ශ්රී ලංකාවේ විශාලතම ස්ථූපය වන ජේතවනාරාමය මහසෙන් රජතුමා විසින් ඉදිකළ බවත්, අනුරාධපුර ජෝති වනයෙහි මහාවිහාර සීමාවේ කරවු ජේතවනාරාමය රජුගේ ප්රසාදය දිනාගෙන සිටි දක්ඛිණ විහාරවාසී තිස්ස නම් හිමි නමකට පූජා කළ බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය. ගඩොලින් ම නිම කළ ජේතවනාරාම ස්ථූපයේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පැළඳී පටී ධාතුවේ කොටසක් නිදන් කර ඇති බව සද්ධර්මරත්නාකරයේ සඳහන් වේ. හෙක්ටයාර අසූවක පමණ භූමි භාගයකින් යුත් පූජනීය විහාර සංකීර්ණයකි.
මහසෙන් රජුන් විසින් ජේතවනාරාම විහාර සංකීර්ණය කරවීම ආරම්භ කළ ද එහි වැඩ කටයුතු අවසන් කරන ලද්දේ ඔහුගේ ජ්යෙෂ්ඨ පුත්ර කීර්ති ශ්රී මේඝවන්නාභය හෙවත් කිත්සිරි මෙවන් රජුය. මෙම ස්ථූපයට දකුණෙන් සහ නැඟෙනහිරින් මල්වතු ඔය ද, බටහිරින් හාල්පානු ඇළ ද, උතුරින් ප්රධාන මාර්ගය ද පිහිටා තිබේ.
ක්රි.පූ. තෙවැනි ශත වර්ෂයේ දී දෙවනපෑතිස් රජ දවසේ මිහිඳු මහ රහතන් වහන්සේ අනුරාධපුරයේ දී ප්රථම ධර්ම දේශනාව පැවැත්වූයේ එවකට රාජකීය උද්යානයක් වූ නන්දන උයනේ බව හඳුනාගෙන තිබෙන බවත්, එම ධර්ම දේශනයෙන් පසුව ධර්මාලෝකය පැතිර වූ ස්ථානය යන අර්ථයෙන් නන්දන උයනට ජෝතිවන යන නාමය ව්යවහාර වී තිබෙන බවත්, මෙහිදී ජේතවන යන වචනය ජෝතිවන යන පාලි වචනයෙන් සම්භවය වූවක් බවත් විද්වත් මතයයි.
දැනට ජේතවන ස්ථූපය පිහිටි ස්ථානයේ මිහිඳු හිමියන් ප්රධාන ධර්ම දුත පිරිසගේ මෘත දේහ ආදාහනය කළ බවත්, එම ස්ථානය ඉසිභුමංගන ලෙස ප්රසිද්ධ බවත් දැනට ලැබී ඇති පුරාවිද්යාත්මක සාධකවලින් පෙනී ගොස් තිබේ.
අක්කර අටක පමණ භූමියක ඉදිකළ මෙම ස්ථූපය අඩි 28ක් පමණ ගැඹුරු ගඩොල් පාදමක් මත සාදා තිබීම එම යුගයේ මෙරට පැවති ඉහළ තාක්ෂණික ක්රම පිළිබඳ සාක්ෂි සපයයි. මෙම ස්ථූපය උස අඩි 400ක් ලෙස සටහන් වූයේ එම අවදියේ දී ලෝකයේ තෙවැනි උස ම ස්ථූපය වෙමිනි.
ස්ථූපයේ එක පැත්තක දිග අඩි 576ක් වන අතර, හතර පැත්තෙන් ඇතුළුවීමට තිබෙන පියගැටපෙළ අඩි 2ක් පමණ පළලින් යුතු ය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6ක් ගැඹුරට විහිදෙන අතර, එය පිහිටි ගල මත ඉදි කිරීම නිසා කිසිදු ගිලා බැසීමක් හෝ ඉරිතැලීමක් හෝ දක්නට නැත.
ක්රි.ව. 7 වැනි සියවස පමණ වන තුරු මෙම සථූපයේ උපරි භාගයේ හතරැස් කොටුව (වැට) සහ ඒ මැද ගර්භය මුදුනේ ඡත්රය විය. පසු කාලයේ දී ඒ හතරැස් කොටුව ඝනයක් බවට පත්කර එහි දේවතා කොටුව, කොත් කැරැල්ල සහ කොත තනන ලදි. පොළොවට වඩා උස මළුවක ස්ථූපය ඉදිකර ඇති අතර, එහි ගල් අතුරා තිබේ. මළුව වටා ඇත් පවුරක් තිබු බවට ද කැණිම්වලින් සොයාගෙන ඇත. මෙයට පහතින් වැලිමළුව ද, එය වටා ප්රාකාරයක් ද, ප්රාකාරය සතර පැත්තේ ගෝපුර හතරක් ද දක්නට ඇත. සලපතල මළුවට පිවිසෙන දොරටු ද එම ගෝපුරවලට සමාන්තරව ඉදිකර ඇත.
ක්රි. ව. 459 – 477 අතර කාලයේ රජකම් කළ ධාතුසේන රජතුමා ඡත්රය නැවත ප්රතිෂ්ඨාපනය කර ඇති අතර, ක්රි. ව. 573 – 575 සමයේ රජකම් කළ මහානාග රජු දාගැබේ සුණු පිරියම් කර ඇත් පවුර පිළිසකර කර තිබේ. අනතුරුව ක්රි. ව. 575 – 605 කාලයේ රජ කළ පළමු අග්බෝ රජු මෙම සථූපය මත මැණික් එබ්බවූ රුවන්මය ඡත්රයක් නංවනු ලැබ තිබේ. අනුරාධපුර රාජධානියේ අවසානයත් සමඟ එල්ල වු සොළී ආක්රමණයෙන් පසුව ස්ථූපය විනාශ විය.
මහා පරාක්රමබාහු රජු සොළීන් විසින් විනාශ කළ අනුරාධපුරයේ නටබුන් ප්රතිසංස්කරණය කිරීමට වෙනම ඇමැතිවරයෙක් පත් කළ අතර, එහි දී මෙම දාගැබේ අඩි 232 දක්වා අඩු කරනු ලැබ තිබේ.
ජේතවනාරාමයේ ප්රධාන පටිමාඝරය ස්ථූපයට මුහුණලා බටහිරින් පිහිටා තිබේ. අති විශාල හිටි බුදු පිළිමයක ආසනයේ කොටසක් හා එයට යටින් වු ගර්භ පත්රය දැනට දක්නට ඇත.
ගර්භ පාත්රයේ ගර්භ 25ක් පමණ ඇති අතර, එහි විශාලත්වය අනුව පිළිමය ඉතා විශාල බව තීරණය කළ හැකි ය.
19 වැනි සියවසේ අග භාගයේ දී ගරා වැටී තිබු මෙම ස්ථූපය සංරක්ෂණය කළ පුරාවිද්යා කොමසාරිස් එච්. සී. පී බෙල් මෙම සථූපය විනාශ නොවී ආරක්ෂා කර ගැනීමට සුවිසල් මෙහෙයක් කර තිබේ. පසු කලෙක දී පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ සංස්කෘතික ත්රිකෝණ ව්යාපෘතිය යටතේ මෙහි කැණීම් කටයුතු මෙන්ම ප්රතිසංස්කරණ කටයුතු කරමින් වර්තමානයේ දී ජේතවනාරාම ස්ථූපය දිස්වන තත්ත්වයට පත් කර තිබේ.
දිල්හානි ජයවර්ධන