මනුස්ස ලෝකයේ දී විටෙක අපි සැපෙන් ඉන්නවා. ඒ අට ලෝ දහමේ හොඳ පැත්තයි. ඇතැම් විටෙක අප දුක් වෙනවා. ඒ අටලෝ දහමේ අප අකමැති පැත්තයි. අටලෝ දහම විටෙක ලාභ ද, විටෙක අලාභ ද ගෙන දෙනවා. ඇතැම්විට නින්දා ද ලැබෙනවා. කාලයක දී අප වටා බොහෝ පිරිස සිටිනවා. කාලයක දී අප තනි වෙනවා. කායික මානසික දුක් පීඩා එනවා. තව කාලයක දී සැප සේ ඉන්නවා. මේ සියලු දේ අප හැමෝගේ ම ජීවිතවලට වරින් වර ඇවිත් තිබෙනවා. සමහර අවස්ථාවක අපට සිතෙනවා කාටවත් කරදරයක් නැතිව ජීවත්වන මට ම ඇයි මෙතරම් කරදර එන්නේ. කරදරවල ඉවරයක් නැහැනේ කියලා. එහෙත් එක දිගට ජීවිතයට සැප සම්පත් ප්රශංසා එද්දී අපට එසේ සිතෙන්නේ නැහැ. ඇයි මටම මෙතරම් ප්රශංසා. මා වටේ මෙතරම් පිරිසක්, මෙතරම් සම්පත් මට ලැබිලා කියා අපි සැප ලැබෙද්දී සිතන්නේ නැහැ. නමුත් දුකේ දී නිතර ම මේ සිත හිතන්න පුරුදු වෙලා තියෙනවා. ඇයි මටම මෙතරම් කරදර කියලා. එහෙම සිතුවොත් ඒ සිතුවිලි අසාධාරණයි. ලෝක ස්වභාවය අපි හඳුනාගත යුතු ය. ලෝ දහම උපේක්ෂාවෙන් දරා ගන්නටයි තථාගතයන් වහන්සේ අපට මඟ පෙන්වූයේ.
නයනා