ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
නිවස බෞද්ධ දර්ශනයසෑම පින්කමක් ම භාවනාවක් කර ගනිමු

සෑම පින්කමක් ම භාවනාවක් කර ගනිමු

by damith
October 18, 2026 1:05 am 0 comment

මහෝපාධ්‍යාය, අග්ගමහා කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකධාරාචාර්ය 
නා උයනේ අරියධම්ම මාහිමි

දානය යනු පරිත්‍යාගයකි. පරිත්‍යාග කුසල කර්මයකි. දන් දෙන හැම දෙනාටම සසර සුඛ සේ ම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබාදෙන උතුම් නිවන් සුවය ලබා ගැනීමට උපකාර වන ඉතා වටිනා පුණ්‍ය කර්මයකි. දානය දීමට පෙරත්, දන් දෙන අවස්ථාවේදීත්, දානය පූජා කිරීමෙන් පසුවත් තමාගේ තුන් සිත පහදාගෙන දානය මහත්ඵල මහානිශංස කර ගැනීම ශ්‍රාවකයාට හැකියාව ඇත. දානය පාරමිතාවක් ලෙස දියුණු කර ගත යුත්තේ කෙසේද කියා නා උයනේ අරියධම්ම මාහිමියන් විසින් රචිත මහත්ඵල ලැබීමට නම් මෙසේ දන් පින්කම් කළයුතුය, යන ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ පළ වේ.

මෙම ධර්ම කරුණු අපි මැනවින් අවබෝධ කරගෙන, සෑම පින්කමක දී ම විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය, ඥාන සම්ප්‍රයුක්ත බව අවධි කර ගන්නට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට ගත යුතු අරමුණු රාශියක් තිබෙනවා. ඒවා නම්, බෝධිසත්ත්වයන් වහන්සේ දාන පාරමී පිරූ ආත්ම භාවයන් සිහියට නඟාගැනීම. අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ විසින් දාන පාරමිතා පිරූ ආත්ම භාව පිළිබඳ ව සිහි කර කර, සිහි කර කර, පින්කම්වල යෙදෙන විට එම පින්කම අතිශයින් ම ඥාන සම්ප්‍රයුක්ත පින්කමක් බවට පත්වෙනවා.

තම තමා විසින් කරන පින්කම භාවනාවට හරවන්නට පුළුවන්. බුද්ධානුස්සතියට හරවන්නටත් හැකි වෙනවා. ධම්මානුස්සතියට, සංඝානුස්සතියට හරවන්නට හැකි වෙනවා. පින්කම සිව්බඹ විහරණයට හරවන්නටත් පුළුවන්. තමා කරන පින්කම සීලානුස්සතියට, උපසමානුස්සතියට හරවන්නත් හැකි වෙනවා.

ඊටත් වඩා භාවනානුයෝගී පිරිසකට විශේෂයෙන් ම නාම, රූප, ස්කන්ධ, ආයතන ආදී වශයෙන් බැලීම වැදගත් වෙනවා. යම් කෙනෙක් විසින් මහා සංඝයාට පිණ්ඩපාත දානයක් පූජා කරනවා, චීවර, සේනාසන ආදිය පූජා කරනවා කියලා අපි සිතමු.

එම පූජාව තුළ මොනවද තිබෙන්නේ?

රූප කලාප අටක් පමණයි. මේ පූජා නොයෙක් නම්වලින් හඳුන්වනවා. ඒත් ඒ වස්තු ඇතුළේ තිබෙන්නේ රූප කලාප අටක් පමණයි. ඒවා නම්, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා මෙම සුද්ධාෂ්ඨක සමූහය යි.

චීවර නාමයෙන් හඳුන්වන්නේ, පිණ්ඩපාතය, සේනාසන, ගිලන්පස නමින් හඳුන්වනු ලබන්නේ, අපේ ඇඳුම් පැලඳුම්වල තිබෙන්නේ, වාඩි වෙන ආසනවල තිබෙන්නේ, ගෙවල්වල තිබෙන්නේ, වහලවල තිබෙන්නේ හැම දේක ම තිබෙන්නේ සුද්ධාෂ්ඨක සමූහයක්. එම සුද්ධාෂ්ඨක සමූහය අපි හරවා බැලිය යුතු වෙනවා. මෙම දාන වස්තුව සමඟ කෙසේද? මෙම දාන වස්තුවේ තිබෙන ‘තද ලක්ෂණ’ පඨවි ධාතුව රූප ස්කන්ධයකි. පොට්ඨබ්බායතනයකි, පොට්ඨබ්බ ධාතුවකි, දුක්ඛ සත්‍යයකි. මෙම දාන වස්තුවේ තිබෙන ආබන්ධන ලක්ෂණය ආපෝ ධාතුව, රූප ස්කන්ධයකි. රූපායතනයකි. ධර්ම ධාතුවකි. දුක්ඛ සත්‍යයකි.

මෙම පූජා වස්තුවේ තිබෙන උණ් හත්ථ ලක්ෂණය, තේජෝ ධාතුව රූපස්ඛන්ධයකි. පොට්ඨබ්බායතනයකි. පොට්ඨබ්බ ධාතුවකි. දුක්ඛ සත්‍යයකි.

මෙම පූජා වස්තුවේ තිබෙන විෂ්කම්භණ ලක්ෂණය, වායෝ ධාතුව, රූප ස්කන්ධයකි. පොට්ඨබ්බ ආයතනයකි. පොට්ඨබ්බ ධාතුවකි, දුක්ඛ සත්‍යයකි.

ඇසට ලක්වනසුලු වර්ණ රූපය, රූප ස්කන්ධයකි. රූපායතනයකි, රූප ධාතුවකි, දුක්ඛ සත්‍යයකි.

ඝාණයට ලක්වන ගන්ධ රූපය, රූප ස්කන්ධයකි, ගන්ධ ආයතනයකි, ගන්ධ ධාතුවකි, දුක්ඛ සත්‍යයකි.

දිවට ලක්වන රස රූපය, රූප ස්කන්ධයකි, රස ආයතනයකි, රස ධාතුවකි, දුක්ඛ සත්‍යයකි.

රූප උපදවනසුලු ඕජා රූපය, රූප ස්කන්ධයකි. රූපායතනයකි. ධර්ම ධාතුවකි. දුක්ඛ සත්‍යයකි.

ශබ්ද අරමුණු දැන ගන්නා ප්‍රසාදය, සෝතප්‍රසාදයකි.

ගන්ධ අරමුණු දැන ගන්නා ප්‍රසාදය, ඝාණ ප්‍රසාදය යි.

රස අරමුණු දැන ගන්නා ප්‍රසාදය ජිව්හා ප්‍රසාදය යි.

සීතල, උණුසුම පිළිබඳ ව ස්පර්ශ අරමුණු දැන ගන්නා ප්‍රසාදය, කාය ප්‍රසාදය යි. මේ තමයි ප්‍රසාද රූප පහ.

ඇසට ලක්වන වර්ණ රූපය, වර්ණය යි. සෝතයට ලක්වන ශබ්ද රූපය, ශබ්දය යි. ඝාණයට ලක්වන ගන්ධය, ගන්ධ රූපය යි. දිවට ලක්වන රසය, රස රූපය යි. සියල්ල විෂය රූප හතරයි,

මේ ස්ත්‍රිය, මේ පුරුෂයා කියා වෙන් කොට ගත හැකි විදර්ශක භාවය, ස්ත්‍රී භාව රූපය යි. පුරුෂ භාව රූපය යි. මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතූන්ට නිශ්‍රය වන වස්තු රූපය, හෘදය වස්තු රූපය යි. කර්මජ රූප කලාපයක් පාසා රූප ජීවත් වනසුලු ඉන්ද්‍රිය ජීවිතීන්ද්‍රිය යි. නැවත නැවත රූප කලාප ඉපදීමේ සමර්ථ වූ ඕජා රූපය ආහාර රූපය යි. රූප කලාපයන්ගේ වෙන් කරවනසුලු අවකාශය, පරිච්ඡේද රූපය යි. කයෙන් අදහස් හඟවන්නා වූ රූපය කාය විඤ්ඤත්තිය යි.

වචනයෙන් අදහස් හඟවන්නා වූ රූපය වචී විඤ්ඤත්ති රූපය යි, රූප කලාපයන්ගේ සැහැල්ලු බව දක්වන්නේ ලහුතා රූපය යි. රූප කලාපයන්ගේ මෘදු බව දක්වන්නේ මුද්‍රතා රූපය යි. රූප කලාපයන්ගේ පළමුවැනි හටගැන්ම උපචය රූපය යි. රූප කලාපයන්ගේ පරම්පරා පැවැත්වීම සන්තති රූපය යි. රූප කලාපයන්ගේ ඨීතියට පත්වීම ප්‍රතා රූපය යි. රූප කලාපයන්ගේ භංගක්ෂණය අනිත්‍යතා රූපය යි. මේ තමයි රූප විසි අට.

මෙම ආධ්‍යාත්මික සන්තානවල මෙසේ රූප විසි අටක් තිබෙන අතර, රූප කලාප වශයෙන් විසි එකක් තිබෙනවා. කර්මජ කලාප නවය යි. චිත්තජ කලාප හයයි. සෘතුජ කලාප හතරයි. ආහාරජ කලාප දෙකයි. සියල්ල විසි එකයි. මෙම කර්මජ, චිත්තජ, සෘතුජ, ආහාරජ යන චතු සමුට්ඨානා වූ ආධ්‍යාත්මික රූපත්, බාහිර වශයෙන් තිබෙන සුද්ධාෂ්ඨක රූපත් සියල්ල සම්පිණ්ඩනය කරගෙන භාවනාවට හරවනවා.

අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, ආධ්‍යාත්මික වූ ද, බාහිර වූ ද මෙම සියලු ම රූප කලාප ඇතිව, නැතිව යන බැවින් අනිත්‍යයි. “අනිච්චං, සංඛතං” හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා බැවින් සංඛතයි. ‘පටිට්ච සමුප්පන්නං’ එක එක හේතූන්ගෙන් හටගෙන උපදින බැවින් පටිච්ච සමුප්පන්න යි, ‘වය ධම්මං’ චිත්තක්ෂණයෙන්, චිත්තක්ෂණයට වැය වේවි යන බැවින් අනිත්‍යයි. ‘දුක්ඛං භයට්ඨෙන’ භයට හේතු වන බැවින් දුකයි ‘අනන්තතා අසාර තට්ඨෙන’ අසාර බැවින් අනාත්මයි. ‘නේතං’ මම, මෙම සියලු ම රූප මගේ කියා ගත නොහැකි බැවින්, ‘නේසෝ හමස්මි’ මෙම රූප සියල්ල ‘මම’ වෙමි යි කියා ගැනීමට සුදුස්සක් මෙහි නැත.

මතු සම්බන්ධයි

You may also like

Leave a Comment