ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
නිවස විශේෂාංගමාගේ භාග්‍යවතුන් වහන්සේ….

මාගේ භාග්‍යවතුන් වහන්සේ….

by Thanushika
October 3, 2026 12:30 am 0 comment

සුන්දර යැයි යමකට කීමට අවැසි කෙනකුට අතිසුන්දර යමක් හමු වී ද, විස්මිත යැයි යමකට කීමට අවැසි කෙනකුට සැබැවින් ම විස්මිත යමක් හමු වී ද, කල්‍යාණ යැයි යමකට කීමට අවැසි වූ අයකුට පරම කල්‍යාණ වූ යමක් හමු වී ද, එසේ ම භගවතාණෙනි, ඔබ වහන්සේගේ හද මඬල හඳුනා ගත්තකුට ඒ සියල්ල හමු වූවා වන්නේ ම ය.

මෙලොව උපන් සියලු සත්ත්වයන්ට කුසගින්න ප්‍රශ්නයකි. නමුදු ඔබ වහන්සේට කිසි දිනක කුසගින්න ප්‍රශ්නයක් නො වුණේ ම ය. මෝහාන්ධකාරය නමැති ඝන අඳුර බිඳ හෙළන්නට සත්‍යයේ ආලෝකය සොයමින් ඔබ වහන්සේ ගත් වෙහෙසේ දී පවා ඔබ වහන්සේට කුසක් තිබුණා ද යැයි සිතන්නට වගක්වත් නුඹ වහන්සේට නො තිබුණා සේ ය. පිට කොන්ද අත ගෑ කල්හි ඔබ වහන්සේට කුස ය ස්පර්ශ වූයේ…. ඔබ වහන්සේ කුස අත ගෑ කල්හි පිට කොන්ද ය ස්පර්ශ වූයේ.

මෙලොව සෑම සත්ත්වයකුට ම පිපාසය ප්‍රශ්නයකි. නමුදු ඔබ වහන්සේට කිසි දිනක පිපාසය ප්‍රශ්නයක් නො වුණේ ම ය. ඔබ වහන්සේ ක්ලාන්ත වී බිම ඇද වැටුණ ද දිය බිඳක් හෝ දී කය සනසවන්නට ඔබ වහන්සේට වුවමනා නො වුණේ ය.

සෑම මනුෂ්‍යයකුට ම ඉටු කර ගත යුතු බලාපොරොත්තු සම්භාරයකි. අහස උසට අපේක්ෂා ය. අරමුණු ය. ඉලක්ක ය. ඒ සියල්ල තමන් උදෙසා ම ය. නමුදු ඔබ වහන්සේට වූයේ එක ම එක බලාපොරොත්තුවකි. අපේක්ෂාවකි. අරමුණකි. එය ද අප වෙනුවෙන් ම ය.

අනේක ආත්ම භවයන්හි දී ද ඔබ වහන්සේගේ එක ම අපේක්ෂාව වූයේ එය ම ය. සංසාරයේ සත්ත්වයකුට දැරිය නො හැකි තරම් අපමණ දුක් සම්භාරයක් විඳ ගනිමින් ඔබ වහන්සේ අප වෙනුවෙන් ම බොහෝ දුර ආ සේක. ඒ ඔබ වහන්සේගේ ධෛර්ය පිළිබඳ වූ විශ්වාසයෙනි. පාරමිතා පිළිබඳ ව වූ විශ්වාසයෙනි. අවසන මුදුන්පත් වූ ඔබ වහන්සේගේ අරමුණ වනාහි, සත්ථා දේවමනුස්ස වූ මාගේ බුදු පියාණෙනි, සකල දෙව්, බඹ, මනු සියලු සංසාරගත සත්ත්වයාගේ ගැටලුවට විසඳු ම ය.

පාසිවලින් වැසී ගත් නිල්වන් දිය පිරි සුනිල විලෙහි පාසි ඉවත් කර නිමල දිය පාදා දුන් කල්හි පිපාසිත සියලු සත්ත්වයෝ එම දියෙහි බැස රිසි සේ පවස නිවා ගන්නා සේ, ඔබ වහන්සේ මිථ්‍යාවෙන් වැසී ගත් ලෝකයට සත්‍ය විවර කර දුන් කල්හි සුගති සැප ලබන්නට, සදාකාලික සැප ඇති නිර්වාණ සැප ලබන්නට කැමැත්තෝ ඉන් ම සැනසුණහ. “ඛයං විරාගං අමතං පණීතං” සැබැවින් ම ඔබ වහන්සේගේ ප්‍රඥාවෙන් උපන් ඒ දහම රාග, ද්වේෂ, මෝහ ක්ෂය කරන්නකි. නොඇල්ම ඇති කරන්නකි. අමරණීය වූවකි. ප්‍රණීත වූවකි.

