ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
නිවස බෞද්ධ දර්ශනයසසර දැවීමට හේතු එපා

සසර දැවීමට හේතු එපා

by damith
October 18, 2026 1:04 am 0 comment

ලොව පවතින සියලු දේ දුකක් බව දැක දැකත් මනුෂ්‍යයන් ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ නැත. දුක බාහිරින් දැක්කාට පලක් නොවේ. දුක අභ්‍යන්තරයෙන් තමන් තුළට ගළපා ගෙන දකින්න අවශ්‍යයි. දුක තමන් වෙත එනකොට, දුක දැනෙන කොට අපි හිතනවා, අනේ ඇත්තනේ, මේක දුකක් තමයි කියලා. නමුත් දුක නැති වුණා ම සැප වේදනා වෙන කොට ඒ පුද්ගලයාට අමතකයි, ඇත්තටම මේ ජීවිතයේ දුකක් තියෙනවා කියලා.

වඳුරන්ට වහින කොට හිතෙනවලු ගෙයක් හදන්න. හැබැයි වැහැලා ඉවර වුණා ම වඳුරට ගෙයක් හදන්න ඕනෑ කියන එක අමතක වෙලා යනවා. අප අතර සිටින බහුතරයක් දෙනාටත් තියෙන්නේ මේ මානසිකත්වය. මෙතැනදී මනුෂ්‍යයා සතකුට සමාන කළා නොවේ. දුක අපි කරා එනකොට මේක දුකයි කියලා දැනෙනවා. දුකෙන් නිදහස් වෙන්න තියෙනවා නම් හොඳයි කියලත් හිතෙනවා. නමුත් දුක්, වේදනාව නැති වෙලා සැප වේදනාව ආව ගමන් වඳුරට ගේ හදන්න අමතක වුණා වගේ අපටත් දුකෙන් නිදහස් වෙන මාවත අනුගමනය කරන්න ආයෙමත් ප්‍රමාද වෙනවා. ඒ නිසා වඳුරට අදටත් ගෙදරක් නැහැ. දුකයි දුකයි කියලා කියන අපටත් තවම දුකෙහි නිමාවක් නැහැ.

එනිසා බාහිරින් දුක දැකලා විතරක් මදි. එය තමන්ගේ ජීවිතයට ගලපාගෙනත් බලන්න. එවිට බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක, ජරාපි දුක, ව්‍යාධිපි දුක කියලා මේ දුක ගැන වදාළේ මොකක්ද කියලා නිවැරැදිව අපට ග්‍රහණය කර ගන්න පුළුවන්.

පටිච්ච සමුප්පාදයේ තියෙනවා උපාදාන පච්චයා භවෝ කියලා. උපාදානය ඇති කල්හි තමයි භවය කියන එක සැකසෙන්නේ කියලා. භවයෙහි ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් සංසාරික ව පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය සකස් වන ආකාරය. අවිද්‍යාවෙන් පටන් ගෙන සංකාර, නාම, රූප ආදී ලෙස යන ගමනක් තියෙනවා.

අනෙක මේ වෙලාවේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ස්වභාවයක් තියෙනවා. එයට ධර්මයේ කියනවා ඉදපච්චයතා පටිච්ච් සමුප්පාද කියලා. අපි මේ කතා කරන වෙලාවේ පවා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. මේ දෙකම තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි, ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් දුක් විඳීන, පීඩා විඳීන ඔබ රාගාදී ගිනි නිවාගන්න මහන්සි ගන්න, නැවතත් ඒ ගින්නට හේතු හදන්න එපා කියලයි.

පැරැන්නෝ කියනවා, ඇවිලෙන ගින්නට පිදුරු දාන්න එපා කියලා. ඒ කියන්නේ මේ එළියේ පත්තු වෙන ගින්දරකට පිදුරු දාන්න එපා කියන එක නෙවෙයි. සංසාරයේ දැවෙන ඔබ නැවත දැවීමට හේතු හදන්න එපා කියන එකයි. එක මනුස්සයෙක් ගින්දරට තව පිදුරු දානවා. තව මනුස්සයෙක් ගිනි ගත්ත ගින්දර ගොඩට කිසිම හේතුවක්, ප්‍රත්‍යයක් ළං කරන්නේ නැහැ. ඒ කියන්නේ දර දාන්නෙත් නැහැ. ගොම දාන්නෙත් නැහැ. පිදුරු දාන්නෙත් නැහැ. එතකොට හටගත් ගින්න නිවිලා යනවා. එතැනින් එහාට ගින්නට යන්න හේතු නැහැ. දර තිබුණොත්නෙ තව තව ගින්දර වැඩි වෙන්නෙ. වාහනයක දුර යන්න පුළුවන් වෙන්නේ තෙල් තිබුණොත් විතරයි. ඒ කියන්නේ උපාදානය තිබුණොත් ම විතරයි විපාක පිණිස අපි කර්ම හදන්නේ. උපාදානය නැත්නම් කිසිම තැනක භවයක් පැනවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා උපාදානය, නැත්නම් මමත්වය අතහැරලා නම් එය පංච උපාදානස්කන්ධයේ පහළවීම පිණිස නැවත කිසිදු කර්මයක්, සංස්කාරයක් රැස්කරන්න යන්නේ නැහැ. සංස්කාර ම දුකක් කියලා ධර්මයේ තියෙනවා. දුකක් වූ සංස්කාර රැස්කරන්නේ නැතිනම් නැවත පෙරළා දුකක් හදන්න විදියක් නැහැ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සෑම මොහොතෙම භව නිරෝධය පිණිසයි වෑයම් කරන්න ඕනෑ. හේතුව විපාක පිණිස කර්ම හදන්නේ නැත්නම් නැවත ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් පනවන්න බැහැ. කර්ම භවය තිබුණොත් තමයි උත්පත්ති භවයක් පනවන්න පුළුවන්. කර්ම භවය සකස් වෙලා නැත්නම්, විපාක පිණිස අපි හේතු හදන්නේ නැත්නම් නැවත අපට ජරා මරණය කියන එක උරුම කර දෙන්න බැහැ.

ශ්‍රාවකයෙක් ධර්මය ශ්‍රවණය කරන කොට ඒ ධර්මය ශ්‍රවණය කිරීම නිවනට උපකාර වෙන්න නම් හැකි තරම් අපේක්ෂා සහගත සිතකින් ධර්ම ශ්‍රවණයට එකතු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ තමා ශ්‍රවණය කරන ධර්ම දේශනාව තුළ ම තමන්ට මාර්ගඵලයක් අවබෝධ වේවා කියන බලාපොරොත්තුවෙන්මයි එම දේශනාවට එකතු විය යුත්තේ. තවද පංච නීවරණ ධර්ම යටපත් වේවා කියන අදහසින්මයි ධර්මය ශ්‍රවණය කළ යුත්තේ. සප්ත බොජ්ඣංග ධර්ම එනම්, සති සම්බොජ්ඣංගය – සිහිය ඇති කර ගැනීම සහ පවත්වා ගැනීම, ධම්මවිචය සම්බොජ්ඣංගය – ධර්ම කරුණු සහ යථාර්ථය නුවණින් විමසීම, වීරිය සම්බොජ්ඣංගය – අකුසල් දුරු කිරීමට සහ කුසල් වැඩීමට ඇති උත්සාහය, ප්‍රීති සම්බොජ්ඣංගය – කුසල් දහම් වැඩීමෙන් හටගන්නා මානසික ප්‍රීතිය, පස්සද්ධි සම්බොජ්ඣංගය – කායික හා මානසික සැහැල්ලු බව සහ සන්සිඳීම, සමාධි සම්බොජ්ඣංගය – සිත එකඟ කර ගැනීමේ හැකියාව සහ උපෙක්ඛා සම්බොජ්ඣංගය – අටලෝදහම හමුවේ සිත මැදහත් ව තබා ගැනීම ආදිය තමන් තුළ වැඩෙන්න ඕනෑ කියන අදහසින්මයි ධර්මය ශ්‍රවණය කළ යුත්තේ.

සප්ත බොජ්ඣංග ධර්ම වැඩෙන විදියට ධර්මය ශ්‍රවණය කරන්න දක්ෂ නම් එම පුද්ගලයා තුළ පංච නීවරණ ධර්මවලට කිසිසේත් ම ඉඩක් නිර්මාණය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ සෑම මොහොතේ ම ධර්මය ශ්‍රවණය කරන පුද්ගලයා පංච නීවරණ ධර්ම යටපත් වෙලා, සප්ත බොජ්ඣංග ධර්ම මතු වන ආකාරයට බණ අහන්න ඕනෑ කියලයි. බණ අහන්න වාඩි වුණු කෙනකුට පංච නීවරණ ධර්මවලට අවකාශයක් තියෙනවා. ධර්මය දේශනා කරන කොට අවබෝධයෙන්, ඉතාම වීර්ය සහගත සිතකින් එම ධර්ම දේශනාවට එකතු නොවූ කෙනකුට මේ කියන ආකාරයේ කිසිම දෙයක් ග්‍රහණය වෙන්නේ නැහැ.

(ඇල්පිටිය දම්සර සෙනසුනේ අනුශාසක ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර හිමියන්ගේ ධර්ම දේශනාවක් ඇසුරිනි)

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment