ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස කතුවැකියබෞද්ධයාගේ වගකීම
ඉල් පුර පසළොස්වක පෝ දා 2026-11-24

බෞද්ධයාගේ වගකීම

by Thanushika
November 24, 2026 12:35 am 0 comment

සම්බුද්ධ ශාසනයේ උන්නතියටත්, රැකවරණයටත් සංඝ සාමගි‍්‍රය සේ ම ගිහි පැවිදි සම්බන්ධතාව ද අතිශයින් වැදගත් ය. සංඝයා වහන්සේ භේද වූ තැන, ගිහි පැවිදි සම්බන්ධතාව දෙදරා ගිය තැන ඒ වැරැදි ආදර්ශය නිසා විශේෂයෙන් ම සමාජයේ බාල පරම්පරාව තුළ ආගම ධර්මය පිළිබඳ, තමන්ගේ ආගමික නායකත්වය පිළිබඳ ආදරය, ගෞරවය විශ්වාසය බිඳී යයි. එය බෞද්ධ සමාජයකට කිසිසේත් ම උචිත නොවේ. ඒ නිසා සියලු බෞද්ධයන් තමන්ගේ වගකීම්වලට වග වෙන්නට සිතට ධාරණය කර ගත යුතු ව ඇත. එය හැම කලටම පොදුය.

කවර රටකට, කවර ජාතියකට, කවර ආගමකට අයත් වුව ද ඒ ඕනෑම මිනිස් කණ්ඩායමක් ලෝකයා විසින් මූලික ව හඳුනා ගනු ලබන්නේ ඔවුන්ගේ හැසිරීම් දෙස බලමිනි. ඔවුන්ගේ සංස්කෘතිය විමසුම් කරමිනි. අන්‍ය ආගමිකයන් අතර බෞද්ධයා සුවිශේෂී වන්නේ කරුණාව, මෛත්‍රිය, දයාව, සංවරශීලී පැවැත්ම, සමඟිය, අන්‍යයන්ට ගරු කිරීම, සුහදත්වය, උපකාරය, සංවේදීකම ආදී මානුෂීය ගුණාංග ප්‍රතීයමාන වන නිසා ය. සම්බුදු දහම තුළ ශ්‍රාවකයන් හැඩගස්වන්නේ ඒ ආකාරයට ය. එය ද සියලු බොදුනුවන් ධාරණය කර ගත යුතු කරුණකි.

අපේ බෞද්ධ උරුමය, සංහිඳියාව, ලෝකයට පෙන්විය හැකි සුවිශේෂී අවස්ථාවක් ලාංකේය බෞද්ධයන්ට උදාවී තිබේ. ඒ ලෝක බෞද්ධ හා සංඝ සම්මේලනයේ හැට වැනි සංවත්සරය ලංකාවේ පැවැත්වීම ය. කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වෙන මෙම සම්මේලනයට රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂු, භික්ෂුණීන් වහන්සේ හා ගිහි නියෝජිතයන් 600කට ආසන්න පිරිසක් විදෙස් රටවල් නියෝජනය කරමින් මෙහි පැමිණීමට නියමිත ය. එළැඹෙන 28 වැනිදා සිට දෙසැම්බර් මස 02 වැනි දා දක්වා පැවැත්වෙන එම සම්මේලනය අපේ රටට වැදගත් වන්නේ ලෝකයේ ම අවධානය දිනා ගන්නා නිසා ය.

එක් පැත්තකින් ලංකාව පිළිබඳ ඇතැම් රටවල වැරැදි චිත්‍ර ඇති බව පැවසේ. ඒවා මඟ හරවන්නට මේ සුවිශේෂී අවස්ථාවකි. එමෙන් ම අපේ රටේ බෞද්ධ සංචාරක ව්‍යාපෘතිය ඉහළ මට්ටමකින් සිදු කිරීමට මේ අවස්ථාව උපකාර කර ගත හැකි ය. විදෙස් බෞද්ධයන් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ද අවම වශයෙනි. ඒ සඳහා මෙම සංවත්සරය උත්තේජනයකි. එම තත්ත්වයන්ට ළඟාවීමට නම්, ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව තවත් ඉහළින් ඔසවා තබන්නට සමත් විය යුතු ය. එහිලා වගකීම පැවරෙන්නේ සමස්ත බෞද්ධයන්ට ම ය. ඒ ඇවතුම් පැවතුම් තුළ, ආකල්ප තුළ, හැසිරීම් තුළ බෞද්ධකම විනා ඊට පටහැනි චර්යාවන් ප්‍රදර්ශනය නොකිරීම ය. බෞද්ධ නාමයෙන් පෙනී සිට, විනය විරෝධීව හැසිරෙනවා නම් ලෝකයේ අපවාදය ලබන්නේ අපේ රට ම ය. එය ජාතියක් ලෙස අප කර ගන්නා වරදකි. ඒ තුළ සිදුවන්නේ ලාංකේය බෞද්ධ උරුමයේ අභිමානය ගිලිහී යාම ය.

ථෙරවාදී බුදු දහම ප්‍රචාරයෙහි ලා ද ලාංකේය භික්ෂූන් වහන්සේට මෙම සම්මේලනය වෙසෙස් අවස්ථාවකි. මෙවර ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ තේමාව වන්නේ කෘත්‍රිම බුද්ධිය සහ බුදුදහමයි. එය කාලීන මාතෘකාවකි. ලෝකයේ සම්බුදු දහමේ ව්‍යාප්තියට අතීතයේ සිට ලාංකේය භික්ෂූන් වහන්සේගෙන් සිදුවූ සාධනීය ගුණ පිළිබඳ ව ද සාකච්ඡා කෙරෙන මේ අවස්ථාව ලොව රටවල් අතර ලංකාව යන නාමය බබළවන්නට සමත් ය. එහිලා අපේ බෞද්ධකම ත්‍රිවිධ ද්වාරයෙන් ම ඔප් නංවා ගැනීම අත්‍යවශ්‍යය.

You may also like

Leave a Comment