උපුල්වෙහෙරෙ සුඛිත හිමි
වර්තමානයේ ගුරු-සිසු සම්බන්ධතාව තුළ වූ මිත්රත්වය, සුහදත්වය පිරිහී ඇත්තේ දෙපර්ශ්වයේ ම දෝෂයෙනි. ශිෂ්යයා ගුරුවරයා දකින්නේ දැනුම අලෙවි කරන වෙළෙන්දකු ලෙස ය. “මම මුදල් ගෙවමි, ගුරුවරයා උගන්වයි” යන ගනුදෙනුවකට පමණක් එය සීමා වී ඇත. සමහර ගුරුවරුන් ද ශිෂ්යයා දකින්නේ තම මාසික ආදායම සපයන පාරිභෝගියකු ලෙස ය. ගනුදෙනුව අවසන් වූ විට සම්බන්ධතාව ද අවසන් වේ. නමුත් බැඳීම් ජීවිත කාලය පුරා ම පවතී.
අතීතයේ ශිෂ්යයන් තම ගුරුවරුන්ට ජීවිත කාලය පුරා ම ගෞරව කළේ එම බැඳීම නිසා ය. වර්තමාන උපකාරක පන්තියේ ශිෂ්යයාට පන්තිය අවසන් වූ පසු ගුරුවරයා අමතක වන්නේ එහි පැවතියේ ගනුදෙනුවක් පමණක් නිසා ය.
ගුරු-සිසු සම්බන්ධතාව යහපත්ව දකින බුදුන් වහන්සේගේ අනුශාසනා ත්රිපිටකය පුරාවට අන්තර්ගත වී තිබේ. සිඟාලෝවාද, ආචරිය, කල්යාණමිත්ත, පඨම ඕවාද වැනි සූත්ර දේශනා තුළ ඒ බව මනාව පැහැදිලි කරයි. අප ශාස්තෘන් වහන්සේ හැඳීන්වීම සඳහා භාවිත කළ “සත්ථා දේවමනුස්සානං” යන්නෙන් ලොව පහළ වූ ශ්රේෂ්ඨතම ගුරුවරයා මෙන්ම, ශ්රේෂ්ඨතම කල්යාණ මිත්රයාණන් වහන්සේ ද වෙති. මේ ගති ලක්ෂණය නිසා ම උන්වහන්සේ සමීපයට ඔදවැඩී ගිය දෙව්, මිනිස්, බඹන් සහිත සත්ත්ව ප්රජාවට ම සාර්ථවාහකයකු මෙන් හික්මවිය යුතු පිරිස හික්මවමින් සසර කතරින් එතෙර කොට නිර්වාණය නමැති ක්ෂේම භූමියට පමුණුවන බැවින් සත්ථා නමින් හඳුන්වයි. ඒ අනුව බුදුපියාණන් වහන්සේ තුන් ලෝකයට ම ශාස්තෘවරයා වූ බැවින් තිලෝගුරු නමින් හැඳීන්විණි. පෙළ සාහිත්ය තුළ ගුරුවරයකු ලෙස උන්වහන්සේ ඇගයීම සඳහා විවිධ පර්යාය වචන භාවිත වී ඇත. ඒ අතර,
මග්ගඤ්ඤු-මාර්ගය නිවැරැදිව දකින
මග්ගක්ඛායි -මාර්ගය නිවැරැදිව කියන
මග්ගකෝවිදෝ -මාර්ගය කීමේ දක්ෂ
