෙහෙ එව්වෙ ලොකු මාරකයක් තියෙනවා කියලනෙ සුදු බබා. ලොරි එළවන්නත් ජීවත් වෙන්න එපැයි. ජීවත් වෙන්න නම් අපල ගෙවෙන්න එපැයි සුදු බබෝ. අපල ගෙවෙන්න නම් මාස කීපයක් මහණ වෙලා උන්නම හරි….”

“ අනේ සුදු මාමෙ. ඒ උනත් මට නම් බෑ මහණ වෙලා රෑට නොකා ඉන්න.”

“ දැන් කවුද සුදු බබාට නොකා ඉන්න කිව්වෙ. මං කන්න ගෙනත් දෙන්නම්කො.

තව දෙයක් සුදු බබා. දමිත ඔයාට වැටෙන්න ම ගැහුවා නේද ?

උන්දැට පාඩමක් උගන්වන්න නම් ඔයා මහණ වෙන්නම ඕනේ…”

සුදු මාමා කියන්නේ ඇත්ත ය. මහණ වුණොත් නම් දමිත හාමුදුරුවන්ට යස පාඩමක් ඉගැන්විය හැකි ය. රෑට කන්නත් හම්බෙනවා නම්, මහණ වෙන්නෙත් හැමදාට ම නොවේ නම් මහණ වීමට බැරිකමක් නොමැත. අපලත් දුරු වෙනවා නම් ඉන් වන්නේ ද තමාට ම හොඳකි.

සුදු බබා මොකුත් නොකියා නිහඬ වූ බැවින් ධම්මාලංකාර හිමියන්ට සතුටු ය. කට කොනට සිනාවක් නැඟුණේ සැලසුමේ කොටසක් සාර්ථක වූ නිසා ය.

You may also like

Leave a Comment