මීට දසක දෙකකට පමණ පෙර වෘක්ෂලතාවලින් පවා තොර කර්කශ භූමියක් ලෙසට හුදෙකලා වූ කජුවත්ත භූමිය, නව සදහම් හිරු රැසින් ආලෝකවත් වන්නට විය.
බුද්ධාලම්බන පී‍්‍රතියෙන් ඔකඳ වී ගිය සැදැහැති පිරිස් අරණ වටා එක් රොක්වීමට පටන් ගත්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වරින් වර බොහෝ දෙනෙක් අරණ තුළ සසුන් ගත වූහ. තව දහස් ගණනක් ඝෝර කටුක සංසාර සාගරයෙන් එතර වීමට අරණ තුළ උත්සාහ දරමින් සිටිති. එම සියලු ම දෙනාට සිව්පසයෙන් උදවු උපකාර කිරීමට දිවයිනේ නන්දෙසින් බොහෝ දෙනා අත්වැල් බැඳ ගෙන සිටිති. අද වන විට මෙම පුණ්‍ය භූමිය සැදැහැවතුන්ට නැතිවම බැරි ස්ථානයක් බවට පත් වී තිබේ.
දෙහිඅත්තකණ්ඩියේ සිට කිලෝ මීටර් 12ක් පමණ ගිය තැන අරලගංවිල හමුවේ. එතැන් සිට ඇතුළට විහිද ගිය මාර්ගයේ කිලෝ මීටරයක් පමණ ගිය ඔබට දැකුම්කලු කජුවත්ත ආරණ්‍ය සේනාසනය හමුවේ. එහිදී ඔබගේ සිත ද කුසලය මත පිහිටා බවුන් වැඩීමට පටන් ගන්නේ නිරායාසයෙනි. ප්‍රදේශවාසීන් සහ දිවයිනේ බොහෝ සැදැහැතියෝ මෙම පුණ්‍ය භූමිය තුළ බණ භාවනා ආදී ප්‍රතිපදාවල යෙදෙන ගිහි පැවිදි සියලු ම දෙනාට ම අවශ්‍ය පහසුකම් සැලසීමට දිවා රෑ වෙහෙසෙති.
දැනට මෙහි භික්ෂූන් වහන්සේ සඳහා විශාල කුටි ප්‍රමාණයක් ඉදි වී ඇති අතර, දාන ශාලා, භාවනා ශාලා, බුදු මැඳුරු, බෝධි මළු, සීමා මාලක, කුටි සංකීර්ණ ආදිය ඉදිකර ඇත. අසූ අට රියනක් උසින් යුතු විශාල චෛත්‍යයක් ඉදිවෙමින් පවතින අතර, නේවාසික ව ගිහි බැතිමතුන්ට භාවනා කිරීමට අවශ්‍ය පහසුකම් ද සකස් කිරීමට තමන් ඉදිරියේ දී බලාපොරොත්තු වන බව කජුවත්ත ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ ඇද්දුන් කැලේවත්තේ ධම්මාරාම හිමියෝ පැවසූහ.
මෙම ස්ථානය මේ තත්ත්වයට දියුණු කිරීමට විශාල කැපවීමක් කරන්න සිදුවූ බවත්, විවිධ තාඩන පීඩන, තර්ජන මධ්‍යයේ සියල්ල ජය ගත හැකි වූ බවත්, දැනට මෙම ස්ථානයේ මහණදම් පිරීමට 150කට වැඩි පිරිසකට හැකි වූ බවත්, දසසිල් මාතාවන් ලෙස 25කට වඩා වැඩි සංඛ්‍යාවක් සසුන්ගත කළ බවත් උන්වහන්සේ නිහතමානී ව පැවැසූහ.
පුංචි ඉඩකඩක ආරම්භ කළ මෙම ස්ථානයට මේ වන විට අක්කර 35ක් වැනි ඉඩ ප්‍රමාණයකින් යුතු ඉඩම් සැදැහැතියන් විසින් පූජා කරනු ලැබූ බවත්, එහි දැනට සියයකට අධික භික්ෂු සංඛ්‍යාවකට නවාතැන් පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
නිවන අරමුණු කරගෙන ආමිස හා ප්‍රතිපත්ති පූජා මෙම ස්ථානයේ නිරන්තර ව සිදු කෙරේ. මසකට දින පහක් දිවා රාත්‍රිය පුරාවට සතර සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව සිදු කෙරේ. ඒ සඳහා මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සේනාසනයේ අනුග්‍රහය ලැබෙන අතර, සති පාසල් වැඩසටහන යටතේ ප්‍රදේශයේ දුවා දරුවන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කෙරෙන ප්‍රායෝගික හා න්‍යායාත්මක වැඩපිළිවෙළක් ද මෙහි ආරම්භ කර ඇති බව ධම්මාරාම හිමියෝ අවධාරණය කළහ.
ලෞකික හා ලෝකෝත්තර දියුණුව අරමුණු කර ගෙන විවිධ වැඩසටහන් පැවැත්වෙන පුණ්‍ය භූමිය සියැසින් දැක බලා ගැනීමටත්, එම වැඩසටහන්වලට ප්‍රායෝගික ව සහසම්බන්ධ වී උත්කෘෂ්ඨ කුසලයක් උපයා සපයා ගැනීමේ අවස්ථාවත් ඔබ සැමට උදාවී ඇත.
මෙම පුණ්‍ය භූමියේ දියුණුව සඳහා නා උයනේ අරියධම්ම හිමි, කහගොල්ලේ සෝමවංශ හිමි බඩල්කුඹුරේ අනුරුද්ධ හිමි ආදී කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ විශේෂ උදවු උපකාර උපදෙස් ලැබුණ බව ධම්මාරාම හිමියන් පැවසුවේ සතුටිනි.
මිනිසාගේ ආධ්‍යාත්මික පැත්ත පිරිහීගෙන යන යුගයක ඔවුන්ගේ ගුණ ධර්ම ඉහළ තලයකට ගෙන ඔවුන් සංසාර සාගරයෙන් එතර කරවීමේ උදාර බලාපොරොත්තුවෙන් ඉදිරියටත් මෙම ස්ථානය ඵලදායී අයුරින් පවත්වා ගෙන යාමට උත්සාහ දරන බවත්, එම ශ්‍රේෂ්ඨ කැපවීමට සහයෝගය ලබා දීමට සිතක් පහළ වූ යම් පිරිසකට තමන් ආරාධනා කරන බවත් උන්වහන්සේ පවසති.
බිබිලේ ධම්මසිරි හිමි