යනාදී පද රාශියක් උන්වහන්සේ හැඳීන්වීමට භාවිත කළත්, වඩාත් සුදුසු ම නාමය වන්නේ සබ්බඤ්ඤු (සියල්ල දත්) හෙවත් සර්වඥ යන්නයි. ශ්රාවක ශ්රාවිකාවන්ගේ බුද්ධි මට්ටම, මානසික ස්වභාවය, දෘෂ්ටිමය පදනම, සාමාජික පරිසරය ආදිය සැලකිල්ලට ගනිමින් ලෞකික හා ලෝකෝත්තර දියුණුව වෙනුවෙන් විවිධ පර්යායන් (වෙනස් ක්රම) අනුගමනය කරමින් දහම් දෙසීම සිදු කොට තිබේ. මෙම ඉගැන්වීම් ක්රම නූතන දරුවන්ගේ අධ්යාපනික ඉගැනුම් ඉගැන්වීම් සඳහා යොදාගැනීම වඩාත් කාලෝචිත මෙන් ම විවිධ ප්රශ්න මඟ හරවාගෙන මිත්රශීලී ව කටයුතු කිරීමට හැකියාව පවතී. තව ද ගුරු-සිසු ඇසුර විධිමත් අන්දමින් පවත්වා ගෙන යෑමට මිළින්ද ප්රශ්නය නම් කෘතියේ දී නාගසේන ස්ථවිරයන් වහන්සේ විසින් මිළිඳු රජුට යහපත් ගුරුවරයකු සතු ශික්ෂණය කරුණු 25ක් උපයෝගි කොට ගෙන සංවාදය සිදු කරන ලදී. ඒවා නම් සීලසම්පන්න විය යුතුයි, බහුශ්රැත විය යුතුයි, සමාධියෙන් යුක්ත විය යුතුයි, ප්රඥාවන්ත විය යුතුයි, මෙත්තා සහගත විය යුතුයි, කරුණාවන්ත විය යුතුයි, ඉවසිලිවන්ත/ක්ෂාන්තිවන්ත විය යුතුයි, නිහතමානී විය යුතුයි, වංචා නැති විය යුතුයි, නොසඟවා සියල්ල කියාදිය යුතුයි, අනතුරෙන් ආරක්ෂා කිරීම, හොඳ ඇසුරට යොමු කිරීම කළ යුතුය, අවවාදයට සුදුසුයි,
ගැඹුරු ධර්මය පහදා දීම, යහපතට පොළඹවනවා, උත්සාහවන්ත කරවනවා, සතුට ඇති කරවනවා, කාලයට සුදුසු දේ කියනවා, සත්ය පමණක් කියාදෙන, මෘදු වචන ඇති, තේරුම් ගැනීමට හැකි උපමා කතා කියාදෙන, ශිෂ්යයාට වෙහෙසක් වෙන්න උගන්වන්නෑ, ශිෂ්යාගේ හැකියාව දැන උගන්වනවා, නිවනට යොමු කරවන යන උතුම් ගුණ ධර්ම පූරණය කරන කල්යාණ මිත්ර ගුරුවරයෙක් වශයෙන් පිළිගැනෙයි.
හොඳ ගුරුවරයෙක් සිටීම පමණක් ම ප්රමාණවත් නොවේ, උන්වහන්සේ මේ කාරණාව උපමාවකින් පවසන්නේ‘පහන තිබ්බට ඇස් පියන් ඉන්න මිනිහකුට එළිය නොපෙනේනාක් මෙන්’ හොඳ ශිෂ්යයෙක් ළඟත් යහපත් ගතිගුණ තිබිය යුතු බවයි. ගෞවරවය ඇතිව ඇසුරු කිරීම, ශ්රද්ධාව, නිහතමානී බව, යටහත් පහත් බව/කීකරු බව, සොයා දැන ගැනීමට කැමති බව, සිහි නුවණින් ඇසීම, ඉවසීම, උත්සාහය/වීර්යය, ගුරු ඇසුරට යාමට ලජ්ජා නැති බව, ගුරුවරයාට උපස්ථාන කිරීම.
