ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
නිවස විශේෂාංගආත්ම පන්සියයක් විපාක දුන් අකුසලයක්

ආත්ම පන්සියයක් විපාක දුන් අකුසලයක්

by Thanushika
October 3, 2026 12:30 am 0 comment

අතීතයේ දඹදිව බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ බරණැස් නම් අගනුවර ජීවත් වුණා ඍග්, යජුර්, සාම, අථර්වන් යන වේද ග්‍රන්ථවල පරප්‍රාප්ත බමුණෙක්. අගනුවරට විතරක් නෙවෙයි, සිවු දිශාවට ම වේද ගැන ඒ තරම් ගැඹුරින් අධ්‍යයනය කළ වෙනත් බමුණෙක් හිටියේ නෑ. ඒ නිසා වේදය ඉගෙන ගැනීමට මේ මහබමුණා ළඟට ශිෂ්‍යයන් වැඩි වැඩියෙන් එන්න පටන් ගත්තා.

දවසක් බමුණාට හිතුණා දේවාශීර්වාද සඳහා එළුවකු සූදානම් කරන්න. ඒ කටයුත්ත අතීතයේ හඳුන්වා තියෙන්නේ ‘මතකභත්ත’ යාගය කියලා. මේ යාගයේ ප්‍රධානම කාර්යය තමයි, එළුවකුගේ ලේ දෙවියන්ට පූජා ලෙස ලබා දීම. ඉතින් ඒ කටයුත්ත හිතපු හැටියට ම කරන්න බෑ. ඒකට නියම වූ කටයුතු රාශියක් තියෙනවා කරන්න.

ඒ නිසා තමන් ළඟ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට කතා කරලා කිව්වා ‘ශිෂ්‍යයෙනි, මම බලාපොරොත්තු වෙනවා දෙවියන් උදෙසා ‘මතකභත්ත’ යාගයක් කරන්න. ඒකට මට උදව් කරන්න ඕන. අන්න අර ගහේ බැඳලා ඉන්න එළුවා ගඟට අරගෙන ගිහින් හොඳට නාවන්න. නාවලා ඉවර වෙලා ඉවුරට රැගෙන එන්න. ඊට පස්සේ හොඳට තෙත ඉවත් කරන්න. ඒ කාර්යයන් ඔක්කොම ඉවර වුණාට පස්සේ මෙන්න මෙතැන තියෙන සුවඳ මල් මාලය කරට දාන්න. කරට දාලා මෙන්න මේ තියෙන සුවඳ විලවුන් අතට අරගෙන අතේ ඇඟිිලි පහම ගෑවෙන විදිහට මුළු ඇඟ පුරාම ගල්වන්න. මේ කටයුතු ඔක්කොම පිළිවෙළට කරගෙන නැවතත් අරගෙන එන්නයි කියලා කිව්වා. ගුරුවරයාගේ අණට කීකරු වූ ශිෂ්‍ය පිරිස ‘හොඳයි’ කියලා පිළිගෙන ගං ඉවුරට ගිහින් එළුවා හොඳට නෑව්වා. ඒ වගේම උස්සාගෙන ඇවිත් ගං ඉවුරේ තියලා තෙත පිහ දැම්මා. ඊට පස්සේ මල් මාලය කරට දැම්මා. තවත් උපදේශයක් ලැබුණේ අතේ ඇඟිිලි පහම වදින විදිහට සුවඳ විළවුන් ඇඟ ගල්වන්න කියලා. ඒකත් පිළිවෙළට ම කළා.

මේ කටයුතු ඔක්කොම කර ඉවර වූගමන් ම එළුවා මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා. එළුවාට පහළ වුණා ජාතිස්මරණ ඥානය. ඔහු බැලුවා තමන්ගේ අතීත ආත්ම භාවයන්. එතකොට දැක්කා ආත්ම හාරසිය අනූනවයක් ම තමන් මේ විදිහට හිස ගසා දැමීම්වලට ලක්වෙලා මරණයට පත් වූ හැටි.

