ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස විශේෂාංගසම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා…

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා…

by Thanushika
September 26, 2026 12:35 am 0 comment

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය සභ්‍යත්වය සහ ශිෂ්ටාචාරය සුරක්ෂිත කරමින් මතු පරපුරට එය දායාද කිරීම වෙනුවෙන් ‘පොහොසත් රටක්- ලස්සන ජීවිතයක්’ ජාතික ප්‍රතිපත්ති මාලාවට අනුකූල ව ආධ්‍යාත්මික සුවතාවෙන් සහ ගුණධර්මවලින් පිරි සමාජයක් නිර්මාණය කිරීමේ වෙසෙස් වැඩසටහන් මාලාව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබුවේ මීට වසර දෙකකට පෙර ය.

ඒ අනුව බුදු දහම ප්‍රමුඛ ව සියලු ආගමික හරපද්ධතීන් මත පදනම් ව ගුණගරුක, විනයගරුක සහ ආධ්‍යාත්මික සංවර්ධනයෙන් යුතු මතු පරපුරක් බිහි කිරීමටත්, සංස්කෘතික හා උරුමයන් සංරක්ෂණයෙන් වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීමටත් අවශ්‍ය ප්‍රතිපත්ති සහ වැඩසටහන් සකස් කර ක්‍රියාත්මක කිරීම ඇරඹුණි.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අරමුණු අතර බුද්ධශාසනය සුරක්ෂිත කිරීම, භික්ෂූන් වහන්සේ ඇතුළු පූජ්‍ය පක්ෂයේ සුබසාධනය, ආගමික ආයතනවල අභිවෘද්ධිය, සියලු ආගම් අතර ගෞරවය සහ අන්‍යෝන්‍ය අවබෝධය, සහජීවනය තහවුරු කිරීම, දහම් පාසල් අධ්‍යාපනය නවීකරණයෙන් ගුණගරුක, විනයගරුක අනාගත පරපුරක් බිහිකිරීම, පුරවැසියන් තුළ මානසික සුවතාව සහ ගුණාංග වර්ධනය කර ආධ්‍යාත්මික සංවර්ධනයෙන් මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම, ඒ ඒ උප සංස්කෘතිවල අනන්‍යතාව ආරක්ෂා කර ශ්‍රී ලාංකේය වූ මහා සංස්කෘතියක් සහිත රටක් ලෙස ඉදිරියට පවත්වා‍ගෙන යාම, ශ්‍රී ලාංකේය ජාතික උරුමයන් නෛතික ව හඳුනා ගැනීම හා ජාතික උරුමයන් සංරක්ෂණය කිරීම, දිවයින පුරා විසිරී ඇති ඓතිහාසික ස්මාරක සහ පුරා විද්‍යාත්මක ස්ථාන නූතන විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ආරක්ෂා කර සංරක්ෂණය කිරීම ප්‍රධාන තැනක් ගනී.

එමෙන්ම බුදුදහම ඇතුළු අනෙකුත් ආගම් ඇදහීමේ අයිතිය සුරක්ෂිත කිරීම, සියලු ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සහ ආගමික අන්තවාදයට එරෙහි ව පියවර ගැනීම, දහම් පාසල් හා පිරිවෙන් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට පහසුකම් සැලසීම, පූජා භූමි සංරක්ෂණය හා සංවර්ධනය, ආගමික හා සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පසු විපරම් කිරීම, දුෂ්කර ප්‍රදේශවල පිහිටි ආගමික ස්ථාන වැඩිදියුණු කිරීම, සියලු ආගම්වලට අයත් ඩිජිටල් පුරාවිද්‍යා විශ්වකෝෂයක් නිර්මාණය කිරීම, ඓතිහාසික පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික උරුමයන් සංරක්ෂණයට පියවර ගැනීම ප්‍රධාන කාර්යයන් අතර වේ.

සියලු ආගම්වල දිගුකාලීන ස්ථායීතාව ඇති කිරීම සහ ආගමික ස්ථාන ආරක්ෂා කිරීමේ කාර්යභාරය ක්‍රියාවට නැංවීමේ දී ආගමික ස්ථානවල භෞතික පහසුකම් ප්‍රවර්ධනය කිරීමට පූජා භූමි සහ ආගමික ස්ථාන සංවර්ධනය මේ වන විට අඛණ්ඩ ව සිදු වෙමින් පවතී.

මෙයින් පූජා භූමි සංරක්ෂණය හා සංවර්ධනය කිරීම, විනාශ වෙමින් පවතින පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථාන සංරක්ෂණය කොට සංවර්ධනය කිරීම, දිවයින පුරා පිහිටි තෝරාගන්නා ලද ආගමික ස්ථානවලට අදාළ සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලබාදීම සහ ස්වභාවික විපත් හේතුවෙන් ආපදාවට ලක් වූ ආගමික ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රතිපාදන ලබාදීම සිදු වෙමින් පවතී.

උරුමයට ජීවයක්

දිවයින පුරා පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන දහසක් සංරක්ෂණය කිරීම සඳහා ආරම්භ කරන ලද ජාතික වැඩපිළිවෙළකි, ‘උරුමයට ජීවයක්’ වැඩසටහන. මේ වසරේ ජූලි මස පැවැත්වු ජාතික පුරාවිද්‍යා දින සැමරුම් සහ පුරාවිද්‍යා සතියට සමගාමී ව මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, මේ වන විට එහි පළමු අදියර යටතේ හඳුනාගත් පුරාවිද්‍යා බිම් 100ක් කැනීම් කර සංරක්ෂණය කිරීම අරඹා තිබේ.

ඓතිහාසික දීඝවාපිය පුදබිම සහ රජගල පුරාවිද්‍යා පරිශ්‍රය මූලික කර ගනිමින් අම්පාර සහ මඩකලපුව ප්‍රදේශවලින් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි. මීට සමගාමී ව පුරාවිද්‍යාත්මක උරුමයන් රැක ගැනීමට මහජනතාව ඍජුව සම්බන්ධ කර ගැනීම සඳහා ඒ ඒ ප්‍රදේශ ආශ්‍රිත ව ප්‍රජා සංරක්ෂණ කමිටු පිහිටුවීම ද සිදු කෙරේ.

ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ

ආපදා තත්ත්වයන් හේතුවෙන් විනාශයට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන ජාතික වැඩසටහනකි.

දිට්වා සුළි කුණාටුව සහ අනෙකුත් ආපදා නිසා හානි වූ ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන යළි ගොඩනැඟීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

දිවියට සුවයක් – දහමට සවියක්

ආගමික පූජ්‍ය පක්ෂය ඇතුළු ජනතාවගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම නංවාලීම අරමුණු කර ගනිමින් මේ වසරේ ජූනි මස 26 වැනි දින ‘දිවියට සුවයක්- දහමට සවියක්’ ජාතික වැඩසටහන වැල්ලවායෙන් ඇරඹිණි. ඊට සමගාමී ව පසුගිය අගෝස්තු මස 22 වැනි දින බදුල්ල මුතියංගණ රාජමහා විහාරයේ දී විශේෂ සර්ව ආගමික වෛද්‍ය සායන වැඩසටහනක් පැවැත්විණි.

යතිවර මාපිය නිවහන

බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමේ අරමුණින්, පැවිදි බිමට දරුවන් දන් දුන් ආර්ථික දුෂ්කරතා සහිත, නිවෙසක් අහිමි මවුපියන්ට නව නිවාස ඉදිකර දීමට ‘යතිවර මාපිය නිවහන’ නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි විය.

දරුවන් ශාසනයට දායාද කර ඇති මවුපියන්ට ශාසනික කෘතගුණ දැක්වීමක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කර තිබේ. මෙහි මූලික අදියර යටතේ මේ වසරේ සිට සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නිවාස දහසක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන දැනට ක්‍රියාත්මක වන ‘තමන්ගේ ම තැනක් – ලස්සන ජීවිතයක්’ නිවාස වැඩසටහනට අනුබද්ධ වැඩසටහනකි.

පුණ්‍යග්‍රාම

‘තිරසර පුණ්‍යග්‍රාම’ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියකි. මෙහිදී විනයගරුක, ගුණගරුක, සාරධර්ම පිරි නිරෝගිමත්, සාධාරණ සමාජයක් උදෙසා පුණ්‍යවන්ත ග්‍රාමයක් බිහි කිරීම අපේක්ෂා කරයි. මෙම වැඩසටහන යටතේ සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන් සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. මෙහි මූලික අරමුණ පසුගාමී සහ අඩු පහසුකම් සහිත දුෂ්කර ගම්මානවල විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් එම ගම්මානවල ආර්ථික, භෞතික සහ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමයි. ගමේ පන්සල මුල් කර ගනිමින් ගම්වාසීන් සහ ආගමික මධ්‍යස්ථාන ඒකාබද්ධ කර සාරධර්මවලින් පිරිපුන් සමාජයක් බිහිකිරීම, හඳුනාගත් දුෂ්කර ගම්මානවල යටිතල පහසුකම් නැංවීම සහ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම, සමාජයේ සදාචාරාත්මක වර්ධනයක් ඇති කිරීම සඳහා සාරධර්ම සුරැකීමේ වැඩසටහන් මෙන්ම, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ද මේ යටතේ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.

ඌන සංවර්ධිත දහම් පාසල් ද සංවර්ධනය සිදු කෙරෙමින් පවතී. මෙමඟින් දහම් පාසල් ගොඩනැඟිලි ඉදි කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම, දහම් පාසල් උපකරණ (ඩෙස්, බංකු, මේස, පුටු, වයිට්බෝඩ්, ගුරු මේස හා පුටු) ලබා දීම සිදු කෙරේ.

මේ ආදී වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමෙන් බුද්ධ ශාසනයේ උන්නතියත්, සාරධර්ම ප්‍රවර්ධනය කිරීමත්, ආත්මාභිමානයෙන් යුතු පුරවැසියකු බිහිකිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය වටපිටාව නිර්මාණය කිරීමත් අපේක්ෂා කෙරේ.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment