ලොව සියලු දෙව් මිනිසුන්ගේ නොවරදින එක ම සරණය නම් බුද්ධ, ධම්ම, සංඝ යන තිසරණය යි. තිසරණයෙහි ගුණ පිළිබඳ අවබෝධයෙන් පැහැදුණු තැනැත්තා තම ජීවිතයෙහි මහත් වූ ජයක් ලැබුවා වේ. තිසරණය පිහිට කර ගත් තැනැත්තා තම වස්තු දේපළවල සිට ජීවිතයට හානියක් වන අන්දමේ ආපදාවක් දක්වා ඕනෑම ගැටලුවක දී නොසැලුණු මනසින් යුතු ව ක්රියාකිරීමේ හැකියාව ලබයි.
ලොව උපන්නා වූ සෑම සත්ත්වයකු ම දුකට උරුමකම් කියයි. පෙර කරන ලද අකුසල කර්මයන් කිසිවක් නැති අයකු වුවද ලෝක ස්වභාවය හේතුවෙන් ඇතිවන දුක්ඛිත තත්ත්වයන්ට මුහුණ දෙයි. කය දිරාපත් වීම, ඍතු විපර්යාස හේතුවෙන් රෝග වැලඳීම, මිනිසාගේ තෘෂ්ණා මූලික පැවැත්ම හේතුවෙන් ගැටලුවලට මුහුණපෑමට සිදුවීම, කෙලෙස් සහගත සිතිවිලි පාලනයට ප්රමාද වීම හේතුවෙන් ගැටලු ඇතිවීම, තම සමීප ඥාති මිත්රාදීන්ගේ අභාවයන් සිදුවීම යනාදිය කර්ම විපාකවල බලපෑමක් නොව, ලෝකයෙහි සාමාන්ය ක්රියාකාරිත්වය හේතුවෙන් දෙව් මිනිස් සියල්ලන්ට ම මුහුණපෑමට සිදුවන කටුක අත්දැකීම් වේ.
අපට මුහුණපෑමට සිදුවන ඇතැම් ගැටලුවල දී එයට විසඳුමක් සැපයීමට සමත් අයකු හෝ අප සිටින තත්ත්වය වටහා ගැනීමෙහි සමත් අයකු හෝ අප සමීපයෙහි නොසිටිය හැකි ය. එවැනි අවස්ථාවන්හි දී අපි බොහෝ සේ අසරණ වෙමු. “මා සිටින තත්ත්වය තේරුම් ගැනීමෙහි සමත් කිසිවකුත් නැත” යි කලකිරීමට පත්වෙමු.
තම ගැටලුවට විසඳුමක් සොයා ගැනීමට අසීරු වන මෙවැනි තත්ත්වයන් හමුවේ ඇතැම් දෙනා “ජීවිතය තවදුරටත් පවත්වාගෙන යෑම නතර කිරීමට තීරණය කරති. එනම්, සියදිවි නසා ගැනීමට තීරණය කරති. සියදිවි නසා ගැනීමෙහි අනර්ථකාරී බව කොතෙක් දැන සිටියද, අපට එම අවස්ථාව පරිදි ඇති එක ම විසඳුම තම ජීවිතය අවසන් කිරීම ලෙස පෙනිය හැකි ය. මේ සියලු ගැටලු ඇතිවන්නේ ජීවත් වීම නිසා ය. ජීවත් වීම නතර කර දැමූ දා ගැටලුවලින් මා නිදහස් වන්නේ ය” යි සිතීම නිසා සිත සැහැල්ලුවකට පත්වී එම තීරණය ක්රියාත්මක කිරීමට පෙළඹීම සිදුවිය හැකි ය.
තම ජීවිතය අවසන් කිරීමට ගත් තීරණයක් ප්රත්යාවර්තනය කිරීම බෙහෙවින් අපහසු ය. එසේ ම, එවැනි සිතිවිල්ලක් සිතෙහි පැන නැගෙන මොහොතක තමා සමඟ සිටින එක ම තැනැත්තා ‘තමා පමණක්’ ද විය හැකි ය. නොයෙක් සිතිවිලිවලින් වියවුල් වූ මනස කරුණු විමසා බැලීමෙහි යෙදවීම හෙවත් බුද්ධිය මෙහෙයවා ක්රියා කිරීම ඉතා අසීරු කාර්යයකි. එසේ ම, අයෙක් අනතුරට පත් ව සිටියදී ඔහු වෙනුවෙන් තම කාලය, ශ්රමය, ධනය වියදම් කරන්නට සිදුවේ ය’ යන බියෙන් බොහෝ දෙනා ඔහු හැරදැමීමට පෙළඹීම ලෝක ස්වභාවයකි.
ජීවිතයෙහි අප නොසිතන අවස්ථාහි දී, කිසි දිනෙකත් සිදුවේයැ යි නොසිතන ආකාරයේ ගැටලුවලට, ආපදාවලට මුහුණපෑමට අපට සිදුවනු ඇත. ඇතැම්විට, ගැටලුවෙහි අප තනි කොට තබා අපගේ සමීපතමයන් අප හැරදමා යා හැකි ය. එවැනි ඉතා පීඩාකාරි අවස්ථාවල දී අපට ඒකාන්තයෙන් පිහිට කර ගත හැකි යමක් වෙත් නම්, ඒ අප පෙර කළ කුසලයන්ගේ සත්යානුභාවය සහ ත්රිවිධ රත්නයෙහි පිළිසරණ ය.
