ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
නිවස බෞද්ධ දර්ශනයජීවිතයට සැබෑ රැකවරණය සීලයයි

ජීවිතයට සැබෑ රැකවරණය සීලයයි

by damith
October 18, 2026 1:03 am 0 comment

දිව්රුම්වෙල සාරානන්ද හිමි

නිවන අරමුණු කර ගමන් කරන අය සෑම දෙනා ම සීලය ආරක්ෂා කොට, සිල්වත් බව පූරණය කළ යුතු ය.

බෞද්ධයාගේ පරම පරමාර්ථය නිවන් සුවය ලබා ගැනීමයි. නිවන සංඛත ධර්මයක් නොව අසංඛත ධර්මයකි. සංඛත ධර්මය යනු සකස් වූ දේ ය. අසංඛත ධර්මය යනු සකස් නොවූ දේ ය. නිවන කාටවත් සකස් කොට වෙනත් පුද්ගලයකුට පිරිනැමීමට නොහැකි අතර, නිවන තමා විසින් ම සකස් කර ගත යුක්තකි. පරම සැපත වූ නිවන පසක් කර ගැනීම සඳහා සීලය බොහෝ සෙයින් උපකාරී වනු ඇත.

සීලය යනු කුමක් ද? “කාය වාචානං සමෝධානං සීලං” කය සහ වචනයේ සංවර භාවය සීලය වේ. කායිකව කරන අකුසල හා වාචිකව කරන අකුසලවලින් තොරව කායික හා වාචික කුසල ධර්ම පූරණය කිරීම සීලය ලෙස හැඳින්විය හැකි ය.

කායිකව සිදුකරන අකුසල කර්මයන් ලෙස ප්‍රාණඝාතය, නොදුන් දෙය සොර සිතින් ගැනීම හා කාමයෙහි වරදවා හැසිරීම යි. මෙම අකුසල ක්‍රියාවන් නොකර ජීවත්වීම තුළින් කායික කුසල පක්ෂය වර්ධනය කර ගත හැකි වේ.

වාචිකව සිදු වන අකුසල කර්මයන් ලෙස බොරු කීම, කේලම් කීම, අන් අය රැවටීම, බිඳවීම, රළු වචන කීම හා මිථ්‍යා කතා කීම ආදිය දැක්විය හැකි ය. මෙම වාචිකව සිදු වන අකුසලයන්ගෙන් දුරු වී සිටීම තුළින් වාචික කුසල පක්ෂය වර්ධනය කර ගත හැකි වේ.

එනිසා කායික හා වාචික යන දෙපක්ෂයේ ම සංවර බව සීලය යි. සීලය නොතිබීම නිසා සමාජය තුළ මිනිස් ඝාතන, සොරකම් ආදිය සිදු වේ.

සීලය සම්පූර්ණ වීම සඳහා කොටස් තුනක් පරිපූර්ණ විය යුතු ය. එය ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය ලෙස හැඳින්වේ. එනම් පළමුව තමා විසින් සිල් සමාදන් වීමයි. මෙහිදී ‘බුද්ධං සරණං ගච්ඡාමී’ යනාදි වශයෙන් තෙරුවන් සරණ යන අවස්ථාව තුළ බුදුගුණ, දහම්ගුණ හා සඟගුණ පිළිබඳ මනා අවබෝධයක් තිබීම අනිවාර්ය වූ කරුණකි. මෙමඟින් නිවැරැදි ලෙස සරණාගමනය සිදු වේ. දෙවනුව තමා සිල් රකිමින් අන් කවරකු ප්‍රාණඝාතාදී අකුසල කර්මයන් සිදුකරන්නේ ද ඔහු එම අකුසල කර්මයෙන් මුදවා ගත යුතු ය. තෙවනුව ඔහුට එම අකුසල කර්මය තුළ පවතින ආදීනව වටහා දී එයින් වැළකීම තුළින් සිදුවන ආනිසංස පෙන්වා දියයුතු ය. මෙසේ ත්‍රිකෝටික පාරිශු්ධ සීලය අනුගමනය කරන්නකුගේ සීලය පරිපූර්ණ වනු ඇත.

