පෘතුගීීසි, ලන්දේසි, ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති පාරම්පරික කෘෂිකර්මය මෙන්ම වාරි කර්මාන්ත විනාශ කළහ. අහස උසට ඉදි වූ දාගැබ්, වෙහෙර විහාර ද විනාශ කළ අතර ආර්ථිකය, සංස්කෘතිය, සමඟිය නැති කළහ. මිනිසුන් අතර තිබූ සාරධර්ම ද විනාශ කළහ. එකල සිටි අපේ උගතුන් හා වියතුන් තාන්න මාන්න නම්බුනාමවලට යට වී අධිරාජ්‍යවාදී පාලනයට දායක වූහ. ජාත්‍යාලයෙන් යුතු ව දිවි පරදුවට තබා ක්‍රියා කළ විරුවන් අපට අහිමි විය. එය වඩාත් වේගවත් වුයේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ පැමිණීමෙනි.
ආගම ධර්මය, සංස්කෘතිය පිරිහෙත් ම ඉංග්‍රීසින්ගේ සපත්තුවලට යට වූ අහිංසක සිංහල ජාතිය අයහපත් සිරිත් විරිත්වලට යොමු විය. සුරාවට, සූදුවට ඇබ්බැහි විය. පරගැති සිරිත් විරිත් අනුගමනය කළ පිරිසක් නිර්මාණය විය. එම නිසා දිනෙන් දින අපේ සිංහලකමත්, බෞද්ධකමත්, සංස්කෘතියත් පරිහානියට පත් විය.
මිෂනාරී ක්‍රිස්තියානි විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ, මාතර, හිත්තැටියේ උපත ලද දොන් ඩේවිඩ් හේවාවිතාරණ කුමරුවා උසස් දැනුමකින් පෝෂිත විය. කිතු දහම පිළිබඳ ව ද, මනා අවබෝධයක් ලැබූ එතුමා බුදු දහම හා පාලි භාෂාව හදාරන ලද්දේ කොළඹ, මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනෙහි වැඩ විසූ, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ හා හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත නාහිමිපාණන් වහන්සේ ගෙනි.
ධර්මපාල කුමරුවා ඒ තුළින් කිතු දහම හා බුදු දහම අතර වෙනස අවබෝධ කර ගත්තේ ය.
මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමිපාණන් වහන්සේ වර්ෂ 1873 සහභාගි වූ පානදුරාවාදයෙන් ක්‍රිස්තියානින් පරදවා සිංහල බෞද්ධයන්ට ජය ගැනීමට හැකි විය. එම ප්‍රවෘත්තිය දේශ දේශාන්තරවල පැතිර ගියේය. අමෙරිකාවේ සිටි හෙන්රි ස්ටීල් ඕල්කට් නම් වූ පරම විඥානාර්ථවාදියා මේ වාදය පිළිබඳ අසා පැහැදී ලංකාවට පැමිණියේ ය. ඒ රුසියානු ජාතික බ්ලැවැට්ස්කි මැතිනියත් සමඟ ය. ඔවුන් ගාල්ල විජයානන්ද පන්සලට ගොස්, තෙරුවන් සරණ යමින් පන්සිල්හි පිහිටා ප්‍රසිද්ධියේ බුද්ධාගම වැළැඳ ගන්නා ලදී. මේ හේතුවෙන් සිංහල බෞද්ධයන්ගේ මහත් වූ පිබිදීමක් දක්නට ලැබුණි.
ඉංග්‍රිසීන් විසින් විනාශ කළ අපේ බෞද්ධකම මෙන් ම බෞද්ධ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා පැමිණි හෙන්රි ස්ටීල් කර්නල් ඕල්කට්තුමා බෞද්ධ අධ්‍යාපන අරමුදලක් ආරම්භ කළේ ය. පරම විඥානාර්ථ බෞද්ධ සංගමය යටතේ කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය පිහිටවූ අතර, ඒ තුළින් බෞද්ධ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට පහසුකම් සැලසීය.
එතුමා ‘සිංහල බෞද්ධයා’ බෞද්ධ පුවත්පත ආරම්භ කළ අතර, බොදුනුවන්ගේ ආගමික අයිතිවාසිකම් ලබා ගැනීමට නිර්භය ව ක්‍රියා කළේ ය. අධිරාජ්‍යවාදීන්ගේ පාලනය යටතේ ඉගෙනුම ලැබූ ‘ඩේවිඩ් හේවාවිතාරණ’ තරුණයා රජයේ ලිපිකරුවකු ලෙස සේවය කළේ ය. ඕල්කට්තුමාගේ දේශන අසා එතුමා ගැන පැහැදුණු ධර්මපාල තරුණයා ලිපිකාර තනතුරෙන් ඉවත් වී, පරම විඥානාර්ථ සමාගමට බැඳී, ‘ඩේවිඩ්’ යන කතෝලික නම අතහැර ‘ධර්මපාල’ නමින් අනගාරික දිවියක් ගත කළේ ය.
