ශාස්ත්රපති
රත්ගම සුනීත හිමි
ලංකාදීපප්පසාදක වූ මිහිඳු මහ රහතන් වහන්සේ අපගේ පරම පූජනීය කල්යාණ මිත්රයාණෝ ය.
අප කෙරෙහි දැක්වූ කරුණාව නිසාවෙන් උන්වහන්සේ අපට ශාස්තෘන් වහන්සේ හා සමානය. සිය නිකෙලෙස් හද මඬල නමැති දියමන්ති මංජුසාවෙහි පරම පිවිතුරු ශ්රී සද්ධර්මය නමැති සිංහ තෙල රඳවාගෙන ලක්දිවට වැඩම කළ සේක. උන්වහන්සේගේ නිකෙලෙස් හද මඬලින් දරාගෙන වැඩි උතුම් ශ්රී සද්ධර්මය තුළින් ලක්වැසි පුණ්යවන්තයෝ මහ රහතන් වහන්සේ බවට පත් වූ සේක. දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය ලක්වැසියන්ගේ ශාසන මාතෘ උන්වහන්සේ ය. විමුක්ති සිත් පෝෂණය කළ පීතෘ උන්වහන්සේ ය.
ලක්දෙරණට සම්බුදු දහම හඳුන්වා දුන් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා අදට වසර 2286ක් සපිරේ. මේ ලිපිය උන්වහන්සේට උපහාර පිණිස පළ වේ.
අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙහි වැඩම නොකරන්නට අප තවමත් දීන මිනිසුන් ය. අණක් ගුණක් නොමැති ම්ලේච්ඡ ජාතියක් වන්නට සිටි සිංහලයා, ලොවෙහි උතුම් ම ආර්ය ජාතිය බවට පත් කළෝ උන්වහන්සේ ම ය. දෙවනපෑතිස් මහරජුන්ගේ මුතුන්මිත්තන්ගේ පරපුර වනාහී යකුන් යකිනියන් සමඟ කෙළිදෙළෙන් ගත කළ පිරිසකි. ඇත්තෙන්ම ලක්දිව යක්ෂද්වීපයක් කළෝ ඔවුහු ය. එනමුදු අප අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ එකී යක් පුරය දම් සුවඳ හමන ධර්මද්වීපයක් කළ සේක. ගෞතම බුදුරජුන්ගේ දහම් ගබඩාව කළ සේක. ලක්දිව පැවති යක්ෂ විලාපය සාධු නාදයෙන් සෝදාහළ සේක. ගස්, ගල්, පර්වත, යකුන්, යකිනියන් ඇදහීම නමැති මිථ්යාදෘෂ්ටික අන්ධකාරය දුරු කළ රිවි මඬල වනාහී අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ ම ය.
මේ ලක්දිව සසුන් කෙත වැපුරූ උන්වහන්සේ ලක් බුදු සසුන එකලු කළ පහන් රුක වූ සේක. හෙළ වැසියන්ගේ සැබෑ ම විමුක්තිදායකයාණෝ උන්වහන්සේ ය. බෝපත් ලෙළදී හමායන සුළං රැළි ලක්වැසියන්ගේ සෝතැවුල් සංසිඳවීය. අවිද්යාවෙන් තෙත්ව, දුකින් බර වූ දෙනෙත් මහා ස්ථූප නමැති අඳුනින් සිහිල් කළ සේක. ලක්වැසියන්ගේ දුක් ගිනි නිවූ මිහින්තලාවෙන් ගැලූ සිහිලැල් දහම් නදිය උන්වහන්සේ ම ය. මිහින්තලාවෙන් පෑයූ කෙලෙස් විඩා නිවාලන පොසොන් පුන් සඳ උන්වහන්සේ ය. අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඉතා අපූර්ව වූ සදහම් නගරයක් සිරිලක් බිමෙහි නිර්මාණය කළ සේක.
මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ මිස්සකපව්ව මිහිඳු තලාව හෙවත් මිහින්තලේ නමින් ප්රසිද්ධ විය. ඒ සෑගිරියෙහි උන්වහන්සේ වැඩසිටි තැන මිහිඳු ගුහාව නම් වේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට මුල් වසරෙහි මහමෙව්නා උයනෙහි කරවන ලද්දේ මහා විහාරය යි. දෙවැනිව කරවන ලද්දේ මිහින්තලේ සෑගිරිය යි. තුන්වැනිව කරවන ලද්දේ ථූපාරාමය යි. සතරවැනිව කරවන ලද්දේ ජය ශ්රී මහා බෝධීන් වහන්සේ පිහිටුවාලීම යි. පසවැනිව කරවන ලද්දේ රුවන්වැලි මහාසෑයේ විස්තර සඳහන් කොට ගල්ටැඹ පිහිටුවීම යි. එමෙන්ම අප භාග්යවතුන් වහන්සේගේ ග්රීවා ධාතූන් වහන්සේගේ පිහිටුවීම ද සිදු විය. සයවැනිව කරවන ලද්දේ ඉසුරුමුනි විහාරය යි. සත්වැනිව කරවන ලද්දේ තිසාවැව යි. අටවැනිව කරවන ලද්දේ පඨමක චේතිය යි. නවවැනිව කරවන ලද්දේ වෙස්සගිරි විහාරය යි.
මිහිඳු මහ රහතන් වහන්සේ සඟ පිරිස බිහිකොට පර්යාප්ති, ප්රතිපත්ති, ප්රතිවේධ යන ත්රිවිධ බුද්ධ ශාසනය මනාකොට බැබළවූ සේක. ත්රිපිටක ධර්මය කටපාඩම් කරවූ සේක. එහි අරුත් හෙළබසින් පවසා අටුවා කළ සේක. භාණක පරම්පරා බිහිකළ සේක. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ දූරදර්ශී බව ද අසිරිමත් ය. අරිට්ඨ රහතන් වහන්සේ ප්රධාන ලක්දිව පහළ වූ භික්ෂූන් වහන්සේ ලවා ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාවක් කරවූ සේක.
මිහිඳු මහ රහතන් වහන්සේ මඟ පෙන්වීම හේතුවෙන් භාග්යවතුන් වහන්සේගේ සිව්වණක් ශ්රාවක පිරිසට ධර්මයේ හැසිරෙන්නට නිසි පතිරූපදේසවාසයක් මෙසිරිලක බිහිවිය. ධර්මාශෝක නිරිඳුන් විසින් එවන ලද ශිල්පීන්ගේ උපකාරයෙන් නව විහාර කර්මාන්ත ද සිදුවිය.
දෙවනපෑතිස් රජුගේ රාජ්ය කාලය සතළිස් වසරකි. මිහිඳු මහ රහතන් වහන්සේ ජීවමාන ව වැඩසිටියදී ම රජුගේ අභාවය සිදුවිය. ගෞතම බුදු සසුන සිරිලක්වාසීන්ට දායාද කිරීම පිණිස දෙවනපෑතිස් රජු විසින් දක්වන ලද අනුග්රහය වචනයෙන් වර්ණනා කොට අවසන් නොකළ හැකි තරම් අසිරිමත් ය. රජුගෙන් පසු රජකම උදෙසා රාජ පුත්රයකු නොසිටි හෙයින් සිය මලණුවන් වන උත්තිය රාජ පුත්රයා රජබවට පැමිණියේ ය.
එකල්හී උත්තිය රජු රාජාභිෂේකය ලැබ අට වැනි වසර ය. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේට වයස අසූවකි. උපසම්පදාවෙන් සැටවසක් ගත කළ සේක.
එකල්හි මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩහුන් සේක. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්ය බව පසක් කරමින් පහන් සිලක් නිවී යන ලෙසින් අපගේ පරම කල්යාණ මිත්ර වූ, සිංහලයාගේ මහා ආධ්යාත්ම ගුරුවරයාණන් වහන්සේ වූ මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවී ගිය සේක. ඒ වප් මාසයේ පුර පක්ෂයේ අටවක දවසයි. එනිසා වප් මාසයේ පුර අටවක දවස එකල සිංහලයෝ හැඳීන්වූවාහු ‘ශ්රී මිහිඳු පුර අටවක’ නමිනි.
මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ඇසූ උත්තිය රජු සෝකහුලින් පහර කන ලද්දේ ය. මිහින්තලේ සෑගිරියට ගොස් මහ රහතන් වහන්සේගේ නිසල ශ්රී දේහයට වන්දනා කොට උන්වහන්සේගේ ගුණ ගායනා කරමින් හඬා වැලපුණේ ය. රන් දෙණක සුවඳ තෙල් පුරවා මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්රී දේහය එහි තැන්පත් කරන ලද්දේ ය. ඒ දෙණ හොඳීන් වසා රන් කුළුගෙයක් මත තබවා සාධු නාද පවත්වමින් අනුරාධපුරයට වඩමවාගෙන එන ලද්දේ ය. අනුරාධපුර නගරය අලංකාරයෙන් සරසන ලද්දේ ය. තොරණ බන්දවන ලද්දේ ය. ධජ පතාක ඔසොවන ලද්දේ ය. මල් මාලාවන්ගෙන් සරසන ලද්දේ ය. පුන්කළස් තබ්බවන ලද්දේ ය.
අනුබුදු මාහිමියන් වහන්සේගේ ශ්රී දේහය බැහැදකින්නට පංච මහා ගංගාවන් ගලන සෙයින් ලක්දිවින් ජන ගංගාව ගලා ආහ. ජනයාගේ නෙතින් ගැලූ කඳුළින් අනුරාධපුර නගරය තෙමී ගියේ ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්රී දේහය පඤ්චම්බ මාලකයෙහි කූටාගාරයක තැන්පත් කරවා සත් දිනක් පූජෝපහාර පවත්වන ලද්දේ ය.
අනුරාධපුරයෙන් නැඟෙනහිර දිසාවෙහි බද්ධමාලක නම් තැන සඳුන් දරින් චිතකයක් කරවන ලද්දේ ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්රී දේහය රැගෙන ථූපාරාම සෑය ද පැදකුණු කරමින් එතැනට වැඩමවාගෙන ඇවිත් ඒ සිත්කලු චිතකයෙහි කූටාගාරය තැන්පත් කරවූයේ ය.
සිංහල රහතන් වහන්සේ ද, සිංහල රහත් භික්ෂුණීන් වහන්සේ ද ධර්ම සංවේගය සිහි කරමින් අනිත්ය ප්රතිසංයුත්ත වූ සම්බුද්ධ දේශනා සජ්ඣායනා කළ සේක. මගඵල නොලත් භික්ෂූන් වහන්සේ ද, භික්ෂුණීන් වහන්සේ ද හඬා වැලපෙමින් මිහිඳු මහ රහතන් වහන්සේගේ ගුණ කියන්නට පටන් ගත්හ. මගඵලලාභී උපාසක උපාසිකාවෝ ධර්ම සංවේගයෙන් බලා සිටියහ. අවශේෂ උපාසක උපාසිකාවෝ චණ්ඩ මාරුතයෙන් ඇදහැලෙන වෘක්ෂපරිද්දෙන් සෝකහුලින් පහර කන ලදුව හඬා වැලපෙමින් ඇදවැටුණාහ. අහසින් මල් වරුසා ඇදහැලුණේ ය. ලක්වැසි දෙවියන්ගේ සෝකී රාවය සියල්ලන්ට ම අසන්නට ලැබුණේ ය.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්රී දේහයට ගිනි දල්වන ලදුව අනිත්ය ධර්මය පසක් කරමින් ගිනි ඇවිල ගියේ ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට එතැන චෛත්යයක් කරවන ලදී. උන්වහන්සේගේ ශ්රී දේහය ආදාහනය කළ ස්ථානයට ගෞරව කිරීම පිණිස ‘ඉසිභූමංගන’ යන නම තබන ලදී.
ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්යයහ. සියලු සංස්කාරයෝ හටගෙන, නැසී යන ස්වභාවයෙන් යුක්තයහ. මෙබඳු ස්වභාවයෙන් යුක්ත වූ සංස්කාර ධර්මයන්ගේ සංසි¼දී යෑම සදහට ම සිදුවෙමින්, යම් රහතන් වහන්සේ නමක් පිරිනිවන් පානා සේක් ද, ඒ සංසි¼දී යෑම සැපයකි.
