ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
නිවස බෞද්ධ දර්ශනයදුක්ඛිත නිරයේ බියජනක වත-ගොත…

දුක්ඛිත නිරයේ බියජනක වත-ගොත…

by Thanushika
October 10, 2026 12:25 am 0 comment

සත්ත්වයා බොහෝ සෙයින් දුක් විඳින අපායේ ප්‍රධාන නිර අටකි. ඒ සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි යනුවෙනි. තවත් ඔසුපත් නිරය හෙවත් උස්ස ද නිරය 128කි. මේ අනුව නිරය 136කි. මේ ලිපියෙන් අටමහ නරකය ගැන අටුවාවල සඳහන් තොරතුරු දැක්වේ.

සංජීව නරකය

අටමහ නරකයන්ගෙන් ප්‍රථම නරකය යි. මෙහි උපන් නිරිසතා යමපල්ලන් විසින් කපන, කොටන කල්හි ද කර්ම බලය නිසා ජීවිතය තොර නො වන හෙයින් සංජීව නම නරකයට යෙදී ඇත්තේ ය. චාතුම්මහාරාජිකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකි. මිනිස් ලොව වර්ෂ ගණනින් අනූ ලක්ෂයක් අවුරුදු මේ නරකයට එක දිනකි. එබඳු දින 30ක් මසකි. මාස 12 ක් අවුරුද්දකි. එබඳු මිනිස් ලොව වර්ෂ ගණනින් අවුරුදු කෝටි එක්ලක්ෂ සැට දෙදහසක් වන්නේ ය.

මිනිස් ලොව උපන් කල බෝ රුක් කපා, අතු කඩා දැමුවෝ ද, බණ පොත් සිඳ බිඳ දැම්මෝ ද, පොත් ගුල් නැසුවෝ ද, තුනුරුවන්ට කරන අපහාස, සත්පුරුෂයන් පීඩාවට පත් කිරීම හා පස්පව්, දස අකුසල් සංජීව නිරයේ උපතට හේතු වේ. මෙහි කකිය කකිය නටන ලෝ දියෙන් ද, බුර බුරා නඟින ගිනිදැල්වලින් ද යමපල්ලන්ගේ ඉතා සියුම් වූ කඩු තෝමර ආදී මුවහත් ආයුධවලින් ද පීඩා ලබමින් කර්මය ගෙවෙන තෙක් නොමැරී දුක් විඳිති. කර්මය ගෙවුණ දා කලුරිය කරති. ගව් දෙගව් උස ඇති සිරුරු දරමින් දරුණු දුක් විඳිති.

කාල සූත්‍රය

අටමහ නරකවලින් දෙවැනි නරකය යි. මෙහි උපන් නිරිසතාගේ ද සිරුර ගව්දෙගව් පමණ උස් වෙයි. සියුම් ආයුධවලින් යමපල්ලෝ නිරිසතාගේ ඇඟමස් ලියති. ගිනිගෙන දිලිසෙන පොළොවෙහි හොවා ඇඟමස් සිඳිති. ඉරති. කර්මවේගය තිබෙන තාක් නො මැරී දුක් විඳිමින් ජීවත් වන නිරිසතා මහ දුකින් හඬ හඬා ඈත මෑත දුව පැන ඇවිදී. තාවතිංසයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකි. මිනිස් ලෝ ගණනින් අවුරුදු තුන් කෝටි සැට ලක්ෂයක් මේ අපායට එක් දිනකි. එබඳු මාස, වර්ෂ ආදියෙන් මෙහි පරමායුෂ වර්ෂ දහසකි. මිනිස් වර්ෂ ගණනින් පරමායුෂ අවුරුදු දොළොස් ලක්ෂ අනූදහස් අට කෝටියක් වේ. මිනිස් ලෝ උපන් කල දාගැබ් බින්දෝ ද, දා කරඬු මැකුවෝ ද, ධාතු සහිත පෙති පිළිම සිඳ බිඳ දැමුවෝ ද, සිල්වත් ගුණවතුන් මැරුවෝ ද, පූජනීය වස්තු විනාශ කරන, පූජනීය ස්ථාන කෙලෙසන, ගරු කළ යුතු අයට හිරිහැර කරන අයත්, පස්පව් දස අකුසල් සිදු කරන අයත් මේ නිරයට වැටේ. මේ අපායෙහි ඉපිද කර්මය ගෙවෙන තාක් මහ දුක් විඳිමින් කල් යවති. කර්මය ගෙවුණ දා චුත වෙති.

සංඝාතය

මෙහි උපදින නිරිසතුන්ගේ ශරීරවලින් අඩක් දක්වා යට ගිනිගෙන දිලිසෙන පොළොවෙහි ගැලී සිටී. එසේ සිටි නිරිසතුන් බුර බුරා නඟින ගිනිදැල්වලින් දැවෙද්දී නැඟෙනහිර දිශාවෙහි සිට ගිනිගත් විශාල යකඩ පර්වතයක් හෙණ හඬ නංවමින් පෙරළීගෙන අවුත් නිරිසතාගේ ශරීරය ද පොඩි කරමින් බටහිර බිත්තියෙහි වැදී නවතී.

නැවත උතුරු දිගින් පෙරළී එන යකඩ පර්වතය නිරිසතුන්ට පීඩා කරමින් දකුණු බිත්තියෙහි හැපී නවතී. මෙසේ උතුරු, දකුණු, නැඟෙනහිර, බටහිර, උඩ, යට යන සදිසාවෙන් පෙරළී එන යකඩ පර්වතවලට පොඩි වෙමින්, ඝාතනය වෙමින් කර්ම වේගය තිබෙනතාක් පීඩා ලබමින් කල් යවත්. අහිංසක ගුණවත් ස්ත්‍රී පුරුෂයන්ට තළා පෙළා හිරිහැර කළෝ ද, සම්මත කුලවතුන්ට අවනම්බු කොට ඔවුන් තනතුරුවලින් පහ කළාහු ද, උකුණන්, ඉනිකුණන් බින්දෝ ද, උගුªල් අටවා සතුන් මැරුවෝ ද, සත්ත්ව ඝාතන, සත්ත්ව හිංසාව, දූෂණ, වංචා කරන අයත් පස්පව් දස අකුසල් කරන අයත් මේ නිරයට වැටේ. මිනිස් ලොව තුදුස්කෙළ සතළිස් ලක්ෂයක් අවුරුදු මෙහි දිවා රාත්‍රී එක දවස යි. එම දින, මාස, වර්ෂ ගණනින් අපාය වර්ෂ දෙදහස් පරමායු වෙති. මිනිස් ලෝ ගණනින් එක්ප්‍රකෝටි තුන් ලක්ෂ සැට අටදාහක් පරමායු බව දක්වයි. යාම දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකට සමාන වේ.

රෞරවය

ගිනිගෙන දිලිසෙන පොළොවෙහි බුර බුරා නඟින ගිනිදැල්වලින් රුක් සිදුරු තුළ ගින්නක් මෙන් ඇතුළත දැවෙමින් මෙහි දුක් විඳින නිරිසත්තු කර්ම බලයෙන් නො මැරී ජීවත් වෙති. මවුපියන් තළා පෙළා හිංසා කළාහු ද, සහලේ ඥාතීන්ට පීඩා කළාහු ද, අපවාද කළාහු ද, පස්පව් දස අකුසල් කළ අය මෙහි ඉපිද දුක් විඳිති. මිනිස් ලෝ ගණනින් සත්පනස් කෝටි හැට ලක්ෂයක් අවුරුදු එක් දිවා රාත්‍රියක් වන මේ අපායෙහි එබඳු මාස, වර්ෂ ගණනින් පරමායු වර්ෂ සාර දහසෙකි. මිනිස් ලෝ ගණනින් පරමායුෂ වර්ෂ අට ප්‍රකෝටි විසිනව ලක්ෂ සූසාළිස් දහසකි. තුසිත දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකට සමාන වේ.

මහා රෞරවය

නිම්මාණරති දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකට සමාන වේ. මිනිස් ලෝ ගණනින් අවුරුදු දෙසීය තිස් කෙළ හතළිස් ලක්ෂයක් එක් දිවා රාත්‍රියක් වන මේ නරකයේ එබඳු මාස, වර්ෂ ගණනින් පරමායුෂ අටදහස් වසරකි. මිනිස් ලෝ ගණනින් හැටහය ප්‍රකෝටි පන්තිස් ලක්ෂ දෙපනස් දහස් ප්‍රමාණ වර්ෂ ගණනක් පරමායුෂ වෙයි. ඉතා බියකරු ගිනිදැල්වලින් වෙළි වෙළී මහ දුක් විඳින නිරිසත්තු අපායෙහි වූ මහා ඝෝර වූ දුක්ඛයන්ගෙන් පීඩා ලබති. පන්සිල්, දසසිල් ආදී උසස් සීල ගුණ ආරක්ෂා කරන සිල්වත් ගුණවතුන්ට නින්දා අපහාස කළෝ ද, අර්යෝපවාද කළෝ ද, පස්පව් දස අකුසල් කළ අය ද මෙහි ඉපදී කර්මය ගෙවෙනතාක් දැඩි දුකින් තැවේ.

තාපය

මිනිස් ලොව වසන කල රජ බල, නිල බල, රාජකාරි බල ආදී යම් යම් තත්ත්වයේ වගකීම් බල දරමින් ද, සතර අගතියෙන් ද ක්‍රියා කොට, හිමියන් අහිමියන් කොට, අහිමියන් හිමියන් කොට, බොරු නඩු පටලවා වැඩිපුර දඬමුඩ ගස්වා මහජනයාට වධ කළාහු ද, පස්පව් දස අකුසල් කළ අය මේ නරකයේ උපදිති.

ගිනිගෙන දිලිසෙන යහුලින් ඇමිණී සෙලවෙනු නොහැකි ව මහ දුක් විඳිති. මිනිස් ලෝ වර්ෂ ගණනින් නවසිය විසිඑක්කෝටි සැට ලක්ෂයක් අවුරුදු මේ අපායට එක් දිනයකි. එනම් පරනිම්මිතවසවත්තී දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකට සමාන වේ. එබඳු දින, මාස, වර්ෂ ගණනින් පරමායුෂ වර්ෂ සොළොස් දහසකි. මිනිස් ගණනින් පරමායුෂ වර්ෂ පන්දහස් සත්සිය දහහතර ප්‍රකෝටි අසූසාර ලක්ෂ දසදහස් කෝටියක් පමණ වේ.

ප්‍රතාපය

බොරු සාක්ෂි කීවෝ ද, එයට අනුබල දුන්නෝ ද, බොරු අගති නඩු විනිශ්චය කළෝ ද, අනුන්ගේ දේපළ ප්‍රයෝගයෙන් හා බලහත්කාරයෙන් තමන්ට හිමි කර ගත්තෝ ද, පස්පව් දස අකුසල් කළ අය මේ දරුණු දුක් ඇති අපායෙහි ඉපිද දුක් විඳිති. මෙහි විශේෂයෙන් ගිනිගෙන දිලෙන යකඩ පර්වත තැන් තැන්වල ඇත. යමපල්ලන් විසින් නිරිසත්තු පර්වත මුදුනට නංවනු ලැබෙත්, එකල ක්ෂාරාවාත නම් මහා වාතයක් කර්ම බලයෙන් හමාවිත් නිරිසතා බිම හෙළයි. බිම වැටෙන නිරිසතා පා උඩුකුරුව හිස යටිකුරුව බිම සිටුවා ඇති යහුල් මත වැටී එහි ඇමිණේ. මෙහි පරමායුෂ කොතෙක් ද? දෙගව් උස ඇති, දෙගව් වට ගලක් අවුරුදු සියයකට වරක් පිස දමනු ලැබීමෙන් ගෙවී ගොස් ඒ ගල බිම හා සම බවට යෑමට යම්තාක් කල් ගතවේ ද, මෙහි පරමායුෂ ඒ තාක් කල් බව දක්වා ඇත. අර්ධ අන්තඞකල්පයක් බව ද කියයි. එනම් පරමායුෂ දහයේ සිට අසංඛෙය්‍ය දක්වා මිනිසාගේ ආයුෂ වැඩීමට ගතවන කාලයයි. ඒ තාක් නිරයේ දුක් විඳිය යුතු ය.

අවීචි මහා නිරය

අට වැනි නිරය අවීචිය යි. මෙය සෙසු මහ නරක හතට වඩා දුක් උපදවන ස්වභාවයෙන් යුක්ත ය. කල්පයේ මුල් භාගයේ ඇතිවන භයානක ගින්නක් මෙන් අපායේ නැඟෙනහිරින් පටන් ගන්නා ගිනිසිළු බුර බුරා නඟමින් සළාදි දී ගොස් බටහිර බිත්තියේ හැපෙයි. බටහිරින් පටන් ගන්නා ගිනිදැල් බුර බුරා නඟමින් නැඟෙනහිර බිත්තිය දක්වා හැපී ගොස් ආපසු එයි. උතුරු දකුණු දෙදිශාවෙන් පටන් ගන්නා ගිනි ද මෙසේ බුර බුරා නැඟ නැඟ දිවෙයි. සුවාසු දහසක් යොදුන් ගැඹුරැති මහ සයුරේ ජලස්කන්ධය එකවිට ගෙන අවීචියෙහි ගිනියම් වූ යකබල පිට බහාලුවොත් යකබලකට දැමූ තණ අග පිනි බිඳක් මෙන් දවා පියන තරම් තද ගිනි ඇත්තේ ය. මෙ තරම් දරුණු වූ ගින්නෙන් නිරිසතා නො මැරී දුක් විඳිමින් කල් යවන්නේ කර්ම වේගය නිසා ය.

මාතෘ ඝාතක, පිතෘ ඝාතක, අරහන්තක ඝාතක, ලෝහිතුත්පාදක, සංඝභේදක යන පඤ්චානන්තර්ය කර්ම කළෝ ද, බෝසත් ගුණ දරන උතුමන්ට පීඩා කළෝ ද, දාගැබ්, මහ බෝ සිඳ බිඳ දැමුවෝ ද, තෙරුවන් සතු දෙය සොරා ගත්තෝ ද, දරුණු ළෙස සුරාපානය හා ස්ත්‍රී දූෂණ කළෝ ද, සිල්වතුන් භේද කළෝ ද යනාදී අපරාධ කළ අය, පස්පව් දස අකුසල් කළ අය මෙහි ඉපිද මහ දුක් විඳිති. තපස් දම් රකිනා සීල සංයමයෙන් යුතු අයටත්, සුපේෂල භික්ෂුන්ටත් පරුෂ වචනයෙන් බණින අයත් මේ නිරයේ උඩුකුරු පා ඇතිව, යටිකුරු හිස ඇතිව වැටේ. උතුමන්ට බණින පව්කාරයෝ කෑලිවලට කැපූ මත්ස්‍යයන් මෙන් අවුරුදු අසංඛෙය්‍ය ගණනක් මෙහි පැසේ. මෙහි පරමායුෂ අන්තඞකල්පයකි. මිනිසුන්ගේ පරමායුෂ වර්ෂ දහයේ සිට අසංඛෙය්‍ය දක්වා වැඩි වී නැවත දස වර්ෂය දක්වා පිරිහීමට ගතවන කාලය අන්තඞකල්පයකි. පාපය ගෙවෙන තෙක් නැවත නැවත ඉපදී දුක් විඳිති.

අවීචියෙහි උපන් දෙව්දත් භවකීල නම් වූ දුක අනුභව කරයි. දෙව්දත් තෙර යොදුන් සියයක් උස් වූ සිරුරක් දරයි. දෙපාවල කෙණ්ඩා දක්වා යට පොළොවෙහි ගැලී ඇත. දෙඅත් මැණික් කටුව දක්වා දෙපස ලෝහමය බිත්තියෙහි ද, හිස බැම තෙක් උඩපියස්සෙහි ද ගැලී ඇත්තේ ය. අධෝභාගයෙන් යවුලක් පිවිස සිරුර විනිවිද ගෙනගොස් උඩ ලෝහමය පියස්සෙහි ඇමිණී ඇත. පෙරදිග බිත්තියෙන් යවුලක් පැන නැඟී ළය විනිවිද ගොස් අපරදිග බිත්තියෙහි ඇනී ඇත. උතුරු බිත්තියෙන් නික්මුණු යවුල ඉලඇට විනිවිද ගොස් දකුණු දිග බිත්තියට වැදී ඇත. සෙසු නිරිසතුන්ගෙන් වෙන් ව වෙනම කොටසක මෙසේ දෙව්දත් නිරිසතා භවකීලය නම් වූ මේ දරුණු දුක විඳිමින් සිටී. පාපකර්මය ගෙවී නො තිබෙන තාක් සත්ත්වයා නො මැරී දුක් විඳින බවත්, දුක් විඳින සතුන්ගේ ද දුක්ඛ වේදනාවන්ගෙන් ද, ගිනි දැල්වලින් ද, අතරක්, සැනසීමක් මේ අපායෙහි නොමැති හෙයින් මේ අපාය අවීචි නම් වී යැයි දක්වා ඇත්තේ ය.

පෙරදිගින් පටන් ගත් ගිනිදැල් අපරදිග දක්වා විහිද ගොස් අපරදිග ප්‍රාකාරයෙහි හැපී යොදුන් සියයක් තැන් පිටතට විනිවිද යයි. සෙසු දිශාවන්හි ද එසේමැ යි. මෙසේ, නිරය තුළ ගිනිදැල් බුර බුරා සළාදිදී, මහා ශබ්ද පතුරුවමින් නිරය පිටතට සියයක් යොදුන් තැන් පැතිර සිටී. අවීචියට මහා නිරය යැයි ද දේශනා කර ඇත.

කොන් සතරක් ද, දොරවල් සතරක් ද ඇති මහා නරකයෙහි ඇතුළකොටස්වලට බෙදී ඇත්තේ ය. ඇතුළත සියක් යොදුනක් දිග පළල ඇත්තේ ය. යකඩ ප්‍රාකාරයකින් වට වී ඇති අතර, එබඳු පියනකින් වැසී ඇත්තේ ය. බිම යකඩ භූමිය ම ය. මේ සියල්ල ගිනිගෙන දිලිසෙන්නේ ය. යොදුන් සියයක් ඈතට තේජස් පැතිරෙන්නේ ය. යොදුන් සියයක් ඈත සිටියහුගේ දෙඇස් පුපුරා හැලෙන තරම් රස්නයක් ඇති බව දේශිතයි.

තව ද හුණ තලයක පුරාලු යහුණු සෙයින් අවීචියේ පැහෙන සතුන්ගේ ද ගණනක් නැත. එහෙත් ඔවුනොවුන්ගේ ගමන් යෑමට, දිවීමට එයින් බාධාවක් නැත. යන්නවුන්ට සිටගත් අයගෙන් ද, සිටින අයට දුවන්නවුන්ගෙන් ද බාධාවක් නැත. මෙසේ සත්ත්වයන්ගෙන් අතරක් නැති හෙයින් මහා නරකය ‘අවීචිය’ නම් විය.

මේ අටමහ නරකයන්ගෙන් එක් නිරයක් වටා තවත් නිරයන් 16ක් ඇත. ඒ නිරයන් පොදුවේ උස්සද නිරයන් ලෙස හැඳින්වේ. ඔසුපත් නිරය යැයි ද කියත්. මේ අනුව උස්සද නිරය 128ක් වේ. අටමහ නරකයන් සහිත ව නිරය 136කි. මේ 136ක් නිරයන් මේ මහා පෘථිවිය හා සම්බන්ධ ය. ලෝකාන්තරික නිරය සක්වළින් එහා ය.

අපාය විස්තර කියවද්දී ද ඉතා දැඩි බියක් දැනේ. මෙතරම් දුක්ඛිත නිරයේ සැබෑ තතු මනුසතා දැන දැනත් පව්කම් ම කරති. පාපයෙන් මිදී පිනෙහි ඇලී වාසය කිරීමට නිතර පුරුදු පුහුණු වීම මෙයින් මිදීමට ඇති එකම මඟ වේ.

You may also like

Leave a Comment