කායික හා මානසික රෝගාබාධ හෙවත් ව්‍යාධි දුක සසර සැරිසරන සියල්ලන්ට ම අත්විඳීමට සිදු වේ. එසේ රෝගී වූ තැනැත්තා ගිලනකු ලෙස හැඳින්වේ. කයින් මෙන් ම, මනසින් ද දුර්වල වී විවිධ දුක් වේදනා විඳිමින් ඔත්පළ ව සිටින ගිලන් තැනැත්තාට නීරෝගි ව සිටින ආශි‍්‍රතයන්ගේ උපකාරය අවශ්‍ය ය. එහිදී වෛද්‍යවරයකුගේ සේවය තරමට ම උපස්ථායකයාගේ සේවය ද වැදගත් වේ. වෙදකම මෙන් ම, හෙදකම ද රෝගී වූ අයකුට අවශ්‍යය.
බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරුන් අතර මෙන්ම හෙදවරුන් අතර ද පරමාදර්ශී වූහ. උන්වහන්සේ අව්‍යාජ වූ මහා කරුණාවෙන් යුතු ව රෝගීන්ට සියතින් ම උපස්ථාන කළ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙක් වූහ.
පූතිගත්ත තිස්ස තෙරුන් පිළිබඳ කතා පුවත මීට එක් නිදසුනකි. නමින් තිස්ස නම් වූ උන්වහන්සේගේ සිරුරේ කුඩා බිබිළි හට ගැනිණි. ක්‍රමයෙන් ඒවා විශාල වී සිරුර පුරා පැතිරිණි. එබැවින් වණ වූ සිරුරක් ඇති තිස්ස යන අර්ථයෙන් පූතිගත්ත තිස්ස තෙරුන් නමින් උන්වහන්සේ ප්‍රචලිත වූහ.
මුල දී මෙම තෙරුන්ට උපස්ථාන කිරීමට භික්ෂූහු ඉදිරිපත් වූහ. එහෙත් පසු කාලයේ අනුක්‍රමයෙන් රෝගය අසාධ්‍ය වී දුගඳක් වහනය වූ නිසා එම භික්ෂූහු රෝගියා අතහැර ගියහ. දිනක් විහාර චාරිකාවෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේට එම තෙරුන්ගේ රෝගී තත්ත්වය දැක ගත හැකි විය. වහාම ක්‍රියාත්මක වූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේගේ ද සහාය ඇතිව එම තෙරුන්ගේ තුවාල සෝදා පිරිසිදු කොට කායික සුවය ඇති කළහ. අනතුරුව දේශනා කළ ධර්මයට සවන් දුන් තෙරණුවෝ පිරිපුන් මානසික සුවය ලැබ සියලු කෙලෙස් නසා රහත් ව පිරිනිවන් පෑහ.
උදරාබාධයකින් පෙළුණු භික්ෂූන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ උපස්ථාන කළ කතා පුවතක් ද බෞද්ධ මූලාශ්‍රවල හමුවේ. දරුණු උදරාබාධයකින් පෙළෙමින් මළ මූත්‍ර ගොඩෙහි ම වැතිර සිටි එම භික්ෂූන් වහන්සේ ගැන ද බුදුරදුන්ට දැන ගැනීමට ලැබිණි. අනතුරුව උන්වහන්සේ රෝගී භික්ෂූන් වහන්සේ විසූ කුටිය වෙත වැඩම කළහ. අසරණ ව සිටි උන්වහන්සේගේ රෝගී තත්ත්වය පිළිබඳවත් උපස්ථානයට භික්ෂූන් වහන්සේ සම්බන්ධ නොවීමට හේතුවත් විමසා සිටියහ. එවිට රෝගී භික්ෂූන් වහන්සේ කියා සිටියේ තමා නීරෝගී ව සිටියදී රෝගී වූ භික්ෂූන් වහන්සේට උපස්ථාන කිරීමට කිසි දිනෙක සම්බන්ධ නොවීම නිසා තමන්ට මෙම තත්ත්වය උදා වූ බවයි.
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගේ ද සහයෝගය ඇති ව උණු ජලයෙන් එම භික්ෂුව සෝදා පවිත්‍ර කොට උපස්ථාන කළහ. පසුව සෙසු ආරාමික භික්ෂූන් කැඳවා විශේෂ අනුශාසනාවක් ද කළහ. මහණෙනි, ඔබට දැන් මවක නැත. පියකු නැත. එහෙයින් මෙබඳු අවස්ථාවක දී එකිනෙකා ඔවුනොවුන්ට උපකාරී ව සහයෝගයෙන් ක්‍රියා කළ යුතු ය. මගේ මෙම අවවාදය පිළිපදින තැනැත්තා ගිලනුන්ට උපස්ථාන කරන්නේ ය. ගිලනුන්ට උපස්ථාන කරන්නා මට උපස්ථාන කරන්නේ ය යනුවෙන් අවවාද කරමින් ගිලානෝපස්ථානය බුද්ධ පූජාවක් බවට පත් කළ සේක. එමෙන් ම ගිලනුන්ට උපස්ථාන කරන්නකු තුළ තිබිය යුතු ගුණාංග පහක් ද උන්වහන්සේ දේශනා කළහ.
මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ කායික ව රෝගී වූ අය සුවපත් කළ අවස්ථා ගණනාවක් පිළිබඳ ව සූත්‍ර ධර්මවල දැක්වේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රෝගී වූ අවස්ථාවක උන්වහන්සේ ඒ වන විට වැඩ විසූ පිප්පලී ගුහාවට බුදුරජාණන් වහන්සේ වැඩම කළහ. එහිදී උන්වහන්සේගේ සුවදුක් විමසා සප්ත බොජ්ඣංගය දේශනා කොට රෝගය සුවපත් කළ බව සඳහන් වේ. මේ ආකාරයට ම මුගලන් මහ රහතන් වහන්සේ අසනීප වූ අවස්ථාවක දී කලන්දක නිවාප නම් ස්ථානයට වැඩම කර සුවදුක් විමසා, දහම් දෙසා උන්වහන්සේ ද සුවපත් කළහ.
කුමන ආකාරයක රෝගියකුට වුව ද නීරෝගි අයගේ සහය ලැබිය යුතු ය. බුදුරදුන් එය ක්‍රියාවෙන් පෙන්නුම් කර ඇත. එම බුදු ගුණය අප විසින් ආදර්ශයට ගත යුතු ය. අප කායික රෝගී තත්ත්වයෙන් පෙළුණු අවස්ථාවක් සිහියට ගනිමු. ඒ අවස්ථාවේ අප විඳි පීඩාව දුරු කිරීමට වෛද්‍යවරු, හෙද හෙදියන් හා උපස්ථායකයන්ට අමතර ව ඥාතීන්, හිතවතුන් හැකි අයුරින් සාත්තු කිරීමට සහාය වූ අයුරු අපට මතක ය. එබඳු සහයක් නො ලැබුණා නම් අප තවත් අසරණ තත්ත්වයට පත්වීමට ඉඩ තිබිණි. එබැවින් අප නීරෝගි ව සිටින අවස්ථාවක වුව ද රෝගී වූ ඥාතීන්ට, හිතවතුන්ට, අසල්වැසියන්ට පමණක් නොව නො හඳුනන අයට වුව ද සුළුවෙන් හෝ උපස්ථාන කිරීමට යොමු විය යුතු ය. එය මහා පින්කමක් සේ ම බුදුරදුන්ට කරන සැලකිල්ලක් ද වේ. රෝහලක රෝගී ව සිටින තම ඥාතියාගේ උපස්ථානයට යන්නකු එහි සිටින වෙනත් රෝගීන්ට අවශ්‍ය උපස්ථාන කිරීම ද අගය කළ යුතු ය.
මානසික රෝගීන් උමතුවෙන් කරන කියන දෙය සමච්චලයට ලක්කරමින් උසුළු විසුළු කරන ඇතැම් පිරිස් ද අප අතර සිටිති. ඇතැමෙක් මේ රෝගීන්ට කායික හිංසන කිරීමට පවා යොමු වෙති. එය මනෝ විකෘතියකි. අප කළ යුත්තේ එම රෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කිරීමයි. ශක්ති ප්‍රමාණයෙන් ඒ අයගේ නීරෝගි බව ඇති කරලීමට සහය වීමයි.
අප බුදුරජාණන් වහන්සේ දෛනික ව පැසුළු යම්කිස ආරම්භයේ දී මහා කරුණා සමාපත්ති සුවයෙන් වැඩ සිටියහ. එහි දී සිදු කෙරෙන්නේ එදින තමන් වහන්සේගේ පිහිට, අනුග්‍රහය ලැබිය යුත්තේ කාට ද යන්න විමසා බැලීමකි. එසේ උන්වහන්සේගේ පිහිට ලැබූ පිරිසට දිව්‍ය, මනුෂ්‍ය පමණක් නොව තිරිසන් සත්තු ද ඇතුළත් වූහ.
බුදුරජාණන් වහන්සේ, අසරණ වූ මේ පිරිස් සොයා වැඩම කොට අවශ්‍ය අනුග්‍රහය ලබා දුන් සේක. මේ වැඩම කිරීම නිබද්ධ චාරිකා නමින් හැඳින්වේ. එනම් විශේෂ පුද්ගලයකු හෝ පිරිසක් හෝ අරබයා පිහිට වීමට වැඩම කිරිම යි.
බව කතරේ අතරමං ව සිටින සියලු දෙනා ද අසරණයෝ ය. ඒ අයට ධර්මාවබෝධය ලබා දීමට උන්වහන්සේ කටයුතු කරනු ලැබුවේ ද අසරණ සරණ ගුණය නිසාවෙනි. නමුත් විශේෂ අනුග්‍රහය ලැබිය යුතු පිරිස් දෛනික ව බුදු ඇසට දර්ශනය විය. උන්වහන්සේ ඒ අය වෙත වැඩම කර පිහිට වූහ. ඒ අතර පියාගේ මරණින් පසු අනේකවිධ දුක්ගැහැවලට මුහුණ පෑ සත් හැවිරිදි සෝපාකට පිහිට වීම සඳහා වැඩම කිරීමට සිදු වූයේ සොහොන් බිමක් වෙත ය. ඒ වන විට ඔහු මළ මිනියකට තබා ගැටගසා තිබිණි. සීතලේ වෙවුලමින් බියට පත්ව, තැතිගෙන සිටි සෝපාකට සෙනෙහෙබර වදනින් ඇමතූ බුදුරජාණන් වහන්සේ, කරුණාබරිත හදවතක් අති පියකු ලෙසින්, එම දරුවා එයින් මුදා ගත් සේක. අවසානයේ විහාරයට කැඳවාගෙන විත් සසුන්ගත කරනු ලැබුවේ මෙලොව පමණක් නොව පරලොව දී ද කිසි විටෙකත් අසරණ නො වන පරිද්දෙනි.