ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස බෞද්ධ දර්ශනයසම්බුදු සසුනෙහි අසිරිය
පහාරාද සූත්‍රයෙන්

සම්බුදු සසුනෙහි අසිරිය

by Thanushika
September 26, 2026 12:30 am 0 comment

මජ්ක්‍ධිම නිකායේ අට්ඨක නිපාතයේ පහාරාද සූත්‍රය අසුරේන්ද්‍රයකු එනම් අසුර නායකයකු හා බුදුරජාණන් වහන්සේ අතර ඇති වූ සංවාදයක් ඇසුරින් නව අර්ථ කථනයක් සහිත ව සම්බුදු සසුනේ අසිරිය ප්‍රකාශ කරයි. එය සිදුකරනුයේ අසුරයන් මහා සමුද්‍රයට ඇලුම් කරන කාරණා අට සංසන්දනය කරමින් බෞද්ධ ශ්‍රාවකයා සම්බුදු දහමට හා සම්බුදු සසුනට ඇලුම් කරන බව පෙන්වමිනි. වේමානික අසුර කොටසට අයත්, මාර්ගඵල ලාභී අසුරයන් සාගරයට ඇලුම් කරන කරුණු අටට නව අර්ථකථන ලබා දෙමින් එම දේශනාව සිදු කරනු ලබයි.

එම සූත්‍රයට අනුව වේරඤ්ඤාවෙහි නලේරු නම් කොහොඹ ගස අසලට පැමිණි පහාරාද නම්,

අසුරේන්ද්‍රයා මහ සමුදුරට අසුරයෝ ඇලුම් කරන කාරණා 08ක් බුදුන් හමුවේ පැහැදිලි කරයි. ඒවා සැකෙවින් මෙසේ ය.

1. මහ මුහුද එක හෙළාම ගැඹුරට නොයෙයි. ක්‍රම ක්‍රමයෙන් අනුපූර්ව පිළිවෙළින් ගැඹුර කරා ඇදී යයි.

2. මුහුදු රළ වෙරළ ඉක්මවා නොයයි. වෙරළ සීමාව තුළ මුහුදු රළ තුනී වී යයි.

3. මහ මුහුද කුණු රඳවා ගොඩගසා නොගනී

4. ගංගා ජලය (ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යනාදි ගංගා ජලය) මහ මුහුදට එකතු වුණ ද, එසේ රැස් වූ ජලය ඒ ඒ ගඟේ වතුර නම් අතහැර මුහුදු ජලය ලෙස හඳුන්වයි.

5. මහ මුහුදට අහසින් වතුර කොතරම් එකතු වුව ද මහ මුහුද ජලයෙන් පිරී ඉතිරී යන්නේ නැත.

6. මුහුදු වතුර කොතැනින් අරගෙන රස බැලුව ද එහි ඇත්තේ එකම රසයකි.ඒ ලුණු රසය යි.

7. මුහුදු පතුලේ අලංකාර මුතු, මැණික්, සක්, පබලු ආදිය ඇත.

8. මහ මුහුදේ තිමිර, තිමංගල, අසුර, නාග, ගාන්ධර්ව ආදී යොදුන් සිය ගණනක් විශාල ආත්මභාව ඇති සත්ත්වයෝ වෙති.

මෙලෙස පහාරාද අසුරේන්ද්‍රයා මහා සමුද්‍රයෙහි අසිරිය ප්‍රකාශ කර එහි ඇති ආශ්චර්යයට රමණය කරන බව පැවැසූ විට බුදුරජාණන් වහන්සේ ද එකී කරුණ අනුමත කර එම කරුණුවලට නව අර්ථ කථනයෙන් යුතු ව බුදු සසුනට ද සිව්වනක් පිරිස (භික්ඛු, භික්ඛුණී, උපාසක, උපාසිකා) ඇලුම් කරන බව පහාරාදට දේශනා කළහ. ඒ අතර බුදු සසුනේ ආශ්චර්යය බුදුරදුන් පවසන්නේ පහත පිළිවෙළට ය.

