බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ අධිරාජ්‍යවාදී චින්තනය හා ක්‍රියාකාරකම් අභිමුව විනාශ වෙමින් තිබූ රට, ජාතිය, ආගම බේරා ගැනීම පිණිස අනුපමේය මෙහෙවරක් ඉටු කළ ජාතික වීර නාමාවලියේ ඩී. ආර්. විජයවර්ධන නාමය අමරණීය ය. සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම්, දේශීය සභ්‍යත්වය, සංස්කෘතික උරුමය සෝදාපාළුවට ගෙනයමින් අක්මුල් සිදුණු දීන ජාතියක් බවට නතු වෙමින් පැවති ඒ යුගයේ ලාංකිකයන්ගේ හදවත්වලට ආමන්ත්‍රණය කරමින්, නිද්‍රාශීලී බවින් නැඟී සිටින්නට ජනමතය ගොඩනැඟූ එතුමා ඒ උදාරතර කාර්යභාරය ඉටුකරනු වස් ඇරඹි පුවත්පත් කර්මාන්තය අතු ඉතිලා වැඩුණේ එතුමා සතු වූ උත්සාහය, කැපවීම උපායඥානයේ හා කාර්යශූරත්වයේ ශක්තියෙනි.
ඒ මහා ව්‍යාපාරය කර ගෙන යන්නට එතුමා නිවහන කර ගත්තේ ලේක්හවුස් ආයතනයයි. කවුරුත් ආදරයෙන් කියන පත්තර මහගෙදරයි. ඓතිහාසික යුග මෙහෙවරකට කෙම්බිමක් වූ ලේක්හවුස් ආයතනය මේ සමරන්නේ සිය අභිමානවත් ගමන්මඟේ සියක් වසරයි.
ක්‍රි.ව. 1815 අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට නතු වන තෙක් මෙරට අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වූයේ විහාරස්ථානයයි. බෞද්ධ භික්ෂුන් වහන්සේගේ මූලිකත්වයෙන් එලෙස ලැබූ අධ්‍යාපනයෙන් බිහිවූයේ බුද්ධිමතෙක් පමණක් නොවේ. ගුණධර්මයන්ගෙන් ද පිරිපුන් පූර්ණ පුරවැසියෙකි. හෙළ සිරිතට විරිතට ගරු කළ, සංවර ඇවතුම් පැවතුම් ඇති සංවේදී මිනිසෙකි. එහෙත් අපරදිග බලපෑම් නිසා ඉගෙනීමෙන්, ආකල්පවලින්, ඇවතුම් පැවතුම්වලින් බොහෝ අය වෙනස් වන්නට වූහ. මිෂනාරී පාසල්වල අධ්‍යාපනය ලැබූ අයගෙන් වැඩි පිරිසක් සුදු ජාතිකයන් අනුව ගිය කළු සුද්දන් බවට පත් වූහ.
එහෙත් බෞද්ධ පවුලක ජන්මය ලද හෙලේනා විජයවර්ධන, සිය මෑණියන්ගේ අඩිපාරේ යමින් බෞද්ධ සංස්කෘතිය තම ජීවිතයේ අත්තිවාරම කර ගත් විජයවර්ධනයන් සිය පුවත්පත් ව්‍යාපාරය තුළින් බෞද්ධ ප්රබෝධයෙහිලා ලබා දුන් දායකත්වය අප්‍රමාණ ය.
විශේෂයෙන් දිනමිණ, සිළුමිණ පුවත්පත් ඔස්සේ ධර්ම ප්රචාරයට විශාල ඉඩක් වෙන් කරන්නට එතුමා නොපැකිළ විය. ඒ ආරම්භයේ අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින්, හරවත් ලිපි සපයමින් ලේක්හවුස් පුවත්පත් පෝෂණය කළ ධර්ම විනයධර, කීර්තිමත් යතිවරයන් වහන්සේ අතර, රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි, ලුණුපොකුණේ ශ්‍රී ප්‍රඥානන්ද හිමි, තෙල්වත්තේ අමරවංශ හිමි, කරඳන ජිනරතන හිමි, විදුරුපොළ පියතිස්ස හිමි, වැලිවිටියේ සෝරත හිමි, පොල්වත්තේ බුද්ධදත්ත හිමි, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි ආදීි යතිවරයන් වහන්සේ ලේක්හවුස් පුවත්පත් මඟින් ඇති කළ බෞද්ධ ප්රබෝධය මාහැඟි ය. එකල විද්‍යෝදය විශ්වවිද්‍යාලයාධිපති ව වැඩ සිටි වැලිවිටියේ සෝරත හිමි සිළුමිණ පුවත්පතට ධර්මානුකූල මාතෘකාවක් අනුව ඉදිරිපත් කළ දෙවැනි කතුවැකිය හා අනෙකුත් ශාස්ත්‍රීය ලිපි මඟින් ලේක්හවුස් පුවත්පත්වලට ලබා දුන් ආලෝකය ද අතිමහත් ය.
