බුද්ධ නියමයට අනුව ඇසළ පුන් පොහෝ දින උපසපන් භික්ෂූන් වහන්සේ වස් ශික්ෂාපදය සමාදන්විය යුතු බවත්, වස් විසීම සිදු කළ යුතු බවත් දන්වා ඇත. ඒ අනුව ගිහි පැවිදි දෙපක්ෂයම විසින් අන් කවරදාටත් වඩා සහයෝගයෙන් ගුණධර්ම වඩමින් ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම මෙම වස්සාන සමයෙහි සිදු කරනු ලබති. මේ නිසා ම වස්සාන සමය බොහෝ ජනයාගේ හිත සුව පිණිස ම හේතු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
උපසම්පදා භික්ෂුව වස් ශික්ෂාපදය රැක ගනිමින් බුද්ධ නියමයට අනුව ගිහි ජනයාගේ යහපත අපේක්ෂාවෙන් නිතර ම ක්‍රියා කළ යුතු ය. අනුකම්පාවෙන් ඔවුනට ධර්ම මාර්ගය පෙන්වා දීම භික්ෂූන් වහන්සේගේ ප්‍රධානතම කාර්යයයි.
“ගහට පොත්තත් – පොත්තට ගහත්” නොබිඳෙන සේ සම්බන්ධය බොහෝ සෙයින් ගිහි පැවිදි දෙපක්ෂය තුළ අන් කවරදාටත් වඩා ගොඩනැඟෙනුයේ වස් කාලය තුළ දී ය. ඒ අන් කිසිවක් නිසා නොව සසර දුක නිවීමට අවශ්‍ය බොහෝ පින් පුරන කාල සමයකට සහයෝගයෙන් හා සුහදශීල ව ක්‍රියා කරන නිසා ආධ්‍යාත්මික ගුණධර්ම බොහෝ සෙයින් වැඩෙන නිසාවෙනි. බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා, පිරිත් දේශනා, පෙරහර ආදී බොහෝ විවිධ පින් කටයුතු නිතර ම පාහේ විහාරස්ථාන මූලික කොට ගෙන කිරීම සිදු වන්නේ වස් කාලයේ දී ය.
බුද්ධ නියමයට අනුව බෞද්ධ භික්ෂුව අන් කවරදාටත් වඩා තම නිවන් මඟට අවශ්‍ය ගුණධර්ම වඩා ගැනීම සිදු කළ යුතු ය. එක් ස්ථානයකට වී මෙකී කාල සමය ගත කිරීමට බුදුරදුන් අනුදැන වදාළේ මේ නිසා ය.
“ගිහීන මුප කරොන්තානං
මිච්චං මාමිස දානතෝ
කරොථ ධම්ම දානේන
තේසං පච්චූපකාරකං
යනුවෙන් තමන්ට සියලු අයුරින් ඇප උපස්ථාන කරන ගිහි ජනයාට නිරතුරුව ම ධර්ම දානයෙන් සංග්‍රහ කළ යුතු බව දක්වා ඇත.
මෙයින් පැහැදිලි වන්නේ ගිහි, පැවිදි සම්බන්ධයයි. සිඟාලෝවාද සූත්‍රයේ දී ගිහියා විසින් පැවිද්දාට ඉටු කළ යුතු යුතුකම් 05 ක් දක්වා ඇති අතර, පෙරළා පැවිද්දා විසින් ගිහියාට යුතුකම් 06කින් සංග්‍රහ කළ යුතු ව ඇත.
බුදුදහමට අනුව පුද්ගලයාගේ ප්‍රධානම පරමාර්ථය විය යුත්තේ සසර දුක නිවාලීමයි. එලෙස සසර දුක නැති කිරීමට අවශ්‍ය බොහෝ ගුණධර්ම වර්ධනය කර ගනිමින් ක්‍රියා කිරීමට ගිහි පැවිදි දෙපක්ෂයට ම අවැසි මඟ බොහෝ සෙයින් මෙම වස් කාලය තුළ හිමි වේ.
මේ සඳහා අවශ්‍ය වන්නේ, නිවැරැදි අවබෝධය හා විශ්වාසයයි. එය බුදු සමය තුළ අර්ථ ගන්වා ඇත්තේ ශ්‍රද්ධාව ලෙසිනි. දැවෙන සසර දුක නිවීමට නිරතුරුව ම අප්‍රමාදී ව ක්‍රියා කිරීම දෙලොව ජය ගැනීමට හේතු වන්නකි. ඒ සඳහා මේ පින්බර වස්සාන සමය අර්ථ සම්පන්න ව ගත කිරීමට නිසි අවබෝධයෙන් ම ක්‍රියා කිරීමට අදිටන් කර ගනිමු.