කලින් කලට පැමිණි ආක්රමණ හේතුවෙන් කෙළෙහිගුණ ද, සිංහල අභිමානය ද මිනිසුන් තුළ දුර්වල වී ගියේ ය. මිහිඳු පුර අටවක ද අමතක විය. එහෙත් ඉන් වසර 560කට පසු රජ වූ සිරිමේඝවන්න (සිරිමෙවන්) රජු අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට කෘතගුණ දක්වා ලක්දිව සැනසවූහ. එය මහා වංශයෙහි 37 වැනි පරිච්ඡේදයෙහි සඳහන් ය. ඒ මෙසේ ය.
ලක්දිව සුපහන් කරවා වදාළ දීපප්පසාදක මිහිඳු මාහිමියන් වහන්සේ කෙරෙහි පැහැදී ‘මහා මහේන්ද්ර ස්ථවිරෝත්තමයාණෝ ඒකාන්තයෙන් ශ්රී ලංකා ද්වීපයට අධිපති වන සේක’ යනුවෙන් සිතා, මිහිඳු මහ රහතන් වහන්සේගේ සිරුරෙහි ප්රමාණයට ම සරිලන පරිදි තනි රත්තරනින් පිළිම වහන්සේ නමක් කරවා, වප් මස පුර අටවකට කලින් දිනය වන සත්වක දා, මිහින්තලයට වැඩම කරවා ‘ස්ථවිරඅම්බ’ නමැති අම්බස්ථලයෙහි අටවක් දා වැඩහි¼දීමට සලස්වා, ඊට පසුවදා වන නවවක දා, ඒ සිරිමෙවන් රජු සිය අන්තඞපුර ස්ත්රීන් හා ගෙවල් රකින්නන් පමණක් නැතිව අනෙක් සියලු නගරවාසීන් ද දිව්ය සේනා බඳු මහාසේනා ද කැටුව, ශ්රී ලංකා ද්වීපයේ වැඩවාසය කරන සියලු භික්ෂූන් වහන්සේ ද කැටුව, එමෙන්ම නගරයේ මහා සිරගෙදර මිනිසුන් ද නිදහස් කරවා, මහා දන්සැල් පිහිටුවා, එමෙන්ම සියලු ප්රධානීන්ට බත්වැටුප් දී සියලු උපහාරයන්ගෙන් උපමා රහිත වූ පූජා පවත්වමින්, අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් පුත්රුවනක් වූ, ශ්රී ලංකා ද්වීපයට ශාස්තෘන් වහන්සේ බඳු වූ, අප මිහිඳු මහ රහතන් වහන්සේ වන්දනා කිරීමට පෙර ගමන් ගියේ භාග්යවතුන් වහන්සේට පෙර ගමන් යන සක්දෙවිඳු විලසිනි.
අම්බස්ථලයෙහි පටන් අනුරපුර මහා නගරය දක්වා මාර්ගය ඉතා සොඳුරුව සරසවන ලද්දේ විසාලා මහනුවර සිට සැවැත් නුවර දක්වා මාර්ගය සැරසූ කලක් මෙනි. අප මිහිඳු මහ රහතන් වහන්සේගේ පියාණන් වූ ධර්මාශෝක මහාධිරාජයා එදා මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ වැඩමවීමේ දී කටයුතු කළ අයුරින් සිරිමෙවන් රජු ද මිහිඳු මහ රහතුන්ගේ පිළිම වහන්සේ වැඩමවන උත්සවයට භෝග පුදා, එහි සිටි දුගී මගී යාචකාදීන් උදෙසා මහදන් පැවැත්වීය. භික්ෂූන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්රත්ය යන සිව්පසයෙන් සතුටු කරවීය.
“එම්බා මහජනතාවෙනි, අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරනා අයුරු මෙසේ බලව” යි කියා මහා යසස් ඇති සිරිමෙවන් රජතුමා මහත් වූ සත්කාරයෙන් ඒ මිහිඳු පිළිම වහන්සේ වැඩමවාගෙන, අම්බස්ථලයෙන් පහළට බැස තමන් මුලින් ම ගමන් කරමින්, භික්ෂූන් වහන්සේ ද හාත්පස පිරිවරාගෙන පෙරහර පැමිණෙන කල්හි, පිරිස් පිරිවරාගත් මිහිඳු මහ රහතන් වහන්සේගේ රනින් කළ පිළිම වහන්සේ සෝභමානව බැබළී ගියේ කිරි සයුර මැද සන්ධ්යාවෙහි රතු පැහැ ගැන්වී ගිය වළාවේ පැහැයෙන් බබළන මහාමේරු පර්වතරාජයා මෙනි.
