ඇතුළාන්තය දමනය නැති පුද්ගලයා බාහිරට සංවර බව පෙන්වයි. ඔහු නළුවෙක් වගේ නොවේද හැසිරෙන්නේ යැයි ප්‍රශ්නයක් ද නැඟේ. එවැනි නළුවෝ අප අතර කොතරම් සිටීද? අප මහ බෝසතාණන් වහන්සේ ජාතක පාලියේ එන තලගොයයි, කටුස්සගෙයි කතාවෙන් මෙය මනාව විග්‍රහ කර තිබේ.
කටුස්සා ඇසුරු කරන්න එපා. මොකද ඇත්තටම කටුස්සා බාහිරට සංවර බවක් පෙන්නුවාට සංවර කෙනෙක් නොවෙයි. ටික දිනක් ගියවිට කටුස්සට හිතෙනවාලු ‘මේ තලගොයා මගේ ඇඟේ දැවටෙනවා. ඒ නිසා කොයිවෙලේ හරි මෙයාගෙ ඇඟට මා යටවෙලා මැරෙන්න පුළුවන්’ කියලා. ඒ නිසා තලගොයා නසලා දාන්න ඕනෑ කියලා කටුස්සා හිතනවා. ඒ සිතිවිල්ලේ ඉන්න කටුස්සට පේනවා, තලගොයි මරන මනුස්සයෙක් එනවා. ඒ මනුස්සයාට කටුස්සා කියනවා, ‘මම ඔයාට පෙන්වන්නම් තලගොයි ගොඩක් ඉන්න ගුහාවක්. එතැනට යමු’ කියලා. අහිංසකයි වගේ හිටිය, කරුණාවන්තයි වගේ හිටිය, සංවරයි වගේ හිටිය කටුස්සා අර සියලු තලගොයි විනාශ කරන්න එදා මඟ කියලා දුන්නා.
පසුව තලගොයි මරන මනුස්සයා ගුහාවට දුම ගහමින් එයින් එළියට එන තලගොයි මරන්න පටන් ගත්තා. මඟ හැරෙන තලගොයි සුනඛයන් ගිහින් අල්ලා ගන්නවා. මෙහිදී අප මහා බෝසතාණන් වහන්සේ ලෝකයට පෙන්වා දුන්නේ කවරකු හෝ ඉන්ද්‍රියයන් අසංවර කෙනෙක් ඇසුරු කරනවා නම් එම පුද්ගලයා තමන්වත් විනාශ කරගෙන, මුළුමහත් සමාජයත් විනාශ කරන බවයි. ඉන්ද්‍රිය සංවරය නැත්නම් එතැනින් එහාට ආධ්‍යාත්මික සීලය ගැන අපට විශ්වාසය හෝ රැකවරණය හෝ ගොඩනඟා ගැනීම අපහසුයි.
සංයුක්ත නිකායේ ‘කුම්මෝපම සූත්‍රයේ’ භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සන උපමාවක් පෙන්වාදී තිබෙනවා. දිනක් ඉබ්බෙක් ගංඉවුරක ගොදුරු සොයමින් සිටින විට නරියකුත් ගොදුරු සොයමින් සිටියා. නරියා, ඉබ්බව දකිනවා. ඉබ්බත් දුරදීම නරියව දකිනවා. ඉබ්බා දන්නවා, තමන් ආරක්ෂා වෙන්න නම් තමන්ගේ අවයව ටික කටුව ඇතුළට ගන්න ඕනෑ කියලා. නරියා ඉබ්බා ළඟට ඇවිත් බලාගෙන ඉන්නවා කොයි මොහොතේ ද ඉබ්බා එක අතක් හරි එළියට දාන්නෙ කියලා. නරියා බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැන තවදුරටත් ඉඳලා තේරුමක් නෑ කියලා එතැනින් යනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, ලෝකය දිහා බැලුවා ම අරමුණු තියෙනවා. අද පුදබිමකට ගියත් සමහර කෙනකුට ගැටෙන්න අරමුණු තියෙන්න පුළුවන්. සමහර දේ ඇහෙන කොට ගැටෙන්න අරමුණු තියෙන්න පුළුවන්. මොකද මේ අසංවර ලෝකයකයි අපට සංවර වෙන්න තියෙන්නේ. සංවර ලෝකයක නැවත සංවර වෙන්න දෙයක් නැහැ. අසංවර ලෝකයක සංවර වෙනවා නම්, එතැන තමයි ශ්‍රේෂ්ඨ බව තියෙන්නේ කියලා. අසංවර ලෝකයේ, සංවර වූ පුද්ගලයා දන්නවා, අසංවර ලෝකයක තමන් පරිස්සම් කර ගන්න. අර ඉබ්බා අවයව ටික ඇතුළෙ හංගාගෙන ඉන්න තාක්කල් නරියට බැරි වුණා ඉබ්බව ඩැහැගන්න. මේ අරමුණු දෙස හොඳට සිහියෙන් බලන්න. එවිට ලෝකයේ කොපමණ දේ තියෙනවා ද මේ දෑසට පෙනෙන්න.