මෙම කාරණා ඉදිරිපත් කොට පෙන්වා දෙන්නේ ‘වතුර පෙරන පෙරහන්කඩයක්’ මෙන් විය යුතු බවයි. මක් නිසා ද යත් රෙද්දෙන් පෙරෙනකොට කොච්චර පෙරුවත් කුණු යන්නැතුව වතුර විතරක් පෙරෙනවා වගේ, හොඳ සිසුවා ගුරුවරයාගේ නරකක් තිබ්බත් ඒක අතහැරලා හොඳ විතරක් ජීවිතයට ගත යුතු බවයි. ‘රෝගියෙක් වගේ’ තමාට වැලඳී ඇති රෝගය වෙදැදුරාට බය නොවී ලෙඩේ පවසන්නා සේ ශිෂ්යයාත් තමන් නොදන්නා දේ, වැරැදි ලජ්ජාශීලි නොවී ගුරුවරයාට පැවසිය යුතු වේ.
මේ කරුණු මීට පෙර අඩු වශයෙන් අපට මුණ ගැසී ඇති වටිනා සංවාදාත්මක දේශනා බව හඳුන්වාදිය හැකි වේ.
ගතිගුණ, සිරිත් විරිත්, ඇවතුම් පැවතුම් අතින් වර්තමාන සමාජයේ පිරිහීමක් අද වන විට පෙන්වන ලකුණු පහළව ඇත. එයට මව්පිය, වැඩිහිටියෝ ද, විශේෂයෙන් ම ගුරුවරුන් ද වගකිව යුතු ය. ළමයා ගුණ නුවණින් දියුණු වන්නේ පාසලෙනි, සිරිත් විරිත් වැඩි වශයෙන් පුහුණු වන්නේ නිවෙසිනි. මෙම ආයතන දෙක ම නිවැරැදි සංකල්ප, සදාචාර දේ නිතැතින් ම ළමයින්ට ලබා දිය යුතු ය. විශේෂයෙන් ම අපගේ මාතෘකාවට අනුව ගුරුවරයාට සමාන මිතුරෙක් ලොව නැත යන්න අවධාරණය කරන මූලික ළමා මනසට කාවද්දන උපදේශ සාහිත්යයට අයත් මාහැඟි ග්රන්ථයක් ලෙස ‘සිරිත් මල්දම’ හැඳින්විය හැකි ය. එයින් උපුටාත් කව් පදයක් නම්,
ගුරු බස සැබෑ ම ය
එය පිළිගැනුම යුතු ම ය
පඬි බසත් එය ම ය
එයින් දෙලොවෙහි
මහත් සැප ම ය
ගුරුවරු කිසිම විට
සතුටු නොම වෙති තැළුමට
හොඳීන් එය සිහි කොට
වැරැදි නොකරන් තැළුම් කෑමට
වැරැදි කළ අයහට
දඬුවම් දෙන්නෙ හැදුමට
හැදෙන අය එම විට
හොඳීන් කීකරු වෙති නැමී සිට
ගුරු බස පිළිගැනීමත්, නුවණැත්තන්ගේ වදන් පිළිගැනීමත් පුද්ගලයාගේ මෙලොව හා පරලොව සැප ලැබීමට උපකාර වේ. තමාට අධ්යපනය ලබා දෙන ඇදුරන් කිසිම විට දඬුවම් කිරීමට කැමති නොවෙති. එය සිහි තබාගෙන වැරැදි නොකර, හොඳීන් පාඩම් කටයුතු සිදු කිරීමට උපදෙස් සපයයි.
ගුරු සිත රිදවන, වැරැදි කරන අයට දඬුවම් දෙන්නේ වරදෙන් මුදාගෙන යහපතෙහි යෙදවීමේ අරමුණෙනි. හැදෙන දරුවෝ එය දැක කීකරුව හැසිරෙත්
මෙවැනි සදූපදේශයන් සමාජයේ ජීවත්වන සෑම දෙනාට ම යහපත පිණිස පවතී. අද වන විට අධි තරගකාරීත්වය හේතුවෙන් පුද්ගල හදවත්වල ඇති ආදරය, කරුණාව, ගෞරවය හා මානුෂීයත්වය අහිමි වීමේ අවදානමක් පෙන්නුම් කරන අතර, සමාජයට ගුරු සිසු සම්බන්ධතා යහපත් කර ගැනීමට මෙම කරුණු වස්තු බීජයක්.