ඉතින් බැලුවා තමන්ට එහෙම මරණවලට මුහුණ දෙන්න වුණේ ඇයි කියලා. එතකොට දැක්කා, එක ආත්ම භාවයක මේ ප්‍රධාන බමුණා විදිහට ම තමනුත් මහත් තේජසක් තියාගෙන ජීවත් වූ, ඒ වගේම වේද ශාස්ත්‍රයේ කෙළවරට පත් බමුණෙක් වෙලා හිටපු ආත්මයක මේ විදිහට ම එළුවකුගේ හිස ගසා දැමීමක් කරලා තියෙනවා කියලා. ඒ අකුසලයේ විපාකය විදිහට ආත්ම පන්සියයක් හිස ගසා දැමීම්වලට ලක් වෙලා මිය ගිය ආකාරයත් දැක ගන්න ලැබුණා. ඉතින් සතුටට පත් වුණා. ආත්ම හාරසිය අනූනවයක් ම ගෙවලා මේ ආත්ම භාවයෙන් පස්සේ ඒ අකුසලයෙන් මිදෙනවා කියා. ඒක නිසා තමයි මේ එළුවා අර විදිහට හයියෙන් හිනා වුණේ. ඉතින් රැස්වෙලා හිටිය ශිෂ්‍යයන් ඔක්කොටම මේ ගැන මහා සැකයක්, පුදුමයක් ඇති වුණා. ඒ හිනාවීම අවසන් වූ ගමන් ම ආපහු මේ එළුවා හයියෙන් ම අඬන්න පටන් ගත්තා. එහෙම කළේ ‘මම විඳපු දුක මේ බමුණාටත් ඊළඟ ආත්මේ ඉඳලා ආත්ම පන්සියයක් දුක්විඳින්න වෙනවා. හිස ගසා දැමීම් සහිත මරණවලට මුහුණ දෙන්න ලැබෙනවා දැකලා වගේම ඔහු කෙරෙහි උපන් කරුණාවෙන්. එතැන හිටපු ශිෂ්‍යයන්ට මේ දෙකට ම හරිම පුදුමයි. ඒ වගේම ලොකු සැකයක් ද ඇති වුණා. ළඟට ඇවිත් එළුවාට කතා කරලා ඇහුවා ‘ඔබ මුලින් මහ හයියෙන් හිනා වුණා. සතුටු වුණා. ඔබ දැන් මහ හයියෙන් අඬලා දැන් දුකට පත් වෙනවා. ඇයි? ඔබ මොකටද එහෙම කළේ. අපට කියන්න කිව්වා. එළුවා එතකොට කියනවා,

‘මා ඔබලාගේ ආචාර්ය බමුණා වෙත ගෙන්වාගෙන ගියොත් කියන්නම් කියලා.

ඉතින් ශිෂ්‍ය පිරිස එළුවා අරගෙන ගියා ගුරුවරයා ළඟට. ඊට පස්සේ සිදුවූු සියල්ල ම පැහැදිලි කරමින් කිව්වා. එතැන දී එළුවාගෙන් බමුණා අහනවා ‘ඔබ මහත් හයියෙන් හිනාවෙන්නත්, මහත් හයියෙන් අඬන්නත් හේතුව මොකක්ද කියන්න’ කියලා. එතකොට එළුවා කියනවා

‘බමුණාණෙනි, මමත් එක් ආත්මයක ඔබ වගේම වේද ග්‍රන්ථ පරප්‍රාප්ත බමුණෙක්. ඔබ මේ කරන්න යන කාර්ය වගේම කාර්යයක් මමත් ඒ ආත්මයේ කළා. ඒකේ විපාක විදිහට එදා ඉඳලා අද වෙනකම් ආත්ම හාරසිය අනූනවයක් ම මම හිස් ගැසුම් සහිත මරණවලට මුහුණ දුන්නා. මේ මගේ පන්සිය වන ආත්මය. මේ ආත්මයෙන් පස්සේ අකුසල විපාකය ඉවර කරලා මම ඒ දුකින් නිදහස් වෙනවා. ඒ සතුට වෙනුවෙන් මම හයියෙන් හිනා වුණා. ඒ වගේම බමුණාණෙනි, මම ඇඬුුවේ ඔබට ඇති කරුණාවෙන්. අද ඉඳලා ඔබත් ආත්ම පන්සියයක් හිස් ගැසුම් සහිත මරණවලට මුහුණ දෙනවා. ඒ දුක මට ඉවසා ගත නොහැකිව හයියෙන් ඇඬුුවා‘යි කියමින් බමුණාට හේතු පැහැදිලි කළා.