පැවිදි පඬිවරු සේ ම ගිහි ලේඛකයන් ද ගවේෂණාත්මක හා භාෂාමය වටිනාකම් සහිත දේශමාමක ලිපි පළ කරමින් එකල ලේක්හවුස් පුවත්පත් ඉහළින් ඔසවා තැබූහ. ඇෆ්. ආර්. සේනානායක, සර් පොන්නම්බලම් අරුණාචලම් වැනි දේශමාමකයන්, මාර්ටින් වික්‍රමසිංහ, ගුණපාල මලලසේ්කර, ජී. බී. සේනානායක වැනි වියතුන්ගේ ලිපි ජාතික පුනරුද ව්‍යාපාරයට හුස්ම ලබා දුනි. ඩී. බී. ජයතිලක මහතා පෙරදිග භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධිමතෙකි. දක්ෂ සිංහල ලේඛකයෙකි. ගිහි බෞද්ධයන් අතර නායකයෙක් ලෙස සැලකූ එතුමා භික්ෂුන් වහන්සේගේ ද ගෞරවාදරයට ලක්විය. දිනමිණ ආරම්භක යුගයේ එතුමාගේ ලිපි පාඨකයන් තුළ ආකල්පමය පෙරළියක් ඇති කළේ ය. එතුමා ලියූ කතුවැකි මඟින් එදා නැඟූ හඬ ප්‍රබල ය.
රටක සාමය රැකෙන්නේ එහි ජීවත්වන විවිධ ජාතීන් හා ආගමික කණ්ඩායම් අතර හොඳ හිත හා විශ්වාසය ආරක්ෂා වූ තරමට ය. 1915 වසරේ දී සිංහල, මුස්ලිම් කෝලාහලය පැතිර ගිය අවස්ථාවේ සිංහල බෞද්ධයන් හා ක්‍රිස්තියානි ආගමිකයන් අතර හොඳ හිත පළුඳු කරන්නට බ්‍රිතාන්‍ය පාලකයෝ දැඩි ප්රයත්නයක් දැරූහ. එය ජනතාවට හෙළිදරව් කොට, විශාල ආන්දෝලනයක් ඇති කරමින් එම ආගමික කණ්ඩායම් අතර සාමය ආරක්ෂා කළේ දිනමිණ පුවත්පතයි.
දිනමිණ වෙසක් කලාපය බෞද්ධ පුනර්ජීවනයේ සන්ධිස්ථානයක් විය.
සැබෑ බෞද්ධයා ආගම් විරෝධී නොවේ. ආගමික සහජීවනය කඩ නොකිරීම බෞද්ධ ප්රතිපත්තියයි. ඩී. ආර්. විජයවර්ධනයන් එවැනි ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කළ නායකයෙකි. එකල සම්බුදු දහමට එරෙහි ව නැඟී තිබූ බලවේග හමුවේ එතුමා කර්තෘ මණ්ඩලයට දී තිබූ උපදේශය වූයේ පුවත්පතින් ජනතාවගේ සිත ගිනියම් කිරීමට නොව නිවීමට ය.
පියසේන නිශ්ශංක මහතා එක් අවස්ථාවක ඒ ගැන සඳහන් කර තිබුණේ මෙලෙස ය.
‘ස්වකීය ආගමට අන්‍ය භක්තිකයන් අතින් දැන දැන ම වේවා, වැඩිදුර කල්පනා නොකිරීමෙන් වේවා වැරැදි සිදුවන අවස්ථා ඇති වූ විට ඒවා ගැන ක්‍රියා කළ යුත්තේ තව තවත් එවැනි දෑ සිදු නොවිය යුතු ය, යන තැනට ය.”
විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ දූරදර්ශී දැක්ම වූයේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනතාව එක්සත් කිරීමෙන් තොර ව රටට නිදහස ලබා ගත නොහැකි බවයි. එමෙන් ම අධිරාජ්‍යවාදී පාලනය යටතේ ගිලිහී ගිය සම්බුද්ධ ශාසනය, පරිහානියට යමින් තිබූ අපගේ සංස්කෘතික උරුමය, ජාතියට අහිමි වෙමින් තිබූ ජන්ම භූමිය ගැන ජනතාව තුළ ප්‍රබල හැඟීමක් ඇති කළ යුතු බවයි. එහිලා එතුමා ඇරැඹූ සටනට පෑන අවියක් කොට ශක්තියක් වූ ලේඛකයන් අතර පියසේන නිශ්ශංක, ඇලෙක්සැන්ඩර් වැලිවිට, හික්කඩුවේ ශ්‍රී ලාල් ලියනගේ, ඩෙන්සිල් පීරිස්, ටාසි විට්ටච්චි ආදී කර්තෘවරු ද වූහ.
ජාතියක ප්‍රාණය භාෂාවයි. නිවැරැදි භාවිතය භාෂාවේ ජීවයයි. බස සුරකිනු වස් එදා ලේක්හවුස් පුවත්පත් කළ මෙහෙවර අතිශය සම්භාව්‍ය වූවකි. පැළෑනේ සිරි වජිරඤාණ මහ නාහිමියන්, කුමාරතුංග මුනිදාසයන් වැනි වියත් ලේඛකයන්ගේ හරවත් ලිපි සිංහල බසට ජීවය ලබා දුනි.
ලක්දිව සම්බුදු දහම ස්ථාපිත වූයේ මිහින්තලා පුදබිමෙනි. පොසොන් පෝදා මිහින්තලා පින්බිම විදුලි එළියෙන් ආලෝකවත් කිරීමේ මහා පුණ්‍ය කර්මයට දීර්ඝ කාලයක් පුරා දායක වූයේ ලේක්හවුස් ආයතනයයි. ඒ සද්කාර්යය ද විජයවර්ධන මහතාගේ සංකල්පයක් මල්ඵල ගැන්වීමකි.
1965 ජූනි මස 13 වැනි දා (පොසොන් පෝදා) මිහින්තලා පුදබිමේ දී බුදුසරණ පුවත්පත ඇරැඹෙන්නේ එම ආලෝක පූජාවට සමගාමී ව ය. එදා සිට සතර පෝදාට ම නිකුත් වූ බුදුසරණ පුවත්පත බෞද්ධ ප්රබෝධය ඇති කිරීමෙහිලා අග්රග්රණ්ය මෙහෙවරක් ඉටු කරන බෞද්ධ පුවත්පත ලෙස අදත් ගෞරවය දිනා සිටී. දෙස් විදෙස් ධර්ම ප්රචාරයෙහිලා වෙසෙස් මෙහෙවරක් ඉටු කරන බුදුසරණ පුවත්පත මඟින් කුඩා ළමයාගේ සිට වැඩිහිටියන් දක්වා ම ධර්ම ඥානය බෙදා දෙයි. දක්ෂ ලේඛකයන් බිහි කරමින් ගවේෂණාත්මක ලිපිවලට ඉඩහසර වෙන් කර දෙයි.
වෙහෙර විහාර කේන්ද්‍ර කර ගනිමින් සංවිධාන කෙරෙන පෙරහර ආදී විශේෂ පින්කම් හා සමගාමී ව අතිරේක පුවත්පත් මුද්‍රණය කරමින් ලේක්හවුස් ආයතනය සිදුකරන ආගමික මෙහෙවර ද පැසසුම් කටයුතු ය.
එදා මෙදා තුර පත්තර මහගෙදරට ශක්තියක් වෙමින්, මව්පියන් ජීවත් කරවූ, දරුවන්ට අනාගතයක් ගොඩනැඟූ, හිසට සෙවණක් තනා ගත්, ජීවිතයට අර්ථයක් ලබා ගත් සේවක පිරිස් ද අපමණ ය. අදත් ලේක්හවුස් සේවකයන් ආයතනයට පිවිසෙන්නේ නිර්මාතෘවරයාණන්ගේ සේයාරුවට හිස නමා ආචාර කරමිනි. වසරක් පාසා පිරිත් පින්කම්, මාසික සදහම් දෙසුම්, දානමය පුණ්යකර්ම ඇතුළු විවිධ පින්කම් ඔස්සේ එතුමාට කෘතගුණ දැක්වීමට ඔවුහු නිර්ලෝභී වෙති. ඒ කළගුණ සැලකීම කළගුණ දන්නා උතුම් මිනිසකු වෙනුවෙන් හදවතින් ම පැනෙන ගෞරවාදරයයි.
රමණී සුබසිංහ