පරදුක්ඛෙ සති සාධූනං හදයකම්පනං කරොතීති කරුණා,
දරුවකුගේ දුකෙහි දී මවගේ ලය උණු වන්නේ යම් සේ ද, එසේ අනුන්ගේ දුකෙහි දී බෝසත් ගුණ ඇත්තා වූ සත්පුරුෂ උතුමන්ගේ චිත්ත සන්තානයේ පහළවන අනුකම්පාව කරුණාව නම් වේ. මෙහි අනුකම්පාව යනු අන් අයගේ දුක දැක එය නැති කරනු කැමති ව අන් අයට උදව් කළත්, නැතත් එම දුක නො ඉවසන ස්වභාවය යි. බ්රහ්ම ලෝකයේ සිට දස දිසාවට කරුණාව විහිදුවන බ්රහ්මරාජයකු සේ ලෝ වැසි සත්ත්වයන් වෙත පතුරුවන පරානුකම්පාව කරුණාව නම් වේ. කරුණාව සිවු බඹ විහරණවලින් දෙවැන්නයි.
මේ ලෝකයේ සමහර පුද්ගලයන් අතින් පයින්, දඬු මුගුරුවලින්, අවි ආයුධවලින් මෙන් ම වචනයෙන් ද අන් අයට හිංසා කරන ස්වභාවය ඇති අය යි. ඒ අකාරුණික පුද්ගලයන් මෙලොවත්, පරලොවත් දෙකෙහි ම මහත් දුකකට පැමිණෙති. මෙසේ පීඩාවට පත්කරන පුද්ගලයා අපකීර්තියට පත්වන්නේ ය. නො බියව පිරිස් මැදට යා නොහැකි වන්නේ ය. අකාරුණික බව තමන්ට අලාභ පිණිස, තමන්ගේ වස්තු විනාශය පිණිස පවතින්නේ ය. මුළා සිහියෙන් යුක්තව කළුරිය කරන්නේ ය, මරණින් මතු සතර අපායේ උපදින්නේ ය, අපායෙහි අනන්ත දුක් විඳ කරන ලද පාපකර්මයන් ශේෂව තිබිය දී මිනිස් ලොව උපන් කල්හි පහත් කුලවල උපදින්නේ ය, ළාමක ජාතියත් ඇති ව, විරූපි ව උපදින්නේ ය, බොහෝ ලෙඩ රෝග ඇතිවන්නේ ය, දිළිඳු වන්නේ ය, අඩු වයසින් මිය යන්නේ ය, මතක ශක්තිය අඩු වන්නේ ය. අන් අයට යමක් කියා දීමෙහි අසමර්ථයෙක් වන්නේ ය. මේ ආදී වශයෙන් අන් අයට වෙහෙසට පත්කර අකාරුණික වීමේ ආදීනව අකාරුණික අදහස් ඇත්තෝ විශේෂයෙන් නිතර මෙනෙහි කළ යුතුයි. මේ ආදීනව අප සැවොම දැන ගත යුතු වන්නේ ය.
කරුණාවන්ත භාවයෙහි ආනිශංස අනන්ත යි. අපරිමාණ යි. කෝටි සත සහස්ර ගණන් ජාතීන් හි දී පුරුදු කරන ලද මහා කරුණා ගුණ ඇති අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ පාරමිතා පිරීමේ දී කරුණාව මුල්කරගෙන ම පාරමිතා පිරූ සේක. එහෙයින් තමන් වහන්සේ තුළ පවතින මහා කරුණාව නිසා සම්මා සම්බුදු රජාණන් වහන්සේ දවසකට දෙවරක් දොළොස් කෝටි ලක්ෂ වාරය බැගින් මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකය දිහා බලා වදාරන සේක. ඒ ලෝකයා මේ සසරින් එතෙර කිරීමට පිහිටවීමේ අදහසිනි.
කරුණාව වඩන තැනැත්තා සුව සේ නිදයි, සුව සේ අවදි වෙයි, නපුරු සිහින නො පෙනෙයි, මනුෂ්යයන්ට ප්රිය වෙයි, අමනුෂ්යයන්ට ප්රිය වෙයි, දෙවිවරු ආරක්ෂා කරයි, ගින්නෙන්, වස විසෙන් අවි ආයුධවලින් හානි නොවේ, වහා හිත සමාධිගත වේ, මුහුණ පැහැපත් වේ, ආයුෂ කෙළවර නො මුළාව කළුරිය කරයි, මරණින් මතු බඹ තලය උපදියි.
කරුණාව භාවනාවකි. අනාථ අසරණයකු දැක “ අහෝ මේ අසරණයා මහත් විපතකට පැමිණියේ ය, මොහු දුකින් මිදෙන්නේ නම් ඉතා ම යහපත්” යැයි ඔහු අරමුණු කොට කරුණා භාවනාව ආරම්භ කළ හැකි ය.
සුව සේ ජීවත් වන්නා වූ පාපකාරී පුද්ගලයා අරමුණු කොට මතු ලැබෙන අපා දුක සලකා කරුණා වැඩිය හැකි ය. කළ කුසල් ඇති පුණ්යවන්තයෝ ද අරමුණු කොට ජරා, රෝග මරණයෙන් නො මිදුණු බව සලකා කරුණාව වැඩිය හැකි ය. ඉන්පසු ප්රිය පුද්ගලයාට ද, මධ්යස්ථ පුද්ගලයාට ද, වෛරී පුද්ගලයාට ද කරුණා පැතිරවිය හැකිය. සිතින් කයින් වචනයෙන්, කරුණාව වැඩිය යුතු වන්නේ ය.
කරුණාව දැක්වීම වශයෙන් අනුන්ගේ සිත් සතුටු කර එමඟින් ලාභ සත්කාර ලබා ගැනීම ලෝභය සමහරවිට කරුණා වේශයෙන් පහළ වෙයි. සැබෑ කරුණාව දුක්ඛිත පුද්ගලයන් පිළිබඳ ඇතිවන ධර්මයකි. මෙම වංචා සහගත කරුණාව පවතින්නේ දුක්ඛිතයන් පිළිබඳ නොව පොහොසතුන් හා හැකියාවක් ඇති අය පිළිබඳව යි. මෙයින් රැවටුණු අය දුක්ඛිතයා පලවා හැර පොහොසතාටත්, පොහොසතාගේ දුවාදරුවාටත්, නෑදෑ හිතමිතුරන්ටත් කරුණාව දක්වති. එසේ කරුණාවට පාත්ර වූ පොහොසත් අය මොහු ඉතා කරුණාවන්ත අයෙකැයි පහදිති, ප්රශංසා කරති. එයින් රැවටුණු වංචනික අදහස් ඇත්තා තව තවත් විපතට පත් වෙයි.
තවද අනුන්ගේ දුක දැකීමෙන් ඇතිවන ශෝකය, කරුණාව නොවේ. කරුණාව පෙරටු කර ගෙන ශෝකය වංචා කරන බැවින් ශෝකවීම කරුණාවේ විනාශය යි. ශෝකය, ද්වේෂ සහගත බැවින් අකුසලයෙකි. කරුණාව කුසල් සිතෙහි උපදින බැවින් කුසලයෙකි. එබැවින් ශෝක වීම හැඬීම කරුණාව නො වන බව තේරුම් ගත යුතුයි.
සද්ධර්මාරක්ෂක ධර්මාචාර්ය, මනෝවිද්යා උපදේශක, විද්යාවේදී (ගෞරව) බුද්ධික ඉන්දීර ගුරුල්ලගොඩ