ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
නිවස දහම් අසපුවසෑම මොහොතක ම සතිමත් වෙන්න…

සෑම මොහොතක ම සතිමත් වෙන්න…

by damith
October 18, 2026 1:08 am 0 comment

බුරුමයේ උපත ලද වෛද්‍ය තින් තින් මහත්මිය ධර්මධර ආචාර්යවරියකි. ඇය සතිපට්ඨාන භාවනාව පිළිබඳ උපදේශිකාවක් වන අතර, විපස්සනා භාවනාව ද උගන්වයි. ඇය විසින් පවත්වනු ලබන දහම් වැඩසටහන් ඇතුළත් කර ධර්ම කෘතියක් එළිදක්වා ඇත. එම කෘතියේ සිංහල පරිවර්තනය වූ ‘ජීවිතය ම භාවනාවකි’ ග්‍රන්ථයෙන් මෙම ලිපිය උපුටා ගැනිණි.

ඔබ කියනවා මගේ හිතේ සතිය දියුණු කිරීමෙන් දෛනික ජීවිතයේ දී භාවනා කරන්න පුළුවන් කියලා. මට නම් ඒක හරි අමාරුයි. මගේ හිත හරියට විසිරෙනවා.

ඒක අසාමාන්‍ය දෙයක් නොවෙයි. දෛනික ජීවිතයේ කටයුතු කරන කොට සිත එක තැනකට එල්ල කරන්න නම්, ඔබේ සිත මුළුමනින් නො පිට පෙරළන්න වෙනවා. සිත තමා ගැන ම දැනුවත් ව ඉන්න නම්, සිත ශක්තිමත් වෙන්නයි එක තැනකට එල්ල වෙන්නයි ඕනෑ. ඉතින් ඔබේ සිත වියවුල් නම්, විසිරී ගිහින් නම්, මේ එක තැනකට එල්ල කිරීමේ වැඩේ අමාරුයි.

ඉතින් එහෙම නම් කොහොමද පටන් ගන්නෙ?

ඔබ ඕනෑම මොහොතක කරන ඕනෑම වැඩක් ගැන සතිමත් වෙන්න බලන්න. ඇවිදීම, වාඩි වීම, නෑම, පිරිසිදු කිරීම, මලක් දිහා බලා සිටීම ඔබට මේවා ඕනෑ වෙලාවක ඕනෑ තැනක දී කරන්න පුළුවන්. ඔබ මනස එක තැනකට එල්ල කරන්න පුරුදු වෙනකොට පෙනෙයි මනස ඉබාගාතේ යෑම අඩු වෙන බව. දිගට ම ඔහොම කරගෙන යනකොට ඔබට ඔබේ සිතිවිලියි, ආවේගයි හටගන්න කොට ම ඒ ගැන සතිමත් වෙන්න පුළුවන් වෙනවා.

අපි කියමු ඔබ මෝටර් රථයක් ධාවනය කරනවා. එතකොට ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනෑ. මෝටර් රථය ධාවනය කරන වෙලාවයි, තැනයි වෙත ඔබේ මනස තිබෙන්න ඕනෑ. පාරට අවධානය යොදන්න ඕනෑ. අනික් රියැදුරන් ගැන පරික්ෂාවෙන් බලන්න ඕනෑ. වෙන සිතිවිලි ඔස්සේ දුරදිග යන්න ඔබට පුළුවන්කමක් නෑ. ඒක හරියට එවෙලේ කරන වැඩේ පිළිබඳ ව භාවනා කරනවා වගෙයි. ඒත් අපි සාමාන්‍යයෙන් අනික් වැඩ මේ ලෙස මනස ඒකාග්‍ර කර ගෙන කරන්නේ නෑ.

ඇයි ඒ?

ඇතැම් විට ඒවා මෝටර් රථය ධාවනය කිරීම තරම් අන්තරාදායක නැති නිසා වෙන්න ඇති. ඒ වුණත් මේ මූලධර්මය ම ඔබට අනික් වැඩවලටත් යොදවන්න පුළුවන්. අපි කියමු ඔබ කෑම කනවා කියලා. එතකොට ඔබේ සිත විසිරිලා ගිහින් නම්, කෑම රස විඳිනවා කියා කෑම කන බවත් තේරෙන එකක් නෑ. කන එක ගැන සිත යොමු කළොත් විතරයි ඔබටත් ඇත්තට ම කෑම රස විඳින්න පුළුවන් වෙන්නේ.