සියල්ලන්ට ම තම ජීවිතයෙහි යහපත් කාලයන් එලඹෙන්නේ ය. කවර කලෙකත් ලොව බොහෝ දෙනා මෙම සුඛිත වූ කාලවල දී කා බී එකිනෙකා සමඟ විනෝද වෙමින්, දෙලොවටම අර්ථයක් නොවන පරිදි කාලය ගෙවා දමති. තම ජීවිතයෙහි පිහිට පිණිස තම තමන් විසින් කුසල් රැස් කළ යුතු ය’ යන බුදු වදනකුදු එම කාලයෙහි සිහිපත් නොවේ. කුසල් කරන්නවුන්ට ද බියගුල්ලන් ලෙස අපහාස කරමින්, තමා කරදර, බාධක නොඑළඹෙන්නකු සේ ක්රියා කරති. එසේ ම, දුකට පත්ව සිටින අය දැක එය ඔවුන්ගේ දුර්වලකමක් යැයි සරදම් කරයිි.
නමුත්, කවර දා හෝ තමාට දුක්පීඩා එළැඹෙන විට ඒ හපන්කම් හැමට ම තිත තබන්නට සිදුවේ. අනෙකාට කළ නින්දා, අපහාස තමාට විඳින්නට සිදුවේ. කුසලයෙහි ප්රමාද වූ බැවින් තම පිහිට පිණිස උපයෝගි කර ගත හැකි යමක් ද නොවේ. සිත පුහුණු නොකළ බැවින් තම පිළිසරණ පිණිස තමන්ගේ සිත හෝ උපයෝගි කර ගැනීමට නොහැකි තරම් අසරණ බවට පත්වේ. ත්රිවිධ රත්නයෙහි ගුණ ඇසුරින් සත්ය ක්රියා කිරීම පිණිස තුනුරුවනෙහි ගුණ දැන ගන්නට ප්රමාදවීමෙහි දෝෂය වැටහේ.
කුසල අරමුණුවල සිත පිහිටුවා ගැනීමටත්, මනා සිහිනුවණින් යුතු ව කුසල කර්මවල නිරත වීමටත් අවකාශ ලැබෙන්නේ ජීවිතයක ගැටලු, කරදර අවම ව පවතින කාලවල දී පමණි. තමා සිදුකරන ඕනෑම යහපත් ක්රියාවකින් ජනිත වන කුසල ශක්තිය බලවත් කර ගැනීම පිණිස මනස කෙලෙසුන්ගෙන් දුරු ව තිබීම අවශ්ය ය. එසේම සිදුකරන ක්රියාව පිළිබඳ සිහි නුවණක් පැවතීම ද අත්යවශ්ය ය. ජීවිතයෙහි පීඩාකාරි අවස්ථාවල දී සිතෙහි බහුල වශයෙන් පවතිනුයේ බිය, සාංකාව, ද්වේශය, මසුරු බව, පළිගැනීමේ චේතනාව ආදි අකුසල සිතිවිලි ය. එවැනි අකුසල සිතිවිලිවලින් ගහන වූ මනසකින් සිදු කරන දානාමානාදි පින්කම්වලින් ජනිත වන කුසල ශක්තිය ද දුර්වල වන අතර ම, පින්කම් සිදුකිරීමේ දී ප්රතිග්රාහකයාට සිදුවන යහපත ගැන සිතනු වෙනුවට තමා වෙත බොහෝ කුසල් ඒකරාශි කර ගත හැකි ආකාරය ගැන සිතා පින්කම් සංවිධානය කරති. එවැනි පින්කම්වලින් දායක ප්රතිග්රාහක දෙපිරිසට ම සිදුවන යහපත අවම ය.
එබැවින් තම ජීවිතයෙහි පිළිසරණය පිණිස කුසල් රැස් කළ යුත්තේ ද, ධර්ම ශ්රවණය කර, පොත පත කියවා තෙරුවන් ගුණ හැඳින ගැනීම කළ යුත්තේ ද, සිතිවිලි පාලනය කර ගැනීම පිණිස මනස පුහුණු කළ යුත්තේ ද ජීවිතයට කරදර පීඩා එළැඹීමට පෙර ය.
තථාගත ධර්මයෙහි ඇති සත්යවාදී බවත්, ප්රායෝගික බවත් වටහා ගන්නා තැනැත්තා එම ධර්මය ලොවට හෙළිදරවු කළ බුදුරජාණන් වහන්සේ ද, තථාගත ධර්මය වඩාත් ගැඹුරින් පිළිපදින ශ්රාවක සංඝරත්නය ද කෙරෙහි පැහැදීමක් ඇති කර ගනියි. එසේ ඇති කර ගන්නා වූ පැහැදීම හේතුවෙන් ඔහුට මෙලොව මෙන් ම පරලොව ජීවිතයෙහි දුක්ඛිත තත්ත්වයන් හමුවේ උපේක්ෂා සහගතවීමේ ශක්යතාව හිමිවන අතර, අභියෝග හමුවේ හඬා වැළපෙන ලෝකයා අතරෙහි ඔහු ලෝක ස්වභාවය පිළිබඳ මනා අවබෝධයෙන් යුතු ව ජීවිතය පවත්වා ගෙන යෑමෙහි සමත් වේ.
ටී. සේනානායක