ඒ නිසා ම මහා ලාභයක් ලද්දවුන් සේ අපි ඔබ වහන්සේ ම, ඔබ වහන්සේගේ දහම ම සරණ යන්නෙමු.

‘අංගුලිමාල’ ඒ කුමන අන්දමේ මිනීමරුවකු දැයි ඔබ වහන්සේට ම මිසක අපට නම් සිතා ගන්නටවත් නො හැකි ය. එක් මිනිසකු ද? මිනිසුන් දස දෙනකු ද? සිය දෙනකු ද? නැත… මිනිසුන් දහසක් ඝාතනය කළ ඔහුගේ සිතෙහි තෙතක්, අනුකම්පාවක්, දයාවක් කොහේ නම් තිබුණි ද? ඔබ වහන්සේගේ වචන කොතරම් කාරුණික ද යත්, “මම නැවතී සිටිමි, ඔබ ද නවතින්න” යි කී සැණින්, ලෝකයා විසින් කුරිරු යැයි හංවඩු ගැසූ මිනිසකුගේ ඇට මිදුළු තුළ සැඟව ගත් ප්‍රඥාව, කරුණාව, මෛත්‍රිය, දයාව උඩට මතුව ආයේ ය. ඔහු සන්සිඳී ගියේ ය. ‘අහිංසකව‘ සදාකල් ම සන්සිඳී ගියේ ය. බුදු පියාණෙනි, ඔබ වහන්සේගේ ම ආශ්චර්යයක් මිස අන් කවර හෝ ශාස්තෘවරයකුට කළ හැක්කක් ද මෙය.

භාග්‍යවතුන් වහන්ස, ආපසු හැරී බැලූ කල ජීවිතයේ වැරදුණ තැන් අනන්ත ය. අප්‍රමාණ ය. නමුදු ඔබ වහන්සේ හමු වූ දා පටන් ජීවිතයට ඉතිරි වූයේ අනන්ත අප්‍රමාණ වූ වරදින්නට ගිය තැන් ය. ඔබ වහන්සේ පැන වූ සීලය නමැති ඉණිවැට අපගේ ජීවිතයට රැකවරණයක් ම විය. පුණ්‍යවතාණෙනි, ඔබ වහන්සේගේ ගුණ කඳ ඇසූ කල්හි ඔබ වහන්සේට කීකරු වන්නට සිත් පහළ වීම අපගේ භාග්‍යයකට වඩා ඔබ වහන්සේගේ ම ආශ්චර්යකැයි නැවතත් මට සිතේ.

සිනාසෙන්නට ගිය කල සිනාසෙන්නට කරුණු ම සොයමින් සිනාසුණා මිස සිනාසෙන්නේ කුමකට දැයි නො දැන සිටි කල “කෝ නු හාසෝ කිමා නන්දෝ….. නිච්චං පජ්ජලිතේ සති…. අන්ධකාරේන ඕනද්ධා… පදීපං න ගවෙස්සථ”යන ඒ ඔබ වහන්සේගේ වදන් හමුවේ අපි මුනිවත රකින්නට පුරුදු වුණෙමු. නිහඬ වන්නට පුරුදු වුණෙමු. මෙතුවක් අප සිනාසී ඇත්තේ අපට ම බව අපි ඔබ වහන්සේ තුළින් ඉගෙන ගත්තෙමු. එක් බණ පදයක් අවසන ඔබ වහන්සේ නිහඬ වන ලැහැබ් පෙන්වා, සොඳුරු ගල් ගුහා දෙසට දෑත දිගු කර එහි ගොස් හුදෙකලාව බවුන් වඩන්න යැයි කී කල පිරිසත් සමඟ සතුටු සාමීචියෙහි යෙදෙමින්, නිසරු කතාවෙන් සතුටට පත් වෙමින් අප ලබා ගත් දෙයක් නැති බව අපි වටහා ගත්තෙමු.

