දානය යනු පරිත්‍යාගයකි. පරිත්‍යාග කුසල කර්මයකි. දන් දෙන හැම දෙනාටම සසර සුඛ සේ ම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබාදෙන උතුම් නිවන් සුවය ලබා ගැනීමට උපකාර වන ඉතා වටිනා පුණ්‍ය කර්මයකි. දානය දීමට පෙරත්, දන් දෙන අවස්ථාවේදීත්, දානය පූජා කිරීමෙන් පසුවත් තමාගේ තුන් සිත පහදාගෙන දානය මහත්ඵල මහානිශංස කර ගැනීම ශ්‍රාවකයාට හැකියාව ඇත. දානය පාරමිතාවක් ලෙස දියුණු කර ගත යුත්තේ කෙසේද කියා නා උයනේ අරියධම්ම මාහිමියන් විසින් රචිත මහත්ඵල ලැබීමට නම් මෙසේ දන් පින්කම් කළයුතුය, යන ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ පළ වේ.
3.ඉන්ද්‍රිය පාකතෝ:– කුඩා ළදරුවකුට වගේ නොවෙයි, වැඩිහිටි තත්ත්වයට පැමිණියාම ඉන්ද්‍රියයන් පිළිබඳ හොඳට අවබෝධයක් තිබෙනවා. හොඳට පෙනෙනවා. හොඳට ඇසෙනවා. හොඳට කතා කරන්න හැකි වෙනවා. මනා සේ ඉන්ද්‍රියයන් දියුණු වූ, වැඩුණා වූ, වැඩිහිටි කෙනෙක් කරන කුසලය නැණ නුවණින් යුක්තව, ඉතා සාර්ථක ව කරන්නට හැකි වෙනවා. ඒත් කුඩා දරුවකුට පින්කමක් කිරීමේ දී ඔහුගේ ඉන්ද්‍රියයන් මනාව මුහුකුරා නොගොස් ඇති බැවින් ඥානවන්ත ව එම පින්කම් සිදු කළ නොහැකි වෙනවා.
4.කිලේසූපසමා :– දන්දීලා, සිල් රකිමින්, බණ අසමින්, භාවනා වඩමින් ආගමික පින්කම් තුළින් තමන්ගේ සිතේ කෙලෙස් තුනී කරගෙන තිබීමයි, කිලෝසුපසමා කියන්නේ. එසේ කෙලෙස් තුනී කර ගෙන තිබෙන අයකුගේ කරන කුසලය ඥාන සම්ප්‍රයුක්ත වෙනවා.
දැන් කරුණු හතරක් සඳහන් වුණා. ඒවා නම්,
ඥානය වැඩෙන කුසලයක් වීම
සුගති ලෝකයක ඉපදී සිටින්නෙක් වීම
ඉන්ද්‍රියයන් මුහුකුරා ගිය කෙනෙක් වීම
කෙලෙසුන් සංසිඳුවාගෙන සිටින්නෙක් වීම
ඊළඟට ධම්මවිජය බොජ්ඣංගය වැඩෙන කරුණු හතක් තිබෙනවා. එම කරුණු හතෙන් එකක් හෝ යෙදුණා නම් එය පින්කමක් වෙනවා. එම කරුණු හත නම්,
පරිපුච්ඡකතා, වස්තු විෂධ කිරියතා, ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා, දුප්පඤ්ඤ පුග්ගල පරිච්ජ්ජනතා, පඤ්ඤවන්ත පුග්ගල සේවනතා, ගම්භීර ඥාන චරියා පච්ච චෙක්ඛණතා, තදධිමුත්තතා
පරිපුච්ඡකතා
බුදු බණ අසා දැන ගැනීම, බුදු බණ පිළිබඳ සැක සංකා ඇති තැන් නිවැරැදි කර ගැනීම “පරිපුච්ඡකතා” නම් වෙනවා. එවැනි කෙනකුටයි කරනු ලබන පින්කම ඥාන සම්ප්‍රයුක්ත ව කරන්නට ලැබෙන්නේ. එයට හේතුව නම්, එතුමා ධර්මය ගැන මනා අවබෝධයකින් යුතු ව එයින් ලැබෙන ආනිශංස ඵලය ගැන පවා මහා අවබෝධයකින් යුතු ව පින්කම් කරන බැවින් එම පින්කම ඥානවන්තව ම සිදු කළා වෙනවා.
චස්තුවිසධ කිරියතා
තමන්ගේ සන්තානය පිරිසිදුව තබාගෙන පින්කම්වල යෙදීම, දත් මැදීම, මූණ සේදීම, හිස පීරා ස්නානය කර, නියපොතු බා, කැසිකිළි වැසිකිළි ආදී කටයුතුවලින් නිදහස් වී දෙපය දොවාගෙන, දෑත දොවාගෙන පිරිසිදු දෑතින්, පිරිසිදු ශරීරයෙන්, පිරිසිදු මුහුණින්, පිරිසිදු ඇඳුමින් සැරසීගෙන දාන, ශීල, භාවනා දී පින්කම්වල යෙදෙනවා නම්, එම පින්කම ඉතා ම සාර්ථක ව, ඥානවන්තව ම සිදු කළ හැකි වෙනවා.
අපේ පැරැණි බෞද්ධයෝ පින්කමක් කරන්නට මත්තෙන් සේනාසනයකට ඇතුළු වෙන්න පෙර පිරිසිදු වෙලා, නාලා, පිරුවට ඇඳගන්නවා. සුදු ඇඳගෙන තමා ඉස්සර කාලයේ බෞද්ධයෝ පූජනීය තැනකට පියනඟන්නේ. එය වැදගත් චාරිත්‍රයක්. සුදු උතුරු සළුවක් පොරවාගෙන පැමිණීම අපේ පුරාණ බෞද්ධයන්ගේ සිරිතක්. අද කාලයේ දී නම් ඒක බොහෝ සෙයින් අමතකවීගෙන යනවා. බොහෝ සෙයින්ම ඒ වාගේ නැති ව හැසිරෙනවා. එසේ නැතිව සුදු වතක් දරා ගැනීම බෞද්ධ ශිෂ්ටාචාරයටත් ඉතා ම ගැළපෙනවා.
ඒවාගේ කයින් පිරිසිදු වීමත්, අවට පවිත්‍රතාව ඇති කර ගැනීම එනම්, මළුපෙත් මං ඇමදලා, පැන් පෙරා තබා, අනිකුත් වත් පිළිවෙත් සියල්ල නිම කර පිරිසිදුවට තිබෙනවා නම්, වටපිටාවත් පවිත්‍රයි. එසේ නොමැති ව ශරීරයත් අපිරිසිදුව තබාගෙන, මළු පෙත්මන් ආදිය පිරිසිදු නොකර කැළිකසළ සහිත ව, පහන්, මල් බඳුන් ආදිය පිරිසිදු නොකර යම් පින්කමක් සිදු කිරීමේ දී එම පින්කම ඥාන සම්ප්‍රයුක්ත ව සිදු කළ නොහැකි වෙනවා. එබැවින් තමාගේ ශරීරයත් බාහිර වශයෙන් බෝ මළු, සෑ මළු, සේනාසන ආදිය පවිත්‍ර කර පූජා භාණ්ඩ මල් පහන් උපකරණ ආදිය ඉතා ම පිරිසිදුව සෝදා, පිරිසිදු කර යම්කිසි පින්කමක් කරනවා නම්, එම පින්කම නැණ නුවණින් සලකා බලා සිදු කළ බැවින් මහත්ඵල මහත් අනුසස් ගෙනෙන පින්කමක් බවට පත් වෙනවා.
මතු සම්බන්ධයි