අභාවිත චිත්තය (අභාවිතං චිත්තං) යනු නො වැඩූ සිත යි. එනම් චිත්තය, දියුණු කළ හැකි, වර්ධනය කළ හැකි දෙයක් ලෙස බුදුසමය පෙන්වා දෙයි. “භාවනා” නමින් හඳුන්වන්නේ චිත්තය දියුණු කරන පිළිවෙළයි. ලෞකික, ලෝකෝත්තර උභයාර්ථය සඳහා චින්තාභිවර්ධනයේ උපයෝගිතාව බුදුසමය අවධාරණය කරයි.
සමථ භාවනා, විපස්සනා භාවනා යනුවෙන් දෙ පරිදි වේ. මේ දෙයාකාරයෙන් ම හෝ එක් ආකාරයකින් හෝ නො වැඩූ සිත අභාවිත සිතක් වන්නා සේ ම, නිර්වාණ මාර්ගයට ප්‍රතිපක්ෂ ද වේ. එනම් නිවන් සුව පසක් කර ගැනීමට චිත්ත භාවනාව අත්‍යවශ්‍ය වූවකි. නො වැඩු සිත අභාවිත සිතයි. එහි ස්වභාවය විචිත්‍රාකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. ධම්ම පදයේ යමකවග්ගයේ පහත සඳහන් ගාථාව මෙහි ප්‍රවේශයක් ලෙස දක්වමි. එනම්,
“යථා අගාරං දුච්ඡන්නං
වුට්ඨි සමති විජ්ඣති
එවං අභාවිතං චිත්තං
රාගෝ සමති විජ්ඣති”
මනාව සෙවිලි නොකළ ගෙය වැසි ධාරාවන්ගෙන් තෙමී යන්නේ ද? එලෙසින් නො වැඩූ සිත රාගාදී ක්ලේශ ධර්මයන්ගේ වසඟයට පත් වේ. එනම් අභාවිත සිත ඇත්තා නිතර ම කෙලෙස් වසඟයට පත්ව දුකට හා තැවීමට පත්වේ.
අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඛවග්ගයේ පළමු සූත්‍රයේ ද සිත පිළිබඳ මහඟු විවරණයක් දක්නට ලැබේ. එනම් “ස්‍යෙථාපි භික්ඛවේ සාලිසූකං වා යව සූකං වා මිච්ඡාපණීහිතං හත්ථේන වා පාදේන වා අක්කංතං හත්ථං වා පාදං වා භේසච්ඡති, ලෝහිතං උප්පාදෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හේතු: මිච්ඡාපණිහිතත්තා භික්ඛවේ සුකස්ස එවමේව ඛෝ භික්ඛවේ සෝ වත භික්ඛු මිච්ඡාපණිහිතේන චිත්තේන අවිජ්ජං භෙච්ඡති, විජ්ඡං උප්පාදෙස්සති, නිබ්බාණං සච්චිකරිස්සතී’ති නේතං ඨානං විජ්ජති. තං කිස්ස හේතු: මිච්ඡාමණිහිතත්තා භික්ඛවේ චිත්තස්සාති.”
මෙහි “මිච්ඡා පණිහිත” හෙවත් වරදවා තැබූ සිත උපමා කොට ඇත්තේ වී සහ යවවලට ය.
ඒවා වැරැදි ලෙස පිරිසිදු කිරීමට ගියහොත් අත් පා තුවාල වේ. එලෙසින් මිසදිටු අදහස් ඇති, වැරැදි සංකල්පයන්ගෙන් යුක්ත වූ සිතක් තිබෙන තැනැත්තා නිවන් සුව පසක් කර ගත නො හැකි ව තැවෙන බව ද, නො පහන් සිත් ඇති හෙවත් අපිරිසිදු සිත් ඇති තැනැත්තා “පදුට්ඨ චිත්තං” මරණින් මතු අපායගාමී වන බව ද, එසේ ම නො පහන් වූ කැළඹුණු සිත් ඇති තැනැත්තා මඩ සහිත විලකට ද උපමා කොට දක්වයි.
එවන් විලක වෙසෙනා සිප්පි බෙල්ලන් සහ සක් බෙල්ලන්, මත්ස්‍යයන් ද, කැට කැබිලිති ද, විනිවිද නොපෙනෙන්නාක් මෙන් එබඳු පුද්ගලයාට යමක යථාර්ථය දැකිය නොහැකි බව “සෙය්‍යථාපි භික්ඛවෙ උදකරහදෝ ආවිලෝ ලුලිතෝ කලලීභූතෝ, තත්ථ චක්ඛුමා පුරිසෝ තීරෙඨිතොන පස්ස්‍යෙ සිප්පිසම්බුකම්පි සක්කරකටලම්පි මච්ඡගුම්බම්පි තිට්ඨංතම්පි. තං කිස්සහේතු: ආවිලංතා භික්ඛවේ උදකස්ස. එවමේව ඛො භික්ඛවේ සෝ වත භික්ඛු ආවිලේන චිත්තේන. චිත්තේන අතත්ථං වා ඤස්සති, පරත්තතං වා ඤස්සති, උභයත්තං වා ඤස්සති, උත්තරිං වා මනුස්ස ධම්මං අලමරියඤාණදස්සනවිසේසං සච්චිකරිස්සතී’ති, නේතං ඨානං විජ්ජති. තං කිස්සහේතු: ආවිලත්තා භික්ඛවේ චිත්තස්සාති.” යනුවෙන් එම කරුණ සඳහන් වේ.
අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අදන්ත වග්ගයේ පළමු සූත්‍රයේ දක්වනුයේ “නාහං භික්ඛවේ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අදන්තං මහතෝ අනත්ථාය සංවත්තන්ති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ අදන්තං මහතෝ අනත්ථාය සංවත්තන්තී’ති.” මහණෙනි, යමක් මෙසේ නො දැමුණේ මහත් වූ අනර්ථය පිණිස පවතින්නේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්වමි. මහණෙනි, නො දැමුණු සිත මහත් වු අනර්ථය පිණිස පවතින්නේ ය.
අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අදන්ත වග්ගයේ තතිය සූත්‍රයේ දක්වනුයේ “නාහං භික්ඛවේ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං අගුත්තං මහන්තෝ අනත්ථාය සංවත්තන්ති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ අගුත්තං මහන්තෝ අත්ථාය සංවත්ථතී’ති.” මහණෙනි, යමක් මෙසේ (සතිසංවරයෙන්) ගෝපනය නො කරන ලද්දේ මහත් වූ අනර්ථය පිණිස පවතින්නේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්වමි. මහණෙනි, අගෝපිත වූ සිත මහත් වූ අනර්ථය පිණිස පවතින්නේ ය.
නො වැඩූ සිත අපිරිසිදු කෙරෙන ක්ලේශ ධර්ම එකොළොසක් ගැන මජ්ක්‍ධිම නිකායේ උපක්කිලේස සූත්‍රයෙහි දී සඳහන් වේ. එනම්,
විචිකිච්ඡා – සැකය
අමනසිකාර – සිහි නුවණින් මෙනෙහි නො කිරීම
ථීනමිද්ධ – සිත්හි අලස බව
ඡම්භිතත්ත – තැති ගැනීම
උබ්බිල්ල – ප්‍රීතියෙන් ඉල්පීම
දුට්ඨුල්ල – නපුරු බව
අච්චාරද්ධ – දැඩි වීර්යය (අත්‍යාරබ්ධවීර්ය)
අතිහීනවිරිය – අතිශයින් හීන වූ වීර්යය
අභිජප්ප – මහත් වූ ආශාව
නානාත්තසඤ්ඤා – නොයෙක් සංඥා අතිනිජ්ඣායිතත්ත – රූපාදී කෙරෙහි වැඩිය සිතීම වශයෙනි.
මෙම කෙලෙස් ප්‍රහාණය කිරීම හේතුවෙන් බුදුරජාණන් වහන්සේට සර්වඥතා ඥානය උපදවා ගැනීමට හැකි වූ බව ද සඳහන් වේ. චිත්තය හෙවත් සිත කෙලෙසන අනේකවිධ කෙලෙස් අතර පඤ්ච නීවරණ ද ප්‍රධාන වේ. සංයුක්ත නිකායේ ඇතුළත් “කිලේස” සූත්‍රයට අනුව සිතෙහි මෘදු බව, කර්මණ්‍ය බව, ප්‍රභාස්වර බව පහ කරන, සම්මා සමාධිය නැති කරන, කෙලෙස් ජනිත කරවන කෙලෙස් ධර්ම පහක් ඇති බවත්, ඒවා ඉහතින් සාකච්ඡාවට බඳුන් කරන ලදී.
එසේ ම කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන මේවා ද සිත කෙලෙසන ප්‍රධාන ආශ්‍රව ධර්ම ලෙස බුදුසමය පෙන්වා දෙයි. පුහුදුන් පෘථග්ජන පුද්ගලයන් සතු ව පවතින මෙවන් කෙලෙස් එක් දහස් පන්සියක් පවතින බව අවධාරණයට ලක් කරන බුදුසමය එම කෙලෙස් සංසිඳවීමෙන්, පහ කිරීමෙන් ලැබිය හැකි චිත්ත පාරිශුද්ධියත් එමඟින් ලෞකික දියුණුවත්, ලෞකික අභිඤ්ඤා සහ ලෝකෝත්තර විමුක්තියත් සාධනය කර ගත හැකි ආකාරය පැහැදිලි කොට ඇත.