“ මා ළයෙහි උපන් පුතණුවනි…..” යැයි ඔබ වහන්සේ කෙලෙස් දුහුවිලි පිස දැමූ ආර්යයන් වහන්සේ” අමතන විට, බුදු පියාණෙනි, ඔබ වහන්සේගේ ළයෙහි උපදින්නට අප සිත් තුළ ඇති වූයේ නොසන්සිඳෙන ආසාවකි. සසරේ අපට මවක් නො වූ අයෙක්, පියෙක් නො වූ අයෙක් නැති තරම් බව දැන ගත් කල අවසන් වරට ඔබ වහන්සේගේ දරුවකු වන්නට පමණක් ඇලුම් කරන්නෙමු.

“සසරේ හැමදාමත් මා පතන්නේ ඔබ ම පමණයි” කියමින් බැඳීම් තුළ සිරගතව, එය ම සැනසීම, එය ම නිවීම යැයි සිතා සිටි කල ඔබ වහන්සේ සසරෙහි දිග පළල පහදා දුන් සේක. නිදහස් සිතිවිලි නම් වූ අත්තටු අප විසින් ම සිඳ දමා අපි ඔබ වහන්සේගේ දහම තුළ සසර ඉම සොයන්නට වුණෙමු. එක් පුද්ගලයෙක්, එක් කල්පයක් තුළ මියයාම නිසා ඉතිරි වූ ඇට කැබලි ගොඩ ගැසූ කල එය වේපුල්ල පර්වතයටත් වඩා විශාල බව ඔබ වහන්සේ අපට පෙන්වා දුන් කල්හි කියූ කෙරූ සියලු දේ පිළිබඳ ඇති වූයේ ලජ්ජාවක් ම ය.

“පින්වත් මහණෙනි, මේ සසරේ ඔබ ගෙවා ආ ගමනේ දී ඌරන්, කුකුළන්, ගවයන් වී බෙලි කැපුම් කෑමෙන් ගලාගෙන ගිය රුධිරය සතර මහා සාගරයේ ජලයට වැඩි ය.” උගත් සියලු සමීකරණ හා සැසඳුව ද ගණනය කළ නො හැකි තරම් අතිදීර්ඝ සසරක අතරමං ව සිටින අප අන්ත අසරණයන් බව දැනුණ විට, බුදු පියාණෙනි, හිස ගිනි ගත්තෙක් එගිනි නිවන්නට වෙහෙසෙන තරම් වෙහෙසක් ගෙන ධර්මයේ ම හැසිරෙනවා මිසක අන් කුමක් කරන්න ද….?

අපගේ ළබැඳියන් අපගෙන් වෙන්ව යන විට හඬන්නට, වැලපෙන්නට, පපුවේ අත් ගසා ගන්නට, කෑ මොර දෙන්නට මිසක දැන සිටි වෙන යමක් නැත. “අනිච්ඡාවත සංඛාරා උප්පාද වයධම්මිනෝ…..” නිදුකාණෙනි, ඔබගේ බුදු වදන අප සුවපත් කරන ලද්දේ ම ය. දුක, දුකෙහි හට ගැනීම, දුක නැති වීම, දුක නැති වීමේ මාර්ගය අවබෝධ කර ගත් ඔබ වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ ඔබ වහන්සේගේ සසුනේ සිංහ පැටවුන් සේ ම සිංහ නාද කළහ.

සත් පියුම් මතින් ඔබ වහන්සේ මනුලොවට වැඩිය සොඳුරු දිනයකි. මේ වෙසඟ දිනය, දස බිම්බරක් මාර සේනාව පරදවා උතුම් වූ සම්බෝධිය සාක්ෂාත් කිරීම උදෙසා ය සොඳුරු මංගල්‍ය. ඔබ වහන්සේ සල් රුක් දෙකක් අතරෙහි සැතපී අවසන් බුදු වදන ද මේ වා තලයට එක් කර පිරිනිවී ගිය දුක්බර වෙසක් පොහෝ දිනය දාක ම ය. ඒ තෙමඟුල හැරෙන්නට අපට සමරන්නට කිසිදු මංගල්‍යයක් නැත්තේ ම ය.