මේ උත්සවය වනාහී ලෝකනායක වූ අප භාග්යවතුන් වහන්සේ රතන සූත්රය වදාරන්නට විසාලා මහනුවරට මෙසේ ම වැඩි සේකැයි මහජනයාට විදහා දැක්වීමක් බඳු විය.
ඒ නරාසභ වූ සිරිමෙවන් රජු උතුම් මිහිඳු පිළිම වහන්සේට මේ අයුරින් සත්කාර සම්මාන දක්වමින් අනුරපුර නැඟෙනහිර මහාද්වාරය අසල තමන් විසින් කරවන ලද, ස්වස්ථික හැඩය ගත් විහාරයට එදින සවස් වරුවේ එළැඹ උතුම් ජිනපුත්රයන් වහන්සේගේ පිළිම වහන්සේ එහි තුන් දිනක් වඩාහිඳුවීය. ඉන් පසු දොළොස්වක දා අප ශාස්තෘන් වහන්සේ පළමුකොට වඩින අවස්ථාවේ සරසන ලද රජගහ නුවර සෙයින් අනුරපුර මහා නගරය ද සොඳුරුව සරසා, ඒ මහා මිහිඳු පිළිම වහන්සේ ස්වස්ථික හැඩය ගත් විහාරයෙන් පිටතට වැඩමවා මහා සාගර රළ ඝෝෂාව සෙයින් නගරයෙහි මහා උත්සව පවත්වන කල්හි, මහා විහාරයට වැඩමවාගෙන අවුත් ජය ශ්රී මහා බෝමළුවෙහි තුන් මසක් වඩාහිඳුවා, ප්රවේශ කරවා එසේ පවත්වන ලද විධි අනුව නුවරට, වැඩමවාගෙන අවුත් අනුරාධපුරයෙන් ගිනිකොණට වෙන්නට, රාජමාලිගාව අසලින් මහා මිහිඳු පිළිම වහන්සේ උදෙසා අලංකාර විහාරයක් කරවීය.
විසාරද වූ සිරිමෙවන් රජතුමා අප මිහිඳු මාහිමියන් සමඟ සිරිලක වැඩි ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන හා භණ්ඩුක යන ස්ථවිරයන් වහන්සේගේ ද, පිළිම වහන්සේ කරවා මහා මිහිඳු පිළිම වහන්සේ සමඟින් එහි වඩාහිඳෙව්වේ ය. මහා නුවණැති ඒ රජු පිළිම වහන්සේ වඩාහිඳුවන ලද විහාරයට ආරක්ෂාව සලස්වා පුදපූජා පිණිස වියහියදම් ද ලබා දී, වාර්ෂිකව මේ අයුරින් ම උපහාර පූජෝත්සව පවත්වන්නට රාජ නියෝග කළේ ය.
සිරිමෙවන් රජුගේ පරම්පරාවෙන් පැමිණ මේ ලංකාද්වීපයෙහි රජ බවට පත්වූ සියලු රජවරු ඒ රජුගේ රාජාඥාව රකිමින් මහා මිහිඳු පිළිම වහන්සේට පැවැත්විය යුතු පූජා විධිවිධාන නොකඩවා පවත්වනු ලබත්. ඉන් පසු මහා පවාරණ දිනයේ දී මහා මිහිඳු පිළිම වහන්සේ නගරයෙන් මහා විහාරයට වැඩමවා වාර්ෂිකව වප් මස දහතුන් වැනිදා පුද පූජා පවත්වන්නට නියෝග කළේය.
ඒ අපගේ පරම කල්යාණ මිත්ර වූ ලංකාදීපප්පසාදක වූ මිහිඳු මහ රහතන් වහන්සේට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් නමස්කාර කරමි. අපගේ නමස්කාරය වේවා!