වැඩ නොකර ඉන්න වෙලාවටත් මේක මෙහෙම ම යි. අපි හිතමු ඔබ බස් එකක යනවා කියලා. ඔබේ සිත ඉබාගාතේ යනවා වෙනුවට ඔබ ඉන්න තැන ම සිත තියාගන්න බලන්න. බස් එකේ ඉන්න අනික් උදවිය ගැන, බස් එක යන්නේ කොච්චර වේගයෙන්ද? යන්නේ කොහෙද ආදී දේ ගැන අවධානශීලී වෙන්න. මේක භාවනාව පටන්ගන්න හරිම හොඳ ක්‍රමයක්. ඔබේ සිත ඉබාගාතේ යනවා වෙනුවට හුදෙක් ම ඔබ ඉන්න තැන ගැන දැනුවත්ව ඉන්න.

මම මේ මොහොතේ සතිමත් වෙන්න උත්සාහ කළා. ඒත් ඒක හරි අමාරුයි. මගේ හිත හරියට අවුල් වෙනවා.

මේ මොහොතේ ඉන්නවා කියන එක වචනාර්ථයෙන් ම ගන්න එපා. ඒක අකුරට ම පිළිපැදිය යුතු නීතියක් නොවේ. ප්‍ර‍්‍රවීණතා පරීක්ෂණයකුත් නොවෙයි. ඔබ ඒ බව මුලදී ම දැන ගන්න ඕනෑ. එහෙම නොවුණොත් දවසේ හැම තත්පරයක් ම මහා වෙහෙසක් දරමින් ඔබ මහ පටලැවිල්ලක වැටෙයි.

මේ මොහොතේ සිටීම කියන්නේ හුදෙක් ම මනසේ ඇති පරණ පුරුදු කඩා දැමීමේ උපායක් විතරක් බව ඔබ වටහාගන්න ඕනෑ.

සාමාන්‍යයෙන් මනස අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ සිතිවිලිත්, ආවේගත් අතරේ ඉතා වේගයෙන් යනවා. මේ මොහොතේ ඉන්නවා කියන්නේ ඒ වේගවත් ගමන නතර කරන්න මනස පුහුණුූ කිරීමක් විතරයි.

මනස ඉබාගාතේ යන සිරිත කැඩුවට පස්සෙ මනස වඩාත් කේන්ද්‍රගත වෙලා බවත්, මේ මොහොතේ වැඩියෙන් ඉන්න බවත් ඔබට පෙනෙයි.

ලැබෙන වාසිය මොකක්ද?

අන්න ඒක බොහොම උචිත ප්‍රශ්නයක්. ඔබේ මනස වඩා හොඳින් ඒකාග්‍ර කර ගන්න පුළුවන්. ඒත් භාවනා කිරීමේ කලාව ඉගෙන ගන්නේ නැතුවමත් ඔබට මනස ඒකාග්‍ර කර ගන්න පුළුවන්. ගොල්ෆ්, චෙස්, පොත් කියවීම ආදී හුඟක් දේ ඒකාග්‍රතාව දියුණු කරනවා.

ඒ කීව දේවලුත්, මොහොතින් මොහොත මනස එකඟ කර පවත්වා ගැනීමත් අතරේ තියෙන වෙනස මොකක්ද?

ඒ කීව දේ අදාළ ක්‍රියාවලිය දිහා බැලුවොත් ඔබට පෙනෙයි. ඒ සේරම තුළ ආසාව තියෙන බව. ඒ කියන්නේ පරිපූර්ණත්වයට පැමිණීම, ක්‍රීඩාවකින් දිනීම, හිත සතුටු වීම ආදීි යම් ආසාවක්. ඔබ ඒවාට පෙළඹෙන්නේ ආසාව නිසයි. ඊට අමතරව ඒ ක්‍රියාවලටත් ඒවායින් උපදින ඒකාග්‍රතාවටත් අවසානයක් තියෙනවා. ඒකාග්‍රතාව භාවනාවටත් ඉතා ම වැදගත් තමයි. ඒත් ඒක අවසාන ඉලක්කය නොවෙයි. නිකම්ම මනස ඒකාග්‍ර කළොත් අපට එයින් වැඩි ප්‍රයෝජනයක් ලබන්නේ නෑ.

භාවනා කිරීමේ දී ඉතාම වැදගත් වෙන්නේ කිසිම ආසාවක් නැතුව, අප්‍රසන්නකමක් නැතුව, රුචි අරුචිකම් නැතුව, ඒ විතරක් නොවෙයි ඉලක්කයකුත් නැතුව සතිමත් වීමයි.

මේක විධිමත් පර්යංක භාවනාව ගැන වගේ ම අපි දැන් සාකච්ඡා කරන අවධිමත් අසංවිධිත භාවනාව ගැනත් ඇත්තයි. මෙතැන දී කාරණා දෙකක් වැදගත් වෙනවා. මේ මොහොතේ ම සිටීම සහ හැම දෙයක් ම රුචි අරුචිකම්වලින් තොරව දැකීම.

ඔය කියන තරම් එය ලේසි නෑ. අපේ වටපිටාව හුදෙක්ම සනිටුහන් කරනවාට වඩා දෙයක් මෙතැන කරන්න තිබෙනවා.

ඔව්. ලේසි නෑ තමයි. ඒ නිසයි හෙමින් පටන් ගැනීම යම්කිසි මොහොතක් කෙරෙහි සිත යොමු කිරීමෙන් පටන්ගැනීම හොඳ වෙන්නේ. ඔබ එක පාරට ම කොහෙත්ම සාර්ථක වෙන එකක් නෑ. ඒත් ඔබට පෙනෙයි මේ මොහොතේ ඉන්න පුහුණු වුණා ම ඇතුළත නිහඬ බව හටගන්න හැටි. ඔබ මේ මොහොතට ඒකාග්‍ර වුණොත්, ඔබේ ඒකාග්‍රභාව හොඳ නම්, ඉබාගාතේ යන සිතිවිලි ඔබේ සිතට එන්නේ නෑ. දිගට ම මෙහෙම පුහුණුූ වෙනකොට වඩාත් ඒකාග්‍ර වෙනවා විතරක් නොවේ, තමා අවට සිදු වන දේ ගැන වඩාත් සුපරික්ෂාකාරි හා සංවේදී වෙනවා. ඔබේ සතිමත් බව ශක්තිමත් නම් එවිටයි ඔබේ මනස, ආවේග සහ සිතිවිලි වෙත ඔබේ අවධානය යොමු කරන්න පුළුවන්.

සතිමත් වීම පමණක් ප්‍රමාණවත් නෑ

සතිමත් වෙලා විතරක් මදි. ඒක මාර්ගයක් විතරයි. ඉතාමත් වැදගත් තීරණාත්මක දෙය තමයි උපේක්ෂාව ඔබේ සතිමත් බවට එකතු කර ගැනීම.

උපේක්ෂාව ඇතුළත නිහඬ බවට හේතු වෙනවාද?

ඔව්. මනස නිහඬ බව කරා යෑමේ එකම මාර්ගය උපේක්ෂාවයි. උපේක්ෂාව භාවනාවේ ප්‍රතිඵලයක් විතරක් නොවේ. ඒක භාවනාවේ උපකරණයකුත් වෙනවා. ඔබේ මනසත්, සිතිවිලිත්, ආවේගත් දිහා උපේක්ෂාවෙන් බලන්න. ඔබ හොඳට සමත් වුණාට පස්සේ මේ උපේක්ෂා ප්‍රවේශය ජීවිතයේ අනික් අංශවලටත් උතුරා යනවා. එතකොට ඔබ හැම දේට ම ඇහුම්කන් දෙන්නේ. බලන්නේ, සිතන්නේ, සම්බන්ධ වෙන්නේ උපේක්ෂාව ඇතුවයි.

උපේක්ෂාව කියන්නෙ නොඇලී සිටීම ද?

සමහර විට උපේක්ඛා කියන පාලි වචනය නො ඇලී සිටීම කියලා පරිවර්තනය කරනවා. ඒත් ඒ පරිවර්තනය කොහෙත්ම ප්‍රමාණවත් නෑ. උපේක්ෂාව කියන්නේ ඇලීම සහ නො ඇලීම යන දෙක ම අබිබවා යන තත්ත්වයක් බව ඔබ තේරුම් ගත යුතුයි. ඔබ නො ඇලී ඉන්නකොට ඔබ පරිස්සම් නොවුණොත් උදාසීන වෙන්නත් පුළුවන්. මේ උදාසීන බව ක්‍රමයෙන් වර්ධනය වෙලා ඔබ අයින් වෙලා, සියුම් ලෙස ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පවා එන්න පුළුවන්. උපේක්ෂාව කියන්නේ විරාගය විතරක් නොව ප්‍රතික්ෂේප කිරීම පවා අබිබවා යන තත්ත්වයක්, සිත හරිම කපටියි. ඔබ විසින් දැනගෙන සිටිය යුතු ඉතා සියුම් පැතිකඩ හා වෙනස්කම් සිතේ තියෙනවා.

ඒ නිසා මුල පටන් ම උපේක්ෂාව, ද්වයතාවක් නැති බව, මධ්‍යම ප්‍රතිපදාව කියන පදනමින් ඔබේ සතිමත් බව පටන් ගැනීම ඉතා ම වැදගත් වෙනවා. ලෝකය දෙසත්, ඔබේ මනස හෙවත් ඔබ දෙසත් උපේක්ෂා සහගතව බලන්න පුළුවන් වෙනවා කියන්නේ ඔබ නිවැරැදි භාවනා මාර්ගයට යොමු වෙලා ඇති බවයි.

පරිවර්තනය රාණි සේනාරත්න රාජපක්ෂ

You may also like

Leave a Comment