සංයුත්ත නිකායේ දේවතා සංයුත්තය තුළ සීලයේ ඇති වටිනාකම මැනවින් විද්‍යමාන වේ. එක්තරා දවසක අප භාග්‍යවතුන් වහන්සේ වෙත එක්තරා දේවතාවකු පැමිණ මෙසේ පැනයක් ඉදිරිපත් කළේ ය.

‘අන්තෝ ජටා බහි ජටා
ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමි
කො ඉමං විජටයේ ජටං”

“ගෞතමයන් වහන්ස, සත්ත්වයා තුළ අභ්‍යන්තරිකව කෙලෙස් පවතී. එසේම බාහිරව ද කෙලෙස් පවතිනු ඇත. එම නිසා අභ්‍යන්තරිකව හා බාහිරව පවතින කෙලෙස් කෙසේනම් දුරු කරන්නේද?” දේවතාවා ඇසූ පැනයට බුදුරදුන් මෙසේ පිළිතුරු වදාළ සේක.

“සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකො භික්ඛු
සො ඉමං විජටයෙ ජටං“

“සීලයෙහි පිහිටන, දක්ෂ, ප්‍රඥාවන්ත භික්ෂුව සිතත්, ප්‍රඥාවත් වඩා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව කටයුතු කරන්නේ ය” යනුවෙනි.

මෙම බුද්ධ වචනයට අනුව කෙලෙස් ප්‍රහීන කරන්නට කැමති සැදැහැතියන් විසින් සිල් සමාදන් වීම ප්‍රධාන වශයෙන් සිදු කළ යුත්තකි.

සැදැහැති ජනයාහට දෛනිකව ම සිල් සමාදන් ව කල් ගත කළ හැකි ය. ඒ අනුව පඤ්චසීලය, අෂ්ඨාංග උපෝසථ සීලය, නවාංග උපෝසථ සීලය, ගහට්ඨ දස සීලය, සාමණේර දස සීලය හා උපසම්පදා සීලය යනුවෙනි. යම් පුද්ගලයකු ගිහිව වාසය කරන්නේ නම්, ඔහුට ගහට්ඨ දස සීලය තෙක් ද, පැවිදිව වාසය කරන්නේ නම් සාමණේර දසසීලය හා උපසම්පදා සීලය ද සමාදන්ව එය මැනවින් ආරක්ෂා කොට දෙලොව සැප ඉක්මවා අවසන නිවන් සුවයෙන් සැනසීම පිණිස උපනිශ්‍රය වන්නේ ය.

සීලය සුගතිගාමී ස්ථානවල ප්‍රතිසන්ධිය සිදුවීම හා දෙව්ලොව දෙවියන් අතර ද, මනු ලොව මිනිසුන් අතර ද පින්වත් ජීවිත ගත කිරීමට මහෝපකාරී වනු ඇත. අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විශුද්ධි මාර්ගය තුළ සීලයේ අනුසස් මෙසේ පවසා ඇත.

“සීලගන්ධසමො ගෙන්‍ධා
කුතේ ලෝකේ භවිස්සති
යො සමං අනුවාතෙ ච
පටිවාතෙ ච වායති.”

“සිල්සුවඳ තරම් මේ විශ්වය තුළ පවතින වෙන කවර නම් සුවඳක් ද? සිල් සුවඳ උඩු සුළඟේ ද, යටි සුළඟේ ද හමායනු ඇත.” මෙමඟින් සීලය කෙතරම් නිවන් මඟට උපනිශ්‍රය වන්නේ ද යන වග ඉතා මැනවින් අවබෝධ කර ගෙන සිල් අපි සියල්ලෝ ම සීලයෙහි නිරත වෙමු.

You may also like

Leave a Comment