ආරක්ෂක භාවනා

අප කුඩා කාලයේ පැවිදි වුණා ම මූලික සාධක ඇතුළත් කරලා ‘සාමණේර බණ දහම් පොත’ කියලා පොතක් දෙනවා. ඒකේ තියෙන්නේ හෙරණ (පැවිද්දා) මුලින් ම ආරම්භක පැවිදි ජීවිතයේ භාවනාව දියුණු කරන්න ඕන ආකාරය පිළිබඳ යි.

ඒක හරි ලස්සනයි. එහි ‘චතුරාරක්ඛා’ කියලා ආරක්ෂා භාවනා හතරක් සඳහන් වෙනවා. ඒ තමයි (බුද්ධානුස්සති මෙත්තා ච – අසුභං මරණස්සති, ඉති ඉමා චතුරාරක්ඛා – භික්ඛු භාව්‍යෙය සීලවා) සීලවන්ත භික්ෂුව, බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබ, මරණසති කියන කමටහන් හතර ආරක්ෂක භාවනා හතරක් හැටියට වැඩිය යුතුයි කියනවා. ඊළඟට ඒකේ සඳහන් වෙනවා, අනන්ත ගුණ සමුදායන්ගෙන් හෙබි භාග්‍යවතුන් වහන්සේ ගැන සිහි කිරීම බුද්ධිමත් භික්ෂුව මුලින් ම කළ යුතු භාවනාවයි’ කියලා. එතකොට ඒ කාලයේ මුලින් ම කළ යුතු භාවනාව හැටියට විස්තර කරලා තිබෙන්නේ බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මුලින් ම කළ යුතු භාවනාවක් හැටියට ගොඩක් තැන්වල තියෙන්නෙත් බුද්ධානුස්සතිය තමා. නමුත් ඒ කාලයේ ශාස්තෘන් වහන්සේ ජීවමානව ඉන්න නිසාත්, උන්වහන්සේගේ දේශනාවත් එක්කම ශ්‍රද්ධාව ඇතිවන නිසාත්, ඒක වඩාත් පහසුවෙලා තියෙනවා. ඒක බුද්ධ දේශනාවල හොඳින් පැහැදිලි වෙනවා.

සමහර තැන්වල සඳහන් වෙනවා, පැහැදීම ඇතිවෙලා යනවා. ගිහිල්ලා ඇසුරු කරනවා. ඇසුරු කරද්දී කන් යොමාගෙන ඉන්නවා. අවධානය මනා කොට යොමු කර ගෙන ධර්මය අසනවා. එතකොට අපට වර්තමානයේත් වීර්ය ඇතිවෙන්න වුවමනා කරන මූලික පසුබිම සැකසෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගැන හිත පහදවා ගත්තොත් තමා. එතකොට තමයි අවශේෂ භාවනාවලට වුණත් එන්න පුළුන්කම තියෙන්නේ. එහෙම නම් බුද්ධානුස්සතියයි මුල් ම කාලයේ ආරම්භක භාවනාවක් හැටියට තිබිලා තියෙන්නේ. ඒකෙ කෙටියෙන් වුවත් හරි ම ලස්සනට ආරක්ෂක භාවනා හතර භාවිත වෙලා තියෙනවා. එතකොට බුද්ධානුස්සතියෙන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීපු ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇති කරවන එකයි. මොකද, ශාසනය කියලා කියන්නේ ධර්ම විනයනේ. කෙනෙක් ධර්ම විනය තුළ පිහිටියොත් විතරනේ පිහිට තියෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීමෙන් ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇති වෙනවා.

අපි හිතමු කෙනෙක් ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇතුව, භාග්‍යවතුන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදයෙන් පැවිදි වෙනවා කියලා. නැතිනම් මාර්ගයට එනවා කියමුකෝ. එහෙත් ඇතැම් අවස්ථා එන්න පුළුවන් ගැටීම් ඇති වෙනවා. කොසබෑ නුවර භික්ෂූන් අතර ඇතිවූ කෝලාහලයත් එබඳු දෙයක්නේ. ඒ කියන්නේ,

දවසක් ස්වාමීන් වහන්සේ නමක් කැසිකිළියකට වැඩලා එද්දී භාජනයේ වතුර ටිකක් ඉතිරි වුණා. ඉතින් තවත් ස්වාමීන් වහන්සේ නමක් ‘කවුද මේක ඉතුරු කළේ, මේක විනයට ගැළපෙනවාද?” කියලා කුඩා දේ විශාල කර අර්බුදයක් ඇති කර ගත්තා. ඇත්ත වශයෙන් ම ඒ ස්වාමීන් වහන්සේ ඒ වතුර ටික විසි කළා නම් එතැන දී ඒ ප්‍රශ්නය හටගන්නේ නෑ. කුඩා දේ ලොකුවට අරගෙන සංඝයා බෙදුණා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ම සංඝභේදය වුණා.

එයින් අපට පැහැදිලිව පේනවා, මෙත් සිත වඩන්න බැරිවීම පැවිදි ජීවිතයට සිදු වෙන විශාල හානියක් බව. මෛත්‍රි චිත්තය පැවැත්වීමෙන් පැවිදි ජීවිතයට සිදු වෙන ඒ හානිය වළක්වනවා. පැවිදි අයට විතරක් නෙවෙයි, ගිහි අයටත් එහෙමයි. ගිහි අයටත් මෛත්‍රී චිත්තය පවත්වන්න බැරි නම්, ඒ අයගේ ජීවිත විශාල හානියකට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන සූත්‍රයක් තිබෙනවා.

එහි සඳහන් වෙනවා, ‘මහණෙනි’ දිඹුල් වෘක්ෂ, නුග වෘක්ෂ, අතු පතර විහිදුණ සුවිශාල වෘක්ෂ තිබෙනවා. ඒ විශාල වෘක්ෂ අනෙක් පුංචි වටිනා ගස්වලට වැඩෙන්න දෙන්නේ නෑ. ඒ විශාල වෘක්ෂ අනෙක් ගසුත්, විනාශ කරගෙන හැදිලා පොඩි ගසුත් කාගෙන, ඒකේ පෝරත් කාගෙන, ඒ ගසුත් විනාශ කරගෙන හැදිලා, පොඩි ගසුත් කඩාගෙන ම වැටෙනවා. මහණෙනි, මේ වගේ තමයි පංච නීවරණ. පංච නීවරණ ධර්ම තමන්ගේ ජීවිතය තුළ ගුණයක් වර්ධනය වෙන්න දෙන්නේ නෑ. තිබෙන ගුණත් විනාශ කරගෙන ඒ පුද්ගලයා අපායට ගෙනියනවා. ඒ වගේ ම මහණෙනි, සමහර කුලපුත්‍රයන්, ශ්‍රද්ධාවෙන් පැවිදි වෙනවා. නමුත් පංච නීවරණ ප්‍රහාණය කර ගන්න බැරිවීම නිසා ඒ අය විනාශයට යනවා.”

ඒ පංච නීවරණයන්ගෙන් වන හානිය වළක්වන්න තමයි මේ මෛත්‍රි භාවනාව තිබෙන්නේ. මෛත්‍රිය කියන වචනයේ තේරුම මිත්‍රත්වය. මිත්‍රභාවයක් නැත්නම් හැරෙන්නේ සතුරු භාවයකට. ඒ කියන්නේ සතුරෙක්. යම් කෙනකුට තමන්ට සතුරෙක් ඉන්නවා කියන අදහස ආවාම ඒ සතුරා සුවපත් කරන්න ඔහුට කල්පනාවක් එන්නේ නැහැ.

එයින් මූලික හානිය සිදු වන්නේ තමන්ගේ සිතටයි. හරියට මෛත්‍රිය වැඩුණේ නැති නිසයි ලෝකයේ තිබෙන බහුතරයක් ප්‍රශ්න හටගන්නේ. ජාති, කුල, ගෝත්‍ර, ආගම් වශයෙන් බෙදෙන හැම ප්‍රශ්නයක් ම හටගන්නේ ඒ නිසයි. ඒ තුළ අපට මනුස්සයා ඉපදීම නිසා විඳින පොදු දුක තේරුම් ගන්න තිබෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා මෛත්‍රීය කියන්නේ හරි වටිනා මාතෘකාවක්. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය පිළිබඳ වදාළ විවිධ ක්‍රම ගැන කතා කිරීම අපට මෛත්‍රීය වඩන්න උපකාරි වෙනවා.

You may also like

Leave a Comment