දානය යනු පරිත්‍යාගයකි. පරිත්‍යාග කුසල කර්මයකි. දන් දෙන හැම දෙනාටම සසර සුඛ සේ ම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබාදෙන උතුම් නිවන් සුවය ලබා ගැනීමට උපකාර වන ඉතා වටිනා පුණ්‍ය කර්මයකි. දානය දීමට පෙරත්, දන් දෙන අවස්ථාවේදීත්, දානය පූජා කිරීමෙන් පසුවත් තමාගේ තුන් සිත පහදාගෙන දානය මහත්ඵල මහානිශංස කර ගැනීම ශ්‍රාවකයාට හැකියාව ඇත. දානය පාරමිතාවක් ලෙස දියුණු කර ගත යුත්තේ කෙසේද කියා නා උයනේ අරියධම්ම මාහිමියන් විසින් රචිත මහත්ඵල ලැබීමට නම් මෙසේ දන් පින්කම් කළයුතුය, යන ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ පළ වේ.
1. සද්ධා ඉන්ද්‍රිය 2. වීරිය ඉන්ද්‍රිය 3. සති ඉන්ද්‍රිය 4. සමාධි ඉන්ද්‍රිය හා 5. ප්‍රඥා ඉන්ද්‍රය යන මෙම ඉන්ද්‍රිය ධර්ම පහ සම සම ව තබා ගන්නට ඕනෑ. එයින් “සතිය” නැමති ස්මෘතිය වැඩියෙන් තිබෙන්නට ඕනෑ. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව යන දෙක සම සමව තිබෙන්නට ඕනෑ. වීර්යය සහ සමාධිය යන දෙක සම සම ව තිබෙන්නට ඕනෑ. මේවාගෙන් එකක් හෝ අඩු නම් එතැන දී කුසල් සිත ඥාන සම්ප්‍රයුක්ත වන්නේ නැහැ. එතැන දී කුසල් සිත දුර්වල සිතක් බවට පත්වෙනවා. එබැවින් මෙම ධර්මතා පහ අඩු වැඩි නැති ව සතිය වැඩියෙන් තබා ගෙන සෙසු ශ්‍රද්ධා, වීරිය, සමාධි, ප්‍රඥා යන ධර්ම හතර ම අඩු වැඩි නොවී සම සම ව පවත්වා ගන්නට ඕනෑ.
එබඳු කෙනෙක් යම්කිසි පින්කමක් සිදු කිරීමේ දී සිත ඥාන සම්ප්‍රයුක්ත වෙනවා.
දුප්පඤ්ඤපුග්ගල පරිවජ්ජනතා
බුදු බණ නො දන්න අය, අනුවණ අය, දුශ්ප්‍රාඥ අය, පස්පව්, දස අකුසල් කරන අය ආශ්‍රයට ගැනීමෙන් වැළකී සිටීමයි. එබඳු පුද්ගලයන් ආශ්‍රය නො කිරීම නිසා නුවණ වැඩෙනවා.
පඤ්ඤවන්ත පුග්්ගල සේවනතා
බුදු බණ දන්නා ඥානවන්ත කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් ආශ්‍රය කිරීම, නිතර ධර්ම සාකච්ඡා කිරීම, නො දන්නා දෙය අසා දැන ගැනීම, ඒවා ආදර්ශයට ගෙන ක්‍රියාත්මක කිරීම තුළින් තමාගේ සිතේ නුවණ වර්ධනය වෙනවා.
ගාම්භීර ඤාණචරියා පච්චවෙක්ඛනතා
මහබෝධි සත්ත්වයන් වහන්සේ විසින් ප්‍රඥා පාරමී පිරූ ජීවිත තිබෙනවා නේද? සේනක පණ්ඩිත ජාතකය, ආදාශමුඛ පණ්ඩිත ජාතකය, විදුර පණ්ඩිත ජාතකය, උම්මග්ග ජාතකය වැනි මෙබඳු බෝධි සත්ත්ව චරිත ගැන සිහි කිරීමත්, බුදු බවට පත් වී දේශනා කළ, ස්ඛන්ධ දේශනා, ආයතන දේශනා, ධාතු දේශනා, චතුරාර්ය සත්‍ය දේශනා, පටිච්ච සමුප්පාද දේශනා ආදී ගාම්භීර ධර්මයන් නිතර නිතර කියනවා නම්, ඒ පිළිබඳ ආවර්ජනා කරනවා නම්, ඒවා මෙනෙහි කරනවා නම්, එයින් ද තමා කරන කුසල ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. එවැනි කවර කෙනෙක් විසින් නමුත් කෙබදු පින්කමක් කරතත් එය ඥාන සම්ප්‍රයුක්ත වෙනවා.
තදධිමුත්තතා
මෙම හැම කුසල් සිතක් ම ඥානවන්ත ව ම සිදු කරන්නෙමියි කියලා දැඩි ලෙස සිතේ අධිෂ්ඨානයක් තබා ගෙන කටයුතු කිරීමයි. එසේ අධිෂ්ඨාන බල පිහිටුවා ගෙන පින්කම් සිදුකිරීමේ දී, එම පින්කම මුල සිට අග දක්වා ම, දිගින් දිගට ම ඥානය මුසු කර ගෙන සිදු කරන බැවින්, එම කුසලය සාර්ථක වූ, මහත්ඵල ගෙන දෙන පින්කමක් බවට පත් වෙනවා.
බුද්ධාදී ගුණානුස්සරනේනච
ඉතිපිසෝ ගාථා පාඨයේ තිබෙන ගුණ මෙනෙහි කරමින්, ඉතිපිසෝ ගාථාව භාවනාවක් මෙන් නිතිපතා වඩනවා නම්, තමා කරනු ලබන කුසලය ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. දානමය පින්කමක් කිරීමේ දී බුදුගුණ සිත සිතා බුදුගුණ කියව කියවා, කිරීමේ දී දහම් ගුණ මෙනෙහි කරමින් එම දම් පින්කම් කරනකොට, එම පින්කම් ඥාන සම්ප්‍රයුක්ත පින්කම් බවට පත්වෙනවා.
සප්පඤ්ඤ සන්ධි කියන්නේ උපතින් ම ඥාන සම්ප්‍රයුක්ත ව, ප්‍රතිසන්ධියකින් ඉපදී සිටින්නට ඕනෑ. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් ඉපදී සිටින කෙනකුට, තමා කරනු ලබන සෑම කුසලයක් ම ඥානවන්තව ම කර ගන්නට හැකි වෙනවා.
කුසලයක් ඥාන සම්ප්‍රයුක්ත වීමට උපකාර වන කරුණු දහතුනක් මෙතැන සඳහන් වුණා. මෙම ධර්මතා අනුව අප විසින් ඥාන සම්ප්‍රයුක්ත ව දානයක් දෙනවා නම්, නුවණින් යුක්තව සීලයක් රකින විට, නැණ නුවණින් යුතු ව භාවනා වඩනවා නම්, ඥාන සම්ප්‍රයුක්ත ව ආගමික
වත්පිළිවෙත් හි යෙදීමේ දී, දවසෙන් දවස, අපේ සිත්වල උත්කෘෂ්ඨ කුසල් වර්ධනය වන බැවින්, අප මෙලොව වශයෙන් සිතූ පැතූ අර්ථයන් සිදු වෙනවා. පරලොව වශයෙන් සුගතිගාමී වෙනවා. ජාති ජාතිත් ආලෝකයෙන් ආලෝකයට යා ගන්නට සමත් වෙනවා. අවසානයේ දී භව තරණය කිරීමෙන් ලැබෙන, ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වෙනවා. යම්කිසි පින්කමක් කිරීමේ දී සිත සොම්නස් සහගත වීමටත්, ඥාන සම්ප්‍රයුක්ත වීමටත්, හේතු වන කරුණු රාශියක් මෙතැන සඳහන් වුණා. ඒ අතරින් ඉතා ම වැදගත් කරුණක් පිළිබඳ ව අපි විශේෂයෙන් තේරුම් ගත යුතු වෙනවා.
යම්කිසි දානයක් දෙන වෙලාවේ එම දානය මහත්ඵල, මහානිශංස වන්නේ යොදන ඥාන සම්ප්‍රයුක්ත බව නිසයි. එය පිළිබඳ වඩාත් අවබෝධය පහසු වන පිණිස අට්ඨ කථාචාර්යයන් වහන්සේ විසින්, දක්ඛිණ විභංග සූත්‍ර අට්ඨ කතාවේ බොහෝ වටිනා ප්‍රශ්නයක් අසා තිබෙනවා.
එක් දවසක සැරියුත් මහ රහතන් වහන්සේ විසින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරනවා නම්, එම දානය ද මහත් ඵල වන්නේ?
එසේ නොමැති ව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මහ රහතන් වහන්සේට දානයක් පිරිනමනවා නම් එම දානය ද මහත්ඵල වන්නේ?
මෙම දාන දෙකෙන් කවර දානය ද වැඩි ආනිශංස ලැබෙන්නේ?
යනුවෙන් ප්‍රශ්න කර තිබෙනවා. මෙම ප්‍රශ්නය අනුසාරයෙන් සලකා බැලීමේ දී බොහෝ දෙනා කියන්නේ, පිළිතුර දෙන්නේ සැරියුත් ස්වාමීන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට දෙන දානය මහත්ඵලයි. මහානිශංසයි කියලයි.
ඒත් එම පිළිතුර ප්‍රතික්ෂේප කරන අට්ඨ කථාචාර්යයන් වහන්සේ එම ප්‍රශ්නය විසඳන්නේ එහි අනිත් පැත්තට යි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මහ රහතන් වහන්සේට දෙන දානය මහත්ඵලයි, මහානිශංසයි. ඒ තමා නිවැරැදි පිළිතුර.
එයට හේතුව සැරියුත් මහ රහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට දානයක් දෙන වෙලාවේ දී යම් පමණක් ද ප්‍රඥාව පහළ වන්නේ? ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මහ රහතන් වහන්සේට දානයක් පිරිනමන වේලාවේ දී උන්වහන්සේගේ සන්තානයේ ඊට වඩා සිය ගුණයෙන්, දහස් ගුණයෙන්, ලක්ෂ කෝටි ගුණයෙන්, අසංඛ්‍ය ගුණයෙන්, ප්‍රඥාව පහළ වෙනවා. උන් වහන්සේ විසින් යමක් පරිත්‍යාග කරන්නේ. අසාමාන්‍ය ප්‍රඥාවෙන් බැවින් සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දෙන දානයට වැඩිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දෙනු ලබන දානය මහත්ඵලයි, මහානිශංස යි.
මතු සම්බන්ධයි