ඇස අසංවර නම් පමණයි පෙනෙන අරමුණේ කෙනෙක් ඇලෙන්නේත්, ගැටෙන්නේත්, මුලාවෙන්නේත්. කන අසංවර නම් පමණයි ඇසෙන අරමුණෙහි ඇලෙන්නේත්, ගැටෙන්නේත්, මුලාවෙන්නේත්. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි, ඉන්ද්‍රියය මනාව සංවර නම්, ඔබලාට කෙලෙස් මාරයාට පුංචිවත් ඉඩක් හදා ගන්න පුළුවන්කමක් නැහැ. බලාගෙන ඉඳලා නරියා පැනලා දුවනවා වගේ මාරයත් අපි ළඟ රැඳෙන්නේ නැහැ. මේ මොහොතේ අත්දකින ලෝකය තමයි ධර්මයෙන් පෙන්වන සැබෑ සීලය. මේ මොහොතේ අත්දකින ලෝකය ගැන සිහියෙන් බලන්න පුළුවන් නම් කොපමණ අරමුණු තිබුණත් පෙනෙන, දැනෙන, විඳීන අරමුණු කෙරෙහි ඇලීමක් නැත්නම්, ගැටීමක් නැත්නම්, මුලාවීමක් නැත්නම් එයයි ධර්මයෙන් පෙන්වන සැබෑ ඉන්ද්‍රිය සංවරය.
මේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන් විවිධ දෙයින් මත් වෙනවා. භද්‍ර යෞවනයේ සිටින තරුණයන්ට යොබ්බන මදය, සමහර කෙනකුට ධන මදය, තවත් සමහරකුට බල මදය, තවත් කෙනකුට කුල මදය ආදී විවිධ මත්වීම් ඇතිවෙනවා. උදාහරණයක් ලෙස කුල මදයෙන් මත් වන කෙනා තමන්ගේ කුලයට ගැළපෙන ම කෙනා ලැබෙන තුරු අවුරුදු ගණනක් විවාහයට බලා ඉන්නවා. මේ අය කුලයෙන්, වංසයෙන් අසීමාන්තික ව මත් වෙලා.
බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෙයක් අගය කළේ නැහැ. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ‘ඨාන’ සූත්‍රයෙන් මෙය මනාව විග්‍රහ කෙරෙනවා.
දිනක් බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, භද්‍ර යෞවනයේ ඉන්න විට හැමදාම හිතන්න මේ යෞවනය හැමදාම මා ළඟ තියෙන එකක් නොවෙයි. ඔබ ළඟ බලපුළුවන්කාරකම, බලවත්කම තිබෙන්න පුළුවන්. නමුත් ඔබ බලයෙන් කොයිතරම් මත් වෙලා හිටියත් ඔබව දුබලයෙක් බවට පත් වෙනවාමයි. ‘යොබ්බන ජරාඅන්තා’ මේ යෞවනය හැමදාම තියෙන්නේ නැහැ. එය දිරීමකින්, වයසට යෑමකින් අවසන් වෙනවා. යොබ්බන මදයෙන් මත් නොවෙන්න, කුල මදයෙන් මත් නොවෙන්න, ජාති මදයෙන් මත් නොවෙන්න, රූප මදයෙන් මත් නොවෙන්න අපේ චින්තනය හුරු කළ යුතුයි.
ලස්සනට, ප්‍රියමනාප ලෙස සිටීමේ වරදක් නැහැ. බුදුදහමෙන් ද එය ප්‍රතික්ෂේප නොකරයි. ධර්මයෙන් පෙන්වා දෙන්නේ කිසිම දෙයකින් මත් නොවන ලෙසයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ ධර්මතාව ලෝකයේ කිසිම දෙයකට මැඬ පැවැත්වීමට පුළුවන්කමක් නැහැ. අප සෑම මොහොතක ම සිතිය යුත්තේ තරුණ වුවත්, මැදිවියේ වුවත් මේ ජීවිතය වයසට යෑමෙන් කෙළවර වන එකක් බවයි. කොයිතරම් ලස්සන කෙනෙක් වුව ද යම් දිනෙක අවලස්සන වීමකින් කෙළවර වෙනවා. කොයිතරම් ධනවතෙක් වුව ද අවසානයේ දුබලයෙක් බවට පත් වෙනවා.
කොයිතරම් කුලවතෙක් වුව ද මරණය හමුවේ හිස් කෙනෙක් බවට පත් වෙනවා. මොන ජගතෙක් වුව ද, බලවතෙක් වුව ද තමන් අතහැරීම නවත්වන්න කවරකුටවත් හැකියාවක් නැහැ.
(ඇල්පිටිය දම්සර සෙනසුනේ අනුශාසක ගල්ලෑල්ලේ
පඤ්ඤාසාගර හිමියන්ගේ
ධර්ම දේශනාවක් ඇසුරිනි)
දිල්හානි ජයවර්ධන