ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
නිවස බොදු පුවත්කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියෝ 80 වැනි ජන්ම දිනය සමරති

කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියෝ 80 වැනි ජන්ම දිනය සමරති

by Thanushika
October 25, 2026 12:50 am 0 comment

බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමිපාණන් වහන්සේ 80 වැනි වියට එළැඹෙති. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මාතර කඹුරුපිටිය, කරගොඩ උයන්ගොඩ නම් සුන්දර ගමෙහි දොන් සාදිරිස් අබේවික්‍රම වීරමන් හා ඇම්. වී. අබේවික්‍රම නම් දම්පතින් යුවළට තුන් වැනි දරුවා ලෙස මෙලොව දායාද කළ පින්වත් කුමරා වයස අවුරුදු දහතුනේ දී එවකට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ සෙවණට පත්විණි. 1962 ජුනි මස 18 වැනි දා බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් වූ ශාසනික පැවිද්ද ලබනුයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති යන පැවිදි නාමයෙනි.

වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා දියතලාව ශ්‍රී සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම ආදී විභාග මැනවින් සමත් කර ගත්හ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පළමු පන්තියේ සාමාර්ථ සහිත ව විශේෂවේදී උපාධිය ලබා, එම විශ්වවිද්‍යාලයේ ම දර්ශන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස වසර ගණනාවක් සේවය කළහ.

උන්වහන්සේ සිය ගුරු දේවයන් වහන්සේගේ ඉල්ලීම පරිදි බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විද්‍යායතනයේ පරිවේණාධිපති ධුරය භාර ගත්හ. එතැන් පටන් ආයතනයේ භෞතික හා ගිහි – පැවිදි මානව සම්පත දියුණු කරමින් වසරින් වසර සබරගමුව පළාතේ පමණක් නොව ලංකාවේ ම අධ්‍යාපන සංවර්ධන අංශයේ ඉහළ ස්ථානයක් ලබා දීමට සමත් විණි. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ පැවිදි ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ අතර සුජීවත් ව වැඩ සිටින ප්‍රධාන ශිෂ්‍ය රත්නය ලෙස අප කතානායකයන් වහන්සේ තුන් හෙළයේ ම කාගේත් ගෞරවයට පාත්‍රව ඇත.

අප මහ නාහිමිපාණන් වහන්සේ ආගමික, ජාතික, ශාසනික, අධ්‍යාපනිත සහ සංස්කෘතික වශයෙන් සිදුකරන සේවය අපරිමිත ය. ඒ නිසා ම උන්වහන්සේ වෙත තනතුරු ගලා ආවේ ය. රාස්සගල විහාර පාර්ශ්වයේ මහ නායක පදවියෙන් පිදුම් ලැබූ උන්වහන්සේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කරති. අන්තර් ආගමික උපදේශකවරයකු මෙන්ම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකවරයෙක් ලෙස අනභිභවනීය සේවයක නිරත වෙමින් සිටිති. ආගමික ක්ෂේත්‍රයෙහි මෙන්ම, අධ්‍යාපනික කටයුතු කෙරෙහි විශේෂ දක්ෂතාවක් ඇති උන්වහන්සේ සබරගමුව පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස දිගු කලක් සේවය කළ අතර, ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ පාලක සභාව වෙත සක්‍රීය දායකත්වයක් ලබා දෙති.

සෘජු හා සුපටිපන්න ගුණෝපේත ගුණයෙන් යුතු අප නාහිමියන් ප්‍රදේශයේ ඇති උසස් අධ්‍යාපන ආයතනයක් වන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ආරම්භයට මුල්ගල් තැබීමට පවා සෙත් පිරිත් දෙසමින් ආශිර්වාද කළ අතර, විශ්වවිද්‍යාලයේ සිදුවන සුවිශේෂී සෑම කටයුත්තකට ම සහභාගී වන්නේ අධ්‍යාපනික මෙහෙවර අත් නොහරිමිනි.

උන්වහන්සේ විසින් ලියැවුණු පොත්පත් රාශියක් ඇත. සූත්‍රගත කරුණු ඉතා ලිහිල් බසින් මෙන් ම සරල සුගම බස් වහරක් යොදමින් ජනගත කිරීම ගිහි – පැවිදි කාගේත් ධර්ම ඥානයට මහත් රුකුලකි.

2004 ඔක්තෝබර් මස 20 වැනි දින අමරපුර නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහනායක පරම පුජනීය ගැටඅරළුවේ ශ්‍රී ධම්මරතන මහ නාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව අප නාහිමිපාණන් වහන්සේ ස්ව නිකායික මහනායක තනතුරට නිතරගයෙන් පත්වූහ. දීර්ඝ කාලයක් ස්වනිකායික මහා සංඝ රත්නයේ පමණක් නොව සමස්ත ලංකාවේ ම ගෞරවාදරයට පත් අප කතානායකයන් වහන්සේ සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති පදවියෙන් පිදුම් ලැබූහ. අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙන් හා පන්නිපිටිය බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙන් ද පිදුම් ලබා ඇත.

නිරන්තර ව උන්වහන්සේ විසින් සිදු කරනු ලබන ආගමික, ජාතික හා ශාසනික සේවයට දක්වන ධෛර්යය කැපවීම නිවැරැදි නායකත්වය හා අවංක ප්‍රතිපදාව ආදර්ශයකි. ඍජු හා සුපටිපන්න ගුණයෙන් යුත් අප මහ නාහිමිපාණන් වහන්සේ 80 වැනි ජන්ම දිනය සමරන මේ මොහොතේ උන්වහන්සේට සුඛී දීඝායුකෝ භව ප්‍රාර්ථනා කරමි.

ශාස්ත්‍රපති කොස්ගම විනීතජීව හිමි

You may also like

Leave a Comment