සම්බුදු සසුනේ ද ධර්ම විනය ප්‍රකාශ කරනුයේ අනුපූර්ව පිළිවෙළට ය. එනම් අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා ලෙසිනි. ශික්ෂා යනු හික්මීමයි. ඒ අනුව මුලින් ම පඤ්චසීලයෙන් ගිහි පෘථග්ජනයා හික්මිය යුතු ය. අනගාරික ජීවිතය තාවකාලික ව අතහැර, අනගාරික ජීවිතයට ඇති ආසාව පිණිස පොහොය දිනය අටසිල් හෝ දසසිල් හෝ සමාදන් වේ. සාමණේරයන් වහන්සේ හෝ සිල් මාතාව හෝ දස සිල් සමාදන් වීම ද අනගාරික ජීවිතයට අදාළ සිල්පද පුරුදු කිරීමකි. ශීලයෙහි වඩාත් උසස් ම ශීලය වන්නේ උපසම්පදා සීලය යි. එය ගිහිගෙයින් නික්මීම හෙවත් අනගාරික ජීවිතයට පිවිස අරහත් මාර්ගය දක්වා අවශ්‍ය කුසල් සපුරාලීමට අදාළ ප්‍රතිපදාවයි. ඒ අනුව උපසම්පදා සීලය යනු ආධ්‍යාත්මික වශයෙන් ගොඩනඟා ගත යුතු වූ උසස් මානසික තත්ත්වයකි.

භික්ෂුත්වයේ අග්‍ර ඵලය වන්නේ ද උපසම්පදා සීලය යි. එය මනුෂ්‍යයකු ලෙස ලැබිය හැකි උසස් ම සීලයයි. ඒ නිසා ම අධිසීලය යැයි කියති. චතුපාරිශුද්ධ සීලය නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව හෙවත් යහපත් ජීවන පැවැත්ම හා ප්‍රත්‍යය සංනිශ්‍රිත සීලය මෙයට අන්තර්ගත වේ.

දෙවැනි අදියර වන අනුපුබ්බකිරියා යනු, විමුක්ති මාර්ගයට අදාළව මුලින් ම දානය හෙවත් පරිත්‍යාගය දෙවනුව සීල හෙවත් කායික වාචසික සංවරයත්, තෙවනුව භාවනා හෙවත් උදය, වය, ඇතිවීම හා නැතිවීම් සංඛ්‍යාත සංඛාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දකින විද්‍යුත් නුවණ දියුණු කිරීමයි. අනුපුබ්බ පටිපදා යනු බෞද්ධ ආර්ය මාර්ගය වන සීල, සමාධි, ප්‍රඥාවට අනුගත ව අංග අටකින් සමන්විත ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සිත, කය, වචනය සංවරය කිරීමයි.

දෙවැනි කාරණය ලෙස බුදු සමය ශ්‍රාවකයාගේ චිත්තානන්දයට හේතුව ලෙස දකින්නේ මහා සාගරය වෙරළ ඉක්මවා නොයන්නා සේ බුදු සමයේ ශ්‍රාවක සංඝයා පනවන ලද ශික්ෂාවන් ජීවිත හේතු වෙන්වත් උල්ලංඝණය නොකර පුරුදු පුහුණු කරන නිසා ය. විනය රැකීම යනු බුදුසසුන රැකීමයි.

තෙවනුව මහා සමුද්‍රය කුණු රඳවා ගෙන නොගෙන ගොඩබිමට ගසා දමන්නාක් මෙන් සසුනෙහි ද කෙලෙසුන් සහිත, අපවිත්‍ර කාය කර්ම, වචී කර්ම හා මනෝ කර්ම ආදියෙහි යෙදෙමින් ශාසන සම්ප්‍රදායයෙහි යෙදෙන දුශ්ශීලයන් සීලවන්ත සංඝ සමාජයෙන් ඉවත් කෙරේ. ඒ සඳහා පනවන ලද

විනය ප්‍රඥප්ති විනය පිටකය පුරා දක්නට ලැබේ.

හතර වැනි කාරණය ලෙස ධර්ම විනයෙහි හික්මෙන අනගාරික වූ ශ්‍රාවකයා සියලු නම් ගොත් හැර දමා අනගාරික ජීවිතයේ ‘සමණාසක්‍යපුත්තියා’ නමින් හඳුන්වයි. එය බෞද්ධ සමාජවාදය යි. බෞද්ධ සමානාත්මතාව යි. බෞද්ධ ධර්ම විනයෙහි ආශ්චර්ය අත්භූත වූ එම කාරණයට බොහෝ පිරිස සිත් ඇද ගැනීමට හේතු වෙයි.

පස්වැනි කාරණය ලෙස පහාරාද සූත්‍රයේ බුදු සමයේ අද්භූත ආශ්චර්ය සිදුවීම ලෙස විග්‍රහ කෙරෙන්නේ බුදු සසුනේ බොහෝ ශ්‍රාවකයෝ උපධි රහිත, අනුපදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ නමුදු සම්මා සම්බුද්ධ ශාසනය තුළ රහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරීයාමක් නැත. එය මහ මුහුදට කොතරම් ජලය එකතු වුව ද එය පිරී ඉතිරී නොයන්නාක් මෙනි. බුදු සසුන තුළ එසේ වන්නේ රහත් භාවයට පත්වීමට තම තමන් ධර්මය සාක්ෂාත් කර ගත යුතු නිසා ය.

ධර්ම විනය තුළ ඇත්තේ විමුක්ති රසය යි. එනම් අවබෝධය තුළින් කලකිරී, අත්දැකීමෙන් ලබන සුවයයි. එය ‘නිබ්බදා විරාගය’ යි. එය විමුක්ති ඥාන දර්ශනය යි. චේතෝ විමුක්ති සහ ප්‍රඥා විමුක්ති යනුවෙන් එය දෙයාකාර වේ. පාපයට නිරන්තරයෙන් ඇලුණු පෘථග්ජන චෛතසික මනෝභාවයන් අකුසලයෙන් මුදා, කුසලයට සිත නැඹුරු කිරීම තුළින් එකී විමුක්ති රසය ලබා ගත හැකි ය. ඒ අනුව මුහුදු ජලය කොතැනින් ගෙන රස බැලුව ද එහි ලවණ රසය ඇත්තා සේ ම ධර්ම විනයෙහි ඇති එක ම, රසය විමුක්ති රසය යි. එය ධර්ම විනයේ ආශ්චර්යයකි. අභිරමණයට හේතුවකි.

හත්වැනි කාරණය ලෙස ධර්ම විනයෙහි ආර්ය මාර්ගයට පිවිසීමට ඇති මාර්ග තිස්හතක් දක්වා ඇත. සෝක පරිදේව නැති කිරීමට, දුක්ඛ දෝමනස්ස අත්ථංගමනයට, ඤාණය අධිගමනයට, නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතුවන එම අංග තිස්හත සත්තිස් බෝධිපාක්ෂිත ධර්මයෝ ය. සතර සතිපට්ඨානය, සතර සම්‍යග්ප්‍රධාන වීර්යය, සතර සෘද්ධිපාද, පඤ්චඉන්ද්‍රිය, පඤ්ච බල, සත්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ අතර වේ. මේ ධර්මයෝ සම්මා සම්බුද්ධ ශාසනයේ ඇති මහාර්ඝ වස්තූන් වේ.

එහි මහාර්ඝ ධර්මයෙන් සමන්විත සම්බුද්ධ ශාසනයට බොහෝ ශ්‍රාවකයෝ ඇලෙති.

අවසාන වශයෙන් පහාරාද අසුරේන්ද්‍රයාට ධර්ම විනයෙහි හැසිරුණු ආදර්ශ සම්පන්න පූර්වාදර්ශ ගත හැකි නිහතමානී, ප්‍රඥාවන්ත, ප්‍රත්‍යලාභී, සෘද්ධි සම්පන්න, ඒකශ්‍රැති ආදි ගුණයන්ගෙන් අග්‍ර වූ සැරියුත්, මුගලන්, සීවලී, අනුරුද්ධ හා ආනන්ද ආදී වූ රහතන් වහන්සේ මෙන් ම සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගඵල ලාභී ශාසනය බබුළුවන ආර්ය ශ්‍රාවකයෝ ශාසනයේ මහාර්ඝ රත්නයන් ලෙසින් දක්වා එම නිසා ම මහා සාගරය අසුරයන්ට ප්‍රිය මෙන් බුදු සසුන ශ්‍රාවකයන්ට ප්‍රිය උපදවන බව ද දක්වා සසුනට ඇලුම් කරන බව ද දේශනා කළහ.

කල්‍යාණ පෘථග්ජන, ධම්මානුසාරි, සද්ධානුසාරි, සේඛ සහ අසේඛ උත්තමයන් වහන්සේ ප්‍රිය කරන, ඇලුම් කරන ධර්ම විනයෙහි, ධර්මානුධර්ම ප්‍රතිපාදයෙහි හැසිර විමුක්ති මාර්ග සාක්ෂාත් කර ධර්මයෙහි අසිරිය විඳ ගැනීමට අපි අධිෂ්ඨාන කර ගනිමු.

You may also like

Leave a Comment