සිය මෑණියන්ගේ අවසරය මෙන්ම ආශිර්වාදයෙන් අනගාරික ව, බ්‍රහ්මචාරී ජීවිතයක් ආරම්භ කළේ ය. ජාතියක්, ජන්මයක් ගැන හරි වැටහීමක් නොවූ කල පිරිහීම ලෙහෙසියෙන් සිදු වේ. අධිරාජ්‍යවාදී ඉංග්‍රීසින් පන්සල් ඇසුරේ පැවති අධ්‍යාපනය කඩාකප්පල් කර, ඒ වෙනුවට මිෂනාරි අධ්‍යාපනය මඟින් දරුවන් ක්‍රිස්තියානි කළහ. ඔවුන්ට බයිබලය කියවීමට සැලැස්වූ යුගයක සිංහල ජාතීහු අන්ත පරිහානියට පත්වූහ.
පරගැතිභාවයෙන්, දේශයට වින කළ අය හෙළා දුටු ධර්මපාලතුමා සංකර සිරිත් විරිත්, ඉංග්‍රීසින්ගේ ඇඳුම්, පැලඳුම්, කලිසමට උඩින් ඇඳී රෙද්ද, හිසේ පොල්කටු පනාව ගැසූ අයට ප්‍රසිද්ධියේ පහර ගැසීය. ‘ගොන්තඩියා’ යනුවෙන් ඔවුන්ගේ මුහුණට ම බැණ වැදුණි. සුද්දන්ගේ සිරිත් විරිත්, ඇඳුම් පැලඳුම් අත්හැර සිංහල ජාතික සිරිතට විරිතට අනුව අපේ සිංහල නම් භාවිත කරන ලෙසත්, සිංහලකම හා බෞද්ධකම ආරක්ෂා කර ගන්නා ලෙසත් ඉගැන්වීය.
ජාතියේ මෙන් ම දේශය වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියා කළ අනගාරික ධර්මපාලතුමා 1931 වර්ෂයේ දී බුද්ධගයාව බේරා ගැනීම සඳහා කල්කටාවට ගොස් සිටියදී, ලංකාවේ සිංහල, මුස්ලිම් කෝලාහලයක් ඇති වී මහා විනාශයක් සිදුවිය. මේ නිමිත්තෙන් අනගාරික ධර්මපාලතුමා කල්කටාවේ දී සිර භාරයට ගත් අතර, වසර 7ක් සිරබත් කෑවේ අප වෙනුවෙනි. සිර භාරයෙහි සිටියදීත් ධර්මපාලතුමා කළේ බෞද්ධ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා කළ යුතු දේ කිරීම ය.
ශ්‍රීමත් අනගාරික ධර්මපාල නම් වූ ශ්‍රේෂ්ඨ වීරවරයාගේ ජීවිත කතාව ඉතා දීර්ඝ එකක් වන අතර, ඉන් තොරතුරු බිඳක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරමි.
ඉන්දියාවේ කල්කටා නගරයේ සිරගත ව සිටි එතුමාගේ ඒකායන අපේක්ෂාව වූයේ බුද්ධගයාව බේරා ගැනීම යි. එහි ඇති අයිතිවාසිකම් අපට හිමි කර දීම යි. බරණැස ඉසිපතනාරාමයෙහි නව මූලගන්ධ කුටි විහාරය ඉදි කොට, බෞද්ධ ලෝකයාට උරුම කරන ලද්දේ ධර්මපාලතුමා විසිනි. ඉන්දියාවේ තිබුණු බෞද්ධ සිද්ධස්ථානවල අයිතිවාසිකම් නඩුහබ තුළින් දිනා ගැනීමට සමත් විය. අද අපට එම සිද්ධස්ථානවලට ගොස් නිදහසේ වැඳුම් පිදුම් කර ගැනීමට හැකිවුයේ එතුමා නිසාවෙනි. ඒ එසේ වුව ද එතුමාගේ ක්‍රියාකාරකම් පිළිබඳ අගය කිරීමක් හෝ ගුණ සැමරීමක් හෝ හරියාකාර ව කිරීමට සිංහල බෞද්ධයන් අසමත් වී ඇත. දඹදිව බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කළ අයටවත් දම්පල්තුමාගේ ක්‍රියාකාරකම් ගැන හැඟීමක් තිබේ දැයි මම නොදනිමි. ශ්‍රී ලාංකිකයන් අතර කළගුණ දන්නෝ අඩු නිසා එය පුදුම විය යුතු කරුණක් ද නොවේ.
“තමා සිංහලයකු බව නිතර සිහි කරනු, මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව යන අනර්ඝ රත්න සතරක් මට තිබේ.’ යැයි පැවසූ එතුමා ඒවා ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළේ ය. තම ජීවිතයේ අවසන් කාලයේ දී සිරි දේවමිත්ත ධම්මපාල හිමි නමින් පැවිදි උපසම්පදාව ලැබූ අතර, මතු ආත්ම භාවයේ දී විසිපස්වතාවක් වුව ද බරණැස බ්‍රාහ්මණ කුලයක ඉපිද, බුදු දහම ලොව පතල කිරීම පිණිස තවත් උපදින්නෙම්’ යි ප්‍රාර්ථනා කොට බරණැස මූලගන්ධ කුටි විහාරයේ දී අවසන් හුස්ම හෙලූහ.