බමුණා බියට පත් වුණා. එළුවා කෙරෙහි මහත් කරුණාවක් පහළ වෙලා කියනවා ‘එළුවාණෙනි, ඔබගේ මේ ජීවිතයේ හිස ගසා දැමීමකට මම ලක් කරන්නේ නෑ. වෙනයම් දෙයකින් හෝ ක්‍රමයකින් හෝ ඔබගේ හිස ගසාදැමීමක් මේ ආත්මයේ සිදු නොවෙන්න වග බලා ගන්නවා. ඔබ ව හොඳීන් ආරක්ෂා කර ගන්නවා යැයි පොරොන්දු වුණා. ‘අතවැසියන් ආමන්ත්‍රණය කරලා කිව්වා ‘ශිෂ්‍යයෙනි, මේ එළුවාට කිසිම උපද්‍රවයක් එන්න දෙන්න එපා. හොඳීන් ආරක්ෂා කර ගන්න ඕනෑ’ කියලා. එළුවා එතකොට කියනවා ‘බමුණාණෙනි, ඔබගේ ආරක්ෂාව මම පිළිගන්නවා. ඒත් බමුණාණෙනි, මම ඒ කළ අකුසලය ඉතා බලවත්. ඔබගේ ආරක්ෂාවෙන් මිදෙන්න බැරි තරම් බලවත්. පුළුවන්නම් මා ආරක්ෂා කරන්න යැයි කියා සිටියා. ශිෂ්‍යයනුත්, බමුණාත්, එළුවාත් මේ කතාවලින් පසුව සතුටට පත් වෙලා හැම දෙනා ම වේද ශාලාවෙන් පිටත එළිමහනේ ඇවිදින්න පටන් ගත්තා. අවට පරිසරය බලමින් ගල්තලාවක් සමීපයට ළඟා වුණා. එළුවා තණ කොළ කමින් පරිසරයේ පහස විඳින්න වුණා. පිරිසත් බොහෝ සෙයින් සතුටට පත් වෙමින් සාමීචි කතාවල යෙදුණා. මේ අතරේ මහවැස්සක් ඇදහැලෙන්න පටන් ගත්තා. ඒත් එක්කම අකුණු ගහන්න පටන් ගත්තා. අර ගල් තලාවට මහත් අකුණක් වැදිලා එයින් ගල් පතුරක් ගැලවිලා ඇවිත් එළුවාගේ බෙල්ල වෙන්වෙමින් එළුවා මරණයට පත් වුණා. අතීත අකුසල කර්මයෙන් මේ එළුවාට ගැළවෙන්නට පුළුවන්කමක් ලැබුණේ නෑ. කිසිදු උපද්‍රවයක් එන්න බැරි විදිහට ආරක්ෂාව යොදා තිබුණා. ඒත් කළ පාපයෙන් නම් ගැලවෙන්නට පුළුවන්කමක් ලැබුණේ නෑ. ඒ නිසා පින්වත්නි, සත්ත්ව ඝාතනය කිසිසේත් ම කරන්න එපා. පාපී ක්‍රියා කිසිසේත් ම කරන්න එපා. අපි කොතරම් ආරක්ෂා වෙන්න හැදුවත් ඒවායේ විපාක තමන් පසුපස ගමන් කරනවා. එම විපාක දුක, වේදනාව, කඳුළ, දොම්නස නිතර ඇති කරනවා. ඒ බව තමයි මේ කතාවෙන් කියා දෙන්නේ. මේ ධර්ම කතාව අපට දකින්න ලැබෙන්නේ ජාතක පොතේ දහඅට වැනි ජාතකය විදිහටයි. මේ කතාව ‘මතකභත්ත ජාතකය’ ලෙස නම් කර තිබෙනවා.

